Photobucket

Sunday, December 9, 2012

අළුත් බයිසිකලයෙන් මරු හමුවට ගිය අඹ යහළුවෝ

පීත්ත පටියක් සේ දිවෙන ගාලු-මාතර පාරේ සුප්‍රකට උණවටුන පසුකරන විට හමුවන්නේ තල්පේ ගමය. ගාලු මාතර පාර සමග විටක ළං වෙමින්ද තවත් විටක දුරස් වෙමින් ගමන් කරන කෝච්චි පාර තල්පේ ගම හරහා යන්නේ ‍පොල් රුප්පා මැදිනි. තල්පේ දුම්රිය නැවතුම්‍පොළත් ගාලු පාරත් අතර ඒ හැටි දුරක් නැති මුත් ගම්මු දුම්රියෙන් ගමන් යාමට බොහෝ කැමැත්තක් දැක්වූවෝය. හිමිදිරියේ සිට ‍පොල් රුප්පා අතරින් එබිකම් කරමින්ද  නළා හඬවමින් දුවන යකඩ යකාගේ ගමන තල්පේ වැසියන්ට අරුමයක් නොවීය. 

ඒ දශක ගණනාවක් පුරා ගම්මු යකඩ යකා තම ගම හරහා දුවන අයුරු දැක තිබෙන නිසාමය. එනමුත් පෙර මෙන් නොව මීට හත් අට මාසයක සිට යකඩ යකා ගම හරහා දුවන්නේ විදුලි වේගයෙන් බව ගම්මුන්ට තේරුණි. ඒ කෝච්චි පාර අලුත්වැඩියා කිරීමත් සමගය. එපමණක් කලක්  ගමේ අතුරු මාර්ගවලට  සමාන්තර උසකින් තිබූ කෝච්චි පාර අලුත්වැඩියාවත් සමග ‍පොළොවෙන් උඩට ඉස්සුණේය. මේ වෙනස්කම් නිසා ගම්මු කෝච්චි පාර  හරහා තිබෙන අතුරු මාර්ගවලින් යාමේදී පරිස්සම් වූහ. එනමුත් ගමේ හුන් කොලු පැටවුන්ට කෝචිචි පාරේ  භයානකකම තේරෙන්නේ නැත.  ඔවුහු නොදරුවෝය. ඒ බව දැන දැනත් දුම්රියේ ලොකු මහත්වරු පුටු රත් කරමින් හුන්නා මිස අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට උණ බම්බුවක් දැමීමටවත් උනන්දු නොවූහ. ඇතැම් විට මැති ඇමැතිවරුන්ටද ලොකු මහත්වරුන්ටද එසේ කරන්නට උනන්දුවක් නැත්තේ ඔවුන්ගේ දරුවන් ගම්වල තිබෙන අනාරක්ෂිත දුම්රිය මාර්ග හරහා යන්නේ නැති නිසා වෙන්නැතිය. 
 
ඉකුත් පස් වැනිදා මුළු තල්පේ ගම්මානයම එකම මළගෙයක් වීමට පසුබිම වූයේ නිලධාරීන්ගේ මේ නොසැලකිල්ලය.

තල්පේ දුම්රිය නැවතුම්‍පොළ ආසන්නයේ ඉඳිගහදූව වත්තේ හුන් හිමාන් සත්සර දිසානායක හා මධුෂාන් රශ්මික දෙදෙනාත් නොදරුවෝය. ඔවුහු අඹ යහළුවෝය. හිමාන් සත්සර දස හැවිරිදිය. මධුෂාන් රශ්මිකගේ වයස අවුරුදු එකොළහකි. හිමාන් අකුුරු කළේ හබරාදූව අභයදාන ඉස්කෝලෙ පස් වැනි පන්තියේය. මධුෂාන් ඉගෙන ගන්නේ වැල්‍ලේතොට සුගතානන්ද විදුහ‍ලේය. 

හිමාන් සත්සරගේ තාත්තා  නැත. අම්මා චතුරිකා දිලානි  වසර එක හමාරකට පෙර මැද පෙරදිග වැලි කතර බලා පිටත් වූයේ දරුවන්ගේ දිවිය සැපවත් කිරීමට වැඩිපුර කාසි හම්බු කිරීමේ අදිටනිණි. ඇය ගියේ සවුදි අරාබියටය. මවත් පියාත් නැති දරුවන් සිවුදෙනා භාර කෙරුණේ ආච්චි අම්මාටත් සීයාටත්ය. හිමාන්ගේ සීයා පී.ජී. විල්බට්ය. ආච්චි ඩබ්ලිව්. ලලිතාය. ඔවුන් දෙදෙනා දරුවන් සිවුදෙනා රැක බලා ගත්තේ ඇහේ තියාගෙනය.
පැටි වයසේ හුන් දරුවන්් බයිසිකල් පදින්නට බොහෝ මනාපය. හිමාන්ටත් ඒ ආසාව ඉහටත් උඩින් තිබුණේය. එනමුත් බයිසිකලයක් කියූ සැණින් අරන් දෙන්නට ඔහුගේ ළඟ මවත් පියාත් හුන්නේ නැත. සවුදියේ සිට අම්මා දුරකතනයෙන්  කතා කළ වාරයක් වාරයක් පාසා හිමාන් ‘අනේ අම්මේ බයිසිකලයක් අරන් දෙන්නකෝ” යනුවෙන් ඇවිටිලි කළේය. වැලි කතරේ දහඩිය කඳුළු වගුරවමින් හම්බු කළ කාසි වලින් බොහෝ වැඩ කිරීමට තිබුණද ඇයට සිය කුඩා පුතුගේ ඉල්ලීම අහක දමන්නට සිත් නොදුන්නාය.
ඇය සිය පියාගේ නමට දෙසතියකට ඉහතදී මුදල් එව්වේ පුංචි පුතුගේ ආසාව ඉටු කරන්නටය. එනමුත් බැංකු කටයුතු වලදී වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් සීයා වූ විල්බට්ට මුදල් ආපසු ගැනීමට නොහැකි විය. එය නිවැරදි කිරීමෙන් ඉක්බිතිව මුදල් ගැනීමට හැකි වූයේ ගිය සතියේය.

දෙසැම්බරයේ පාසල් නිවාඩුව ලැබෙන්නට ඉතිරි වී තිබුණේ දින දෙක තුනකි. හිමාන් සත්සර පුතුගේ ලොකුම ආසාව තිබුණේ නිවාඩු කාලයේ මදි නොකියන්නට බයිසික‍ලේ පැදීමටය. දිනය ඉකුත් පස්වැනිදාය. එදින හිමාන් ඉස්කෝලෙ නොගියේය. ලබන වසරේදී හයේ පන්තියට සමත්වී හුන් ඔහු ඉස්කෝලෙ නොගියේ පාසල් නිවාඩුව ළංවෙනවාත් සමග අකුරු උගන්වන්නේ නැති නිසාය.  
එදින උදේ විල්බට් ගාලු ගියේ සිය මුනුබුරාගේ ආසාව ඉටු කර දෙන්නටය. නවීන පන්නයේ හැඩ වැඩ ඇති බයිසිකලයක් මිලදී ගත් විල්බට් ඉර මුදුන් වූ වෙලාවේ ගෙදරට ආවේය. බයිසිකලය දුටු හිමාන් සත්සර පුතුට රජකම ලැබුණා මෙන් සතුටක් දැනුණේය. ඔහු සිනාසුණේය. බයිසිකලය අතගෑවේය. නිම්හිම්  නැති සතුට නිසා ඔහු මොහොතක්වත් පමා නොවී පාපැදිය පදින්නට පටන් ගත්තේය. වත්තේ ඒ කොණේ සිට මේ කොණට බයිසිකලය පැද්දේය. ආසාව ඉවර නොවීය. දහඩිය දමමින් හති වැටෙන තුරු ඔහු බයිසිකලය පැද්දේය.

ඉක්බිතිව ඔහු තමාට ලැබුණු මහානර්ඝ තෑග්ග ගැන කීමට අඹ යහළුවාගේ ගෙදරට ගියේය. මධුෂාන් රශ්මිකගේ ගෙදරට ඒ හැටි දුරක් නොවීය. ඔහු එදින දහව‍ලේ ගෙදර ආවේ අලුත් අවුරුද්දේ අලුත් පන්තියට යාමට අලුතෙන් ලැබුණු ‍පොත් මිටියත්් තුරුළු කරගෙනය. අලුත් ‍පොත්වල අසිරිය බලමින් හුන් ඔහුටත් මිතුරාගේ තෑග්ග දුටු සැණින් ඉහේ මලක් පිපුනාක් මෙනි. හිමාන් පුතු මධුෂාන්ටත් බයිසිකලය පදින්න දුන්නේය. ඊළඟට දෙන්නාම බයිසිකලයේ නැගී ඒ එහෙ මෙහෙ ගියෝය.
මේ අතර කුස්සියට ගිය ආච්චි අම්මා දුටුවේ සීනි බෝතලය අඩියටම හිඳී තිබෙන බවය. “පුතේ සීනි ඉවරයි” ඕ හිමාන්ට කීවාය.
“ආච්චි මම අලුත් බයිසිකලෙන් කඩේ ගිහින් සීනි අරන් එන්නම්” හිමාන් කීවේය.

නොදරුවන්ගේ හැටි එහෙමය. හා හා පුරා ලැබුණු බයිසිකලය පාර දිගේ පැදගෙන යන්නට ඔවුන් බොහෝ ආසය. තනිවම කඩේ  නොගිය හිමාන්, මධුෂාන් බයිසිකලයට නංවාගෙන දුම්රිය හරස් පාරත් පසුකරගෙන ගාලුපාර දෙසට ගියේ සීනි ගැනීමටය. කඩෙන් සීනිගෙන මිතුරෝ දෙන්නා යළිදු වරක් නිවස බලා පිටත් වූවෝය. එවිට වේලාව පස්වරු එකයි තිහට පමණ ඇතිය.

 “රජරට රැජිණ” කෝච්චිය බෙරිහන් දීගෙන තල්පේ ගම හරහා යන්නෙත් ඒ වෙලාවටය. උදේ පාන්දර වවුනියාවෙන් ගමන් අරඹන ඇය දහවල් එකට පමණ ගාලු එන්නීය. ගාලු දුම්රිය නැවතුමේදී එංජිම මාරු කිරීමෙන් ඉක්බිතිව “රජරට රැජිණ” මාතර බලා ගමන් අරඹන්නීය. දවල් එකයි තිහට පමණ තල්පේ පසු කරමින් හුන් “රජරට රැජිණය” නොදරුවන් දෙදෙනෙකු පාර හරහා ගමන් කරන බව නොදැන හුන්නාය.
නොදරුවොත් කෝච්චි පාරේ රජරට රැජිණ එන බවද නොදැක්කහ. සීනි මල්ල ගෙන අලුත ගෙනා බයිසික‍ලේ නැගි හිමාන් හා මධුෂාන් අඹ යහළුවෝ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ගොඩ වූයේ රජරට රැජිණ එනවාත් සමගය. ඇසිල්ලක් ගතවීමත් පෙර වේගයෙන් පැමිණි “රජරට රැජිණ” දරු දෙදෙනාත් හප්පාගෙන මීටර් තිහක් පමණ ඉදිරියට ඇදී ගොස් නතර වූවාය.

අඹ යහළුවෝ දෙන්නා එතැනම මරණයට පත්වූහ. අලුත ගෙනා බයිසිකලය සිය මුණුබුරාට නපුරක් කරතැයි සීයා සිහිනෙකින්වත් නොසිතුවේය. ඔහු මේ අසුබ ආරංචිය ඇසූ විට මහා කම්පාවට පත් විය. සතුටින් ගෙදරින් පිටත් වූ මුනුපුරාගේ සිනාවේ වෙනසක් නැති බව ඔහුට සිතුණි. ඉදිරිපස රෝදය තැලී ‍පොඩි වී ගිය බයිසිකලය ඔහු ගෙදරට රැගෙන ආවේ හදවත පුපුරණ තරමේ මහා දුකකිනි.

“පුතා හරිම ආසාවෙන් හිටියේ බයිසික‍ලේට. මම ගාලු ගිහින් බයිසික‍ලේ අරගෙන දීලා පැයක් ගියේ නෑ. කවුද හිතුවේ දෙයියනේ මෙහෙම අපරාධයක් වේවි කියලා. සිය මුනුබුරාගේ අකල් වියෝව දරාගත නොහැකිව විල්බට් සීයා හඬා වැලපෙන්නේය. විල්බට් මෙන්ම ඇගේ බිරිය වූ ලලිතාටත් මුනුබුරාගේ මරණය හරියට හීනයක් මෙනි. සීනි අරගෙන ගිහින් එන්න කියලා කියපු පුතාට මොකද වුණේ.” ඇය විලාප දෙන්නීය.

හිමාන්ගේ අඹ යහළුවා ගේ මව වන චමිලා ප්‍රියංගනි  හරියට පටාචාරා මෙනි. ඉකුත් දින කීපයේ ඈ තවත් ප්‍රශ්නයකට මැදිව හුන්නාය. යුද හමුදාවේ රාජකාරි කළ ඇගේ සැමියා හමුදාවෙන් පළා යාමේ වරදට යුද හමුදා ‍පොලීසිය ඔහුව කිරුළපන පිහිටි යුද හමුදා ‍පොලීසියට රැගෙන ගොස් තිබුණේය. ඇය ඉකුත් පස් වැනිදා හිමිදිරි උදේම නැගිට කොළඹ ගියේ හමුදාව රැගෙන ගිය සැමියාගේ  සුවදුක් බලා ඔහුට ඇඳුම් පැළඳුම් දෙන්නටය. ඒ කාරිය අහවර වී ඇය හනි හනිකට නිවසට ආවාය.

“ඉස්කෝලෙ ගිහින් දවල් ගෙදරට ආපු කොල්ලා කීවා අම්මේ මම හත වසරට පාස් වුණා කියලා. අනේ දෙයියනේ මගේ කොල්ලා කවුද අරන් ගියේ.” ඉකි බිඳිමින් ඇය නගන ප්‍රශ්නයට උත්තර දෙන්නට කිසිවෙකු නැත. තල්පේ ගමේ එකවර ගෙවල් දෙකක සුදු කොඩි එසවීමට මුල පිරූ මේ ඛිෙදවාචකය සිද්ධ වූයේ අහඹු අනතුරකින් නොවේ. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා දුම්රිය ගමන් කරන විට ලණු කෑල්ලක් ඇද තිබුණත් මේ දරුවන් දෙදෙනාගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුණි.

අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කෝච්චියට දරුවන් බිලි වූ මුල්ම අවස්ථාව මෙය නොවේ. අසූ නවයේ ජනවාරි දාහත්වැනිදා අම්බලන්ගොඩ ඩි‍පෝවට අයත් ලංගම බසයක් ඌරගස්මන්හන්දිය දක්වා ගමන් කරමින් තිබියදී අහුන්ගල්ල අනාරක්ෂිත දුම්රිය හරස් පාරේදී දුම්රියක ගැටී පාසල් දරුවෝ තිස් අට දෙනෙක් මරණයට පත්වූහ. මුළු රටම මළගෙයක් වූ මේ අනතුරෙන් පසු ආර්.ප්‍රේමදාස ජනපතිවරයාගේ නියමයෙන් අනාරක්ෂිත දුම්රිය මාර්ගවලට ජනසවිලාභීන් ලවා උණබම්බු ගේට්ටු දැමීය.

එනමුත් දැන් රට කරවන ඇත්තන්ට උණ බම්බු අමතක වී තිබේ. එය මතක් කරදීමට රට්ටු පෙරමුණ නොගන්නා තෙක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලදී තව තවත් දරුවන්් දුම්රියට බිලි වනු ඇත.

මිහිරි ෆොන්සේකා 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all