පල්ලියේ ඝාණ්ඨාර නාදයත්, අල්තාරය අසල යාඥා කරන පියතුමන්ගේ ආශිර්වාදයත් රටටම
කියා පාන්නේ අපට උරුම වූ සදාකාලික සාමය බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය.
ඒ සාමය රැක ගැනීමේ සහ ජාතීන් අතර සහෝදරත්වයෙන් අත්වැල් බැද ගැනීමේ වගකීම අප
වෙත සෑම අවස්ථාවකදීම පැවරී ඇති බව සමානාත්මතාවය සහ සදාතනික සාමයේ
පණිවුඩය ලොවට දායාද කළ යේසුස් ක්‍රිස්තුස් දෙවි සමිඳාණන්ගේ අසිරිමත් උපත
සිහිපත් කෙරෙන මේ නත්තල් මංගල්‍යය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන්නේ බැති
සිතිනි.
ජාති, ආගම්, වර්ග, පක්ෂ ආදී සියලු බෙදීම් බිද සමස්ත මනුෂ්‍ය වර්ගයා එක් මානව
කොට්ඨාසයක් ලෙස සැලකූ යේසුස් දෙවි සමිඳාණන්ගේ ඉගැන්වීම තුළින් මනාව පසක් වන්නේ
සදාකාලික සාමය, සහජීවනය සහ සමානාත්මතාව ලොවට උරුම විය යුතු බවය.
පාපයත් ආත්මාර්ථකාමයත් නිසා පීඩාවෙන් අසරණව, පරිහානියේ එළිපත්ත මත
මිනිසා පය තබා සිටි යුගයක, මිනිස් ආත්මයෙන් ලොව පහළව අසාධාරණත්වයට එරෙහිව
සාමයේ පණිවුඩය ජනතාවට බෙදන්නට යේසුස් දෙවි සමිඳාණන් වහන්සේ ක්‍රියා කළේය.
අධම පාලකයන්ගේ කෘර පාලනයෙන් බැටකෑ ජනතාවට යේසුස් වහන්සේ යුග පුරුෂයකු වී
නිසි මාර්ගෝපදේශය ලබාදුන් සේක. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වශයෙන් සිටියත්,
එම ලෝකෝත්තර තත්ත්වය අතහැර උන්වහන්සේ අප වෙත එළැඹියේ දයාව, ප්‍රේමය හා අප වෙත
නොඅඩුව දැක්වූ මානව සෙනෙහස නිසා යැයි මම විශ්වාස කරමි.
නත්තල යනුවෙන් අප සමරන කිතුණු උපත එවැනි ගාම්භීර සැණකෙළියක් නොවිය යුතුය.
ශාන්ත ලූකස්‌තුමාගේ සුවිශේෂයේ සඳහන්ව ඇති අන්දමට යේසු කුමරුගේ උපත හද සසල
කරවන්නකි. බෙත්ලෙහෙම් නුවර බොජුන්හල් හා තානායම්වල කමින් බොමින් හා නටමින්
ප්‍රීති වූ වරප්‍රසාද ලත් උසස් පංතියට විනෝද වන විට දිළිදු බිළිදෙක්
වශයෙන් යේසුස් කුමරාණන්ට උපත ලබන්නට සිදුවූයේ බෙත්ලෙහෙම්නුවර කොනකවූ පාළු
ගව ලෙනක දීය.
මෙලොවට මාංභගතවූ දෙව් මහෝත්තමයාණන්, ඒ සුභාරංචිය සුර දූතයන් විසින්
ප්‍රකාශ කරනු ලැබුවේ පාපයෙන් පවිටු දනන් මුදා ගැනීම උදෙසාය. අසාධාරණත්වයට
එරෙහිව සාමයේ පණිවුඩය උන්වහන්සේ ලොවට ප්‍රකාශ කළේය. අසාධාරණයට හිස නමනු
වෙනුවට පීඩිත ජනයාට දෙපයින් නැගී සිටීමට උන්වහන්සේ ආශිර්වාද කළේය. නත්තල්
මංගල්‍ය විනෝද සැණකෙළියක් වශයෙන් නොසලකා එහි සැබෑ අරුත අප විසින් අවබෝධ කර ගත
යුතුය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් තිස් වසරක කුරිරු යුද්ධය නිමා
කිරීමත් සමග ශ්‍රී ලංකාවට මේ වන විට සදාතනික සාමය උදාවී ඇත. මේ අසිරිමත්
නත්තල් මංගල්‍යය සමරන මොහොතේදී මම යළිත් සිහිපත් කරමි.
ඔබ සැමට ප්‍රීතිමත් හා සාමයෙන් පිරි නත්තල් මංගල්‍යයක් වේවා!
0 comments:
Post a Comment