ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු පොළොවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය
වාර්තා කිරීමේ අරමුණින්ද, ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණයක්
අත්කර ගැනීමේ අරමුණින්ද යුතුව අද බොක්සිං දිනයේ මෙල්බර්න් ක්‍රිකට් කෙළිබිම ට
පිවිසෙති.
දෙපිල අතර ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ අද ඇරැඹෙන්නේ දෙවැනි තරගයයි. ශ්‍රී
ලංකාව පරාජය වූ හොබාට් හි පළමු තරගයේ අවසන් දිනය ශ්‍රී ලංකා පිතිකරුවන්ට
ඉතාමත් අසීරු එකක් විය. එහෙත් මෙල්බර්න් තණතීරුව දෙපිල ට ම සාධාරණ වනු ඇතැයි
අපේක්ෂා කෙරේ.
මෙල්බර්න් තණතීරුවේ තණකොල දිස්වන අතර මේ නිසා ම ශ්‍රී ලංකා වේග පන්දු බළඇණිය
පිළිබඳව යළි කල්පනා කර බැලීමට තේරීම් නිළධාරීන් පෙළඹීමට ඉඩ තිබේ. එය එසේ
වුවහොත් වේග පන්දු අංශයේ වෙනසක් සිදු වෙමින් ධම්මික ප්‍රසාද් හා නුවන් ප්‍රදීප්
කරළිය ට පිවිසීමට ඉඩ තිබේ.
කෙසේ වෙතත් අද කාලගුණික හා තණතීරුවේ තත්ත්වය
අධ්‍යයනය කරන තුරු කිසිම තීරණයකට එළැඹීමට ඔවුන් ඉක්මන් නොවනු ඇත.
කඩුලු ලබා ගැනීමට සමත් වන්නේ කුමන වේග පන්දු යවන්නා ද යන්න ශ්‍රී ලංකා කඳවුරේ
ප්‍රධාන ප්‍රශ්නය වී තිබේ.
ඵලදායී වේග පන්දු ප්‍රහාරයක පෙරමුණ ගැනීමට කෙනෙකු
නොසිටීමේ අඩුපාඩුව ඔස්ට්‍රේලියානු භූමියේ ජයග්‍රහණයක් අත්කර ගැනීමේ ශ්‍රී
ලංකාවේ නොහැකියාව පිටුපස තිබෙන නොතකා සිටිය නොහැකි තරම් බලවත් සාධකය වී තිබේ.
අද මෙල්බර්න් දේශගුණය යහපත් වනු ඇතැයි වාර්තා වේ. ශීත දේශගුණයෙන් ඇරැඹෙන
දිනය දහවල් වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාව ට උචිත වන පරිද්දෙන් මඳක් උණුසුම් වනු ඇත.
මේ ටෙස්ට් තරගයේ ඉරණම කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම
විසින් පාලනය කෙරෙනු ඇත.
නායක මහේල ජයවර්ධන හා හිටපු නායකයන් වන කුමාර්
සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට්
ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන අවසන් අවස්ථාව මෙය වීමට බොහෝ දුරට
ඉඩ ඇති බැවින් මේ තරගය අමරණීය එකක් කර ගැනීමට මේ පළපුරුදු පිතිකරුවන්
තිදෙනා සෑම උත්සාහයක් ම ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
ඔවුන් පිතිකරණයේ
සාර්ථක වුවහොත් තරගයේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව ට ලැබෙනු නොඅනුමාන ය.
අද ඇරැඹෙන තරගය සඳහා වන ප්‍රවේශ පත් සියල්ල විකිණී අවසන් ය. හැත්තෑ දහසකට අධික
පිරිසක් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය ට රොද බැඳ ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර
මින් වැඩි දෙනා මෙහි සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වනු ඇත.
හොබාට් හි ලැබූ පරාජය පසෙක දමා, කිසිවෙකුට දෙවැනි නොවන හැඟීමකින් යුතුව මහේල
ජයවර්ධන ගේ කණ්ඩායම අද පිටියට පිවිසිය යුතු වෙයි. ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව
ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තරගය ආරම්භයේ සිට ම ඔවුන් වග බලා ගත යුතුය.
ජයග්‍රහණය පැමිණෙන්නේ අභියෝග කරන්නන් වෙත පමණි.
0 comments:
Post a Comment