Photobucket

Thursday, December 6, 2012

දකුණු අප්‍රිකාවට පැරදුණු ඔස්ට්‍රේලියා පිල දැන් ‘තුවාල වූ සෙබළුන්’ වගෙයි

- මහේල ජයවර්ධන

දකුණු අප්‍රිකාව හමුවේ ලත් පරාජය හා රිකී පොන්ටිං ගේ සමුගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව “තුවාල වූ සෙබළුන්” මෙන් තම ක්‍රීඩකයන්ට පහර දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ පැවසීය.

පසුගිය සඳුදා අවසන් වූ තෙවැනි හා තීරණාත්මක ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 309කින් දකුණු අප්‍රිකාව ට පරාජය වූ අතර ඒ අනුව ඔස්ට්‍රේලියාව තරග 1 – 0ක තරගමාලා පරාජයක් ලැබීය.

එම ජයග්‍රහණය හේතුවෙන් දකුණු අප්‍රිකාව ට ලොව අංක 1 ශ්‍රේණිය රැක ගැනීමට හැකි වූ අතර එම පරාජය නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට, දහහත් වසරක් පළපුරුදු පොන්ටිං ට ලබා දීමට අවශ්‍යව තිබූ නික්ම යාම ලබා දීමට නොහැකි විය.

ඔස්ට්‍රේලියාවේදී තවමත් ටෙස්ට් තරගයක් ජය ගෙන නැති ශ්‍රී ලංකාව ප්‍රසන්න කණ්ඩායමක් ලෙසින් දිස් නොවනු ඇතැයි ජයවර්ධන, ක්‍රිකට් ඔස්ට්‍රේලියා සභාපතිගේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින තරගය ට පෙර කියා සිටියේය. මේ පුහුණු තරගය අද කැන්බරා හි දී ආරම්භ වේ.

“මම ඔවුන්ව දකින්නේ තුවාල වූ සෙබළුන් විදියටයි...ඔවුන් අපට එරෙහිව ශක්තිමත්ව නැගී සිටින්න ඉඩ තියෙනවා” යැයි ජයවර්ධන වාර්තාකරුවන්ට කියා සිටියේය. පොන්ටිං නැතිව සිටියදීත් ඔස්ට්‍රේලියාව ට “යෝග්‍ය පිතිකරු පෙලක්” සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

“ඔස්ට්‍රේලියාව අපට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරාවි. අපි එයට සූදානම් විය යුතුයි. අසීරු අවස්ථා හොඳින් හසුරුවා ගැනීමට අපි කටයුතු කළ යුතුයි.”

නවසිලන්තය ට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාවේ අසාර්ථක වූ කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවේදී ඔහු ට සුපුරුදු දස්කම් ප්‍රදර්ශනය කරනු ඇතැයි ජයවර්ධන කීවේය.

ටෙස්ට් තරග 3ක්, ජාත්‍යන්තර එක්දින තරග 5ක් හා විස්සයි20 තරග 2කින් සමන්විත ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව නායකයා ලෙසින් තමාගේ අනාගතය පිළිබඳව තමා සලකා බලන බව ද 35 හැවිරිදි ජයවර්ධන ප්‍රකාශ කළේය.

“මේ සංචාරයෙන් පසුව අපට සති හතරක නිවාඩුවක් ලැබෙනවා. එවැනි නිවාඩුවක් ලැබෙන්ලේ අවුරුදු තුනකට විතර පස්සෙයි. මා කළ යුත්තේ කුමක්දැයි කල්පනා කිරීමට මට ඒ කාලය තුළ වෙලාවක් ලැබෙනවා.”

“තවත් නායකයකු හදා ගන්නත් අපට අවශ්‍ය වෙලා තියෙනවා. ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් තවමත් කණ්ඩායමේ සිටිද්දී ඒ වෙනස ඉතාමත් මෘදු ලෙසින් කළ යුතුව තිබෙනවා. මා මේ ගැන තේරීම් නිළධාරීන් එක්ක කතා කරනවා. ඔවුන්ට හොඳම දේ සාකච්ඡා කිරීමෙන් පසුව මම මා ගැන තීරණයක් ගන්නවා” ශ්‍රී ලංකා නායකයා වැඩි දුරටත් කියා සිටියේය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
සිඩ්නි (ඒ.එෆ්.පී.)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all