Photobucket

Thursday, December 6, 2012

යුද්ධයෙන් පසු උතුරේ ලොකුම මංකොල්ලය

මහ දවල් ආයුධ පෙන්වා මන්නාරමේදී  ලක්ෂ 15ක් පැහැර ගෙන

මන්නාරම දිස්ත්‍රික් සිගරැට් අලෙවි නියෝජිතයාගේ මන්නාරම බසාර් වීදියේ පිහිටි අලෙවි ආයතනයට ඊයේ පෙරවරුවේ ආයුධ සන්නද්ධව කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු එහි සිටි අයකැමිට පහරදී රුපියල් ලක්‍ෂ 15ක පමණ මුදලක් පැහැර ගෙන ගොස් ඇත. මුදල් පැහැර ගැනීමට කොල්ලකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ ඇත්තේ හඳුනාගත නොහැකි අන්දමට මුහුණු ආවරණය කර ගෙනය. 

මන්නාරම දිස්ත්‍රික්කයේ සිගරැට් බෙදාහරින උප ඒජන්තවරුන්ගෙන් එකතු කරගත් මුදල බසාර් වීදියේ අංක 89 /ඒ දරන ස්ථානයේ පිහිටි සිගරැට් බෙදාහරින නියෝජිත ස්ථානයේ එහි අයකැමි බව කියන විසිහතර හැවිරිදි ශ්‍රී දරන් පාර්දීපන් නමැත්තා බැංකු ගතකිරීම සඳහා ගෙනයෑමට එම මුදල් ගණන් කරමින් සිටියදී මේ කොල්ලකෑම සිදුකර ඇතැයි මන්නාරම පොලිසිය පවසයි. ඔහු මුදල් ගණන් කරමින් සිට ඇත්තේ ඊයේ පෙරවරු 10.00ට පමණය. යතුරුපැදියකින් පැමිණ මුහුණු ආවරණය කරගත් දෙදෙනකු අවි පෙන්නා තමන්ට පහරදී තමා ගණන් කරමින් තිබූ මුදල් පැහැර ගෙන ගිය බව ශ්‍රී දරන් මහතා පවසයි. කොල්ලකරුවන්ගේ පහරදීමට ලක්වූ ඔහු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
 
මෑත කාලයේ මන්නාරම් ප්‍රදේශයේ සිදුවූ විශාලම කොල්ලය මෙය බව පොලිසිය පැවැසීය.
මේ ආයතනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ පොලිසියේ සිට මීටර් 50ක් පමණ දුරින් පිහිටා ඇති බවද පොලිසිය පැවැසීය. 

මුදල් රැගෙන පලාගිය කොල්ලකරුවන් දෙදෙනාට මන්නාරම දූපතෙන් පලායෑමට නොහැකිවන අයුරින් එම දූපත වටකොට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇති බව උතුරු ප්‍රදේශය බාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතා පැවැසීය. 

මේ පිළිබඳ යුද හමුදා මාර්ග බාධකවලටද දැනුම්දී තිබේ.
 
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවද පොලිසිය කීවේය. යුද්ධයෙන් පසු උතුරේ සිදුවූ විශාලතම මංකොල්ලය මෙය බව අනාවරණය වේ.

ප්‍රේමලාල් විජේරත්න, වවුනියාව - මාධව කුලසූරිය,
මන්නාරම - මාර්ක් ඇන්තනි
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all