Photobucket

Friday, December 7, 2012

පිරිත් නූලට චෝදනා අහෝසි ද?

පැණි බිංදුවක් බිම වැටුණු විට කුහුඹුවෝ ඊට වහ වැටෙති. සැරව ගලන තුවාලයක් ඇති විට නිල මැස්සෝ ඊට වහ වැටෙති. අපිරිසුදු ස්ථානවලට පෙරේතයෝ හා භූතයෝ කඩා වැටෙති. මේවා සාමාන්‍ය ස්වභාවික සිදුවීම් ය. ඒවා සිදු වීමට අමුතු සන්නිවේදනයක් අවශ්‍ය්‍ය නැත. වෙනත් පෙලැඹීමක් ද අවශ්‍ය නැත. කුණු ගොඩට තවත් කුණු යැයි කතාවක් තිබේ. එය හරියට ම හරි ය. ජරාවට තවත් ජරාව එකතු වීම නැවැත් විය නො හැකි ය. කූඩැල්ලා කොට්ටය මත තබන්න පුළුවන්කමක් ද නැත. මිනිස් ක්‍රියාකාරකම් ද එලෙස ම ය. හොරු සමඟ තවත් හොරු එකතු වෙති. බොරුකාරයෝ සමඟ තවත් බොරුකාරයෝ එකතු වෙති. එය ද සාමාන්‍ය සිරිත ය.

මනුෂ්‍ය ලෝකයේ හොඳ පැත්ත ද එසේ ම ය. මෙලොව යහපත් මතවාද දිව්‍ය හා බ්‍රහ්ම ලෝක කරා පැතිර යන්නේ යැයි බුදුන්ගේ මංගල ධර්ම දේ්ශනයෙන් ම පැහැදිලි වේ. ධම්මචක්ක පවත්වන සූත්‍රය අකනිටා බඹ ලොව තෙක් පැතිර ගියේ යැයි කියති. බුදුන් ගේ ධර්ම දේ්ශනා ශ්‍රවණය සඳහා දෙවියන් – බඹුන් පැමිණි බව අභි ලේ්ඛනවලින් පැහැදිලි වේ. බෞද්ධ සාහිත්‍යයෙන් ද පැහැදිලි වේ. බුදුන්ගේ බණ අසන්නට ද; එම දේ්ශනාවට අනුව ජීවිතය සකසා ගන්නට ද පෙර පින් තිබිය යුතු ය. එසේ පෙර පින් නැත්තෝ බුදු බණ ඇතත් පාපකාරී මාර්ගවල ම ගමන් කරති.

ඊයේ පුවත්පත් වල ද පෙරේදා පුවත්පත්වල ද අපූරු ප්‍රවෘත්ති කිහිපයක් හා ඡායාරූප කිහිපක් ද පළ වී තිබිණි. ඒවා දකින පෘතග්ජන මිනිසාට යම් අපුලක් දැනෙන්නට පුළුවන. එක් ඡායාරූපයකින් නිරූපණය වන්නේ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනියගේ සුරතෙහි පිරිත් නූලක් ගැට ගසන මාදුළුවාවේ සෝභිත හිමියන් ය. තවත් ඡායාරූපයකින් නිරූපණය වන්නේ අගවිනිසුරුවරියට සුබ පැතීම සඳහා පැමිණ සිටින සරත් ෆොන්සේකා මහතා හා රංගේ බණ්ඩාර මහතා ය. අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීමට පෙර එතුමියගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා මේ පිරිස ක්‍රියා කරන්නට ඇත. පිරිත් නූල් ද ඒ සඳහා ය.

පිරිත් නූල් ගැට ගැසීම, බෝධි පූජා සංවිධානය කිරිම අද සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබේ. එක්සත් ජාතික පක්ෂ යුගයේ ආණ්ඩුවේ අනුග්‍රහය මත ජීවත් වූ සොත්ති උපාලි නම් මැරයා හැකි සෑම විටක ම දළදා මාළිගාව වඳින්නට ගියේ ය. වසරකට වරක් කතරගම ගියේ ය. භික්ෂූන් ලවා පිරිත් නූල් ගැටගස්වා ගත්තේ ය. සතියකට වරක් වත් බෝධි පූජාවකට සහභාගී වූයේ ය. ඔහු ගේ පින්කම් නිවැරැදි නම්; සොත්ති උපාලි ඊළඟ ආත්මය ලැබිය යුත්තේ දෙව් ලොවක ය. එහෙත් මේ මැරයාට එබඳුු පින් මහිමයක් නැති බව අපි හොඳට ම දනිමු. ඔහු මිය ගියේ මහ පාරේ ය. ඒ ටී පනස් හයේ තුවක්කුවකින් තබන ලද වෙඩි වරුසාවකින් ය.

පිරිත් නූලක සෙත් - ශාන්තිය ලැබීමට නම්; පිරිත දේශනා කරන තැනැත්තා පිරිසුදු, සත්‍යවාදී කෙනකු විය විය යුතු ය. පිරිත් අසන්නා ද පිරිසුදු, සත්‍යවාදී කෙනකු විය යුතු ය. අව ම ලෙස පන්සිල් පද පහවත් නො රකින කෙනකු පිරිත් සජ්ඣායනා කළ ද එම පිරිතෙහි බලයක් තිබෙන්නට පුළුවන් කමක් නැත. පිරිත් අසන්නා අමු හොරකු නම්; වංචාකාරයකු නම් පිරිතේ බලය ඔහුට හෝ ඇයට හෝ නො ලැබෙනු ඇත. අප අවට සමාජයෙහි වැඩිපුර ම දකින්නට ඇත්තේ පංච කාමයෙහි ඇලී – ගැලී නොයෙක් විගඩම් කරනු ලබන මිනිසුන් හා ගැහැනුන් ය. ඒ අතර බම්බලපිටියේ කොරියන් අවන්හල්වලට ගොස් බැදපු මස් බුදින හා සෝජු නම් මත්පැන් පානය කරන අය ද පිරිත් කියති. නූල් ද ගැට ගසති. අප ජීවත්වනුයේ එබඳු විකාර සමාජයක ය.

අගවිනිසුරුතුමියගේ අතක පමණක් නොව ගෙලෙහි වුව පිරිත් නූල් ගැට ගැසීමේ අයිතියක් ඕනෑ කෙනකුට තිබේ. එය කිසිවකුට තහනම් කළ නො හැකි ය. එහෙත් මේ පෙළගැසීමෙහි අර්ථය වන්නේ අධිකරණයේ හා පාර්ලිමේන්තුවේ ගැටුම උග්‍ර කිරීම ය. උග්‍ර කොට රජය අස්ථාවර කිරීම ය. එහි හානිය අධිකරණයට, පාර්ලිමේන්තුවට, අගවිනිසුරුවරියට පමණක් නො ව මුළු රටට ම බලපානු ඇත. මේ මොහොතේ බුද්ධිමතුන් ක්‍රියා කළ යුත්තේ ගැටුම වර්ධනය වන ආකාරයට නො ව ගැටුම සමථයකට පත් වන ආකාරයට ය. එය බුද්ධිමතුන්ගේ හා ප්‍රගතිශීලීන්ගේ වගකීමක් ලෙස සැලකිය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අගවිනිසුරුවරිය යනු හතර වන පුරවැසියා ලෙස සලකනු ලැබේ. එම තනතුර සතු බලය හා ගෞරවාන්විතභාවය තනතුරු දරන්නන් විසින් ම ආරක්ෂා කර ගත යුතු ව තිබේ. වත්මන් අගවිනිසුරුවරිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි ව චෝදනා පත්‍රයක් ඉදිරිපත් වී තිබේ. එය විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ද පත් කර තිබේ. තනතුර කුමක් වුව චෝදනාවක් ඉදිරිපත් වූ කල්හි තමන්ගේ නිරිදෝෂීභාවය සනාථ කළ යුතු ය. ඊට ඇති හොඳ ම විසඳුම වන්නේ තේරීම් කාරක සභාවට මුහුණ දීම ය. අගවිනිසුරුවරිය වටා රොක් වන පිරිස ඊට බාධා කරන බවක් අපට පෙනෙන්නට තිබේ. එය එසේ නො විය යුතු ය.

ජිප්තුවේ, පාකිස්තානයේ, පිලිපීනයේ, මාලදිවයිනේ හා අමෙරිකාවේ ද අගවිනිසුරුවරුනට එරෙහි ව මෙබඳු දෝෂාභියෝග ඉදිරිපත් වූ අවස්ථාවන් තිබිණි. ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මහතාගේ අගවිනිසුරුවරයා එරට දූෂිත පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ ප්‍රතිපත්තියක් ගෙන ගොස් තිබිණි. එම චෝදනා සනාථ වූයෙන් ඔහු තනතුරෙන් ඉවත් කැරිණි. පාකිස්තානයේ අගවිනිසුරු ඉෆ්ටිකාර් චෞද්රි තනතුරෙන් ඉවත් කළේ මුෂාරෆ් ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා කිරීම යන චෝදනාව සනාථ වීමෙන් ය. ශශ්‍රී ලංකාවේ වත්මන් අගවිනිසුරුවරියට එරෙහි ව චෝදනා දාහතරක් එල්ල වී තිබේ. මේ චෝදනා සනාථ වුවහොත් එතුමිය තනතුරෙන් පහ කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනු ඇත.

මේ චෝදනාවලට අමතර ව නීති ක්ෂේත්‍රයේ කණ්ඩායම් කිහිපයක විරෝධතා ද එතුමිය වෙත එල්ල වී තිබේ. මෙබඳු කෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් නීති ක්ෂේත්‍රයෙහි පරිහානියක් ඇති වූයේ යැයි ඔව්හු තර්ක කරති. මේ සම්බන්ධයෙන් විභාග වූ නඩුවක් ද ඇත. දේ්ශපාලන කණ්ඩායම් කිහිපයක් ද අගවිනිසුරුවරිය ගේ පත්වීමට විරෝධතා දක්වා තිබිණි. නීති පීඨයේ ආචාර්යවරුන්ගේ විරෝධතාවක්ද එතුමිය වෙත එල්ල වී තිබිණි. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා හා විරෝධතා පවතින බව හා ඒ වෙනුවෙන් විශාල පිරිසකගේ නියෝජනයක් ද පවතින බව ය.

ජය පිරිත හැමදා ම සජ්ඣායනා කළ ද සමහර අයට ජයක් සිදු වන්නේ නැත. රතන සූත්‍රය හැමදා ම සජ්ඣායනා කළද සමහර අයට රෝග සුව වන්නේ නැත. අංගුලිමාල පිරිත සජ්ඣායනා කළ ද දරු ප්‍රසූතිය පහසු වන්නේ නැත. පිරිතේ ආනිසංස ඇත්තේද ඒ ඒ පුද්ගලයන්ගේ හැසිරීමට අනුව ය. පාපකාරී පුද්ගලයකු පිරිතෙන් සෙත් ශාන්තියක් අපේක්‍ෂා කිරීම; චුදිතයකු නඩු විනිශ්චයක් කිරීම වැනි කාර්යයකි. 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all