Photobucket

Wednesday, December 19, 2012

හිරු නැඟීම ප්‍රමාදයි කාලගුණයත් නරකයි

* දිස්ත්‍රික්ක 7ක් දැඩි අවදානමක
* ප්‍රදේශ කිහිපයකටම උල්කාපාත ඇද වැටිලා
* ජලාශ 72ක් පිටාර මට්ටමේ
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සීරුවෙන්

මේ දිනවල ශ්‍රී ලංකාවට සූර්යයා නැඟීම ප්‍රමාද වී ඇති බැවින් දවසේ දීර්ඝ කාලයක් අඳුර පවතී. ඒ අතර කාලගුණය නරක අතට පරිවර්තනය වී ඇති බැවින් අධික වර්ෂාව, නායයෑම් හා තද සුළං නිරන්තරයෙන් පවතී. 

ඉදිරි දින කිහිපය තුළ ද මේ තත්ත්වය පැවැතිය හැකි යැයි කාලගුණ විද්‍යාඥයෝ කියා සිටිති. තවත් භූ විද්‍යාඥයකු පෙන්වා දෙන අන්දමට ලබන 29දා ශ්‍රී ලංකාවට යම් බලපෑමක් කළ හැකි භූමිකම්පාවක් ඇතිවීමටද නියමිතය. එම විද්‍යාඥයා මේ අදහස් පළ කරනුයේ ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලට උල්කාපාත කඩා වැටෙන්නට පටන්ගෙන ඇති බවද වාර්තා වේ. උල්කාපාත කඩා වැටීම පිළිබඳ අලුත්ම සිද්ධිය වාර්තා වන්නේ පොළොන්නරුවේ ඕනෑගම ප්‍රදේශයෙන් ය.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක හතක පුද්ගල මරණ 11ක් වාර්තා වී ඇත. එක් අයකු අතුරුදන්වී ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 7ක් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාරමහතා සඳහන් කරයි.

පවුල් 6312කට අයත් පුද්ගලයෝ 21,120ක් අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. මාතලේ, හම්බන්තොට, නුවර, නුවරඑළිය, බදුල්ල, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පිඩාවට පත්ව ඇත. මොවුහු කඳවුරු 1791ක දැනට රැදී සිටිති.

මාතලේ දිස්ත‍්‍රික්කයෙන් පුද්ගල මරණ 8ක් පෙරේදා (17) වාර්තා වූ අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ පාතදුම්බර ප‍්‍රදේශයෙන් ද පුද්ගල මරණයක් වාර්තා විය. මහියංගනය - මහනුවර මාර්ගයේ එනමල්පොත ප‍්‍රදේශයේ දී ති‍්‍රරෝද රථයක් පස් කණ්ඩියකට යටවීමෙන් තවත් පුද්ගල මරණ දෙකක් ඊයේ (18) වාර්තාවිය.

අධික වැසි හේතුවෙන් දිවයින පුරා පිහිටි ජලාශ 72ක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. ඉන් 9ක වාන් දොරටු විවෘත කර ඇති අතර තවත් 17ක් පිටාර මට්ටමේ පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න ප‍්‍රකාශ කරයි. වැව් ආශ්‍රිත පදිංච්කරුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මහවැලි ජලාශ සියල්ලෙහිම ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා දිනමිණට ඊයේ (18) පැවසීය. මේ අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ යන දිස්ත‍්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නාය යාමේ අවධානම් තත්ත්වය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබේ. 

මීට අමතරව පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මල්ලවපිටිය, මාවතගම සහ රිදීගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කඳුකර බෑවුම් සහිත ප‍්‍රදේශවලද නාය යාම් සිදුවීමේ අවධානමක් පවතින බව එම සංවිධානය ප‍්‍රකාශ කරයි. 

මේ නිසා මෙම ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාම් අංශයේ ප‍්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර පෙන්වා දෙයි. 

මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයිනේ දිස්ත‍්‍රික්ක රැසකට තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධා කරුණාපාල මහත්මිය සඳහන් කළාය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් මුදා ගැනීමට ති‍්‍රවිධ හමුදාව සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීරමහතා ප‍වසයි. පීඩාවට පත් සියලූම ජනතාවට සහන සැලසීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා අවධාරණය කළේය. 

එම ප්‍රදේශවල පිහිටුවා ඇති සහන කඳවුරුවල සිටින පුද්ගලයන්ට වියළි ආහාර ලබාදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අවශ්‍ය සියලුම පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු හරහා අදාල සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් මේවන විට සහන සැලැස්වීම් ආරම්භ කර ඇති බවත් අමරවීර මහතා අනාවරණය කළේය.

අයහපත් කාළගුණ තත්ත්වය දැනටත් පවතින බැවින් ආරක්ෂිතව සිටින ලෙස ජනතාවගෙන් තමා ඉල්ලිමක් කරන බවද හෙතෙම සඳහන් කළේය. ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරණ නගරය අඩි හතක් උසට ජලයෙන් පිරි පවතී. වැල්ලව නගරයද ගංවතුර හේතුවෙන් සම්පූර්න අක්‍රිය වි තිබේ. 

මඩකළපුව පොළොන්නරුව ප්‍රධාන මාර්ගය, දහඅට වංගුව මාර්ගය, සෝමාවතී වැල්වල ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇති අතර, තවත් ප්‍රදේශ රැසක අතුරු මාර්ගද ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි පහසුතාවයට පත්ව ඇත. 

මේ වන විට එම ප්‍රදේශවල ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථාන උපදෙස් දී ඇත. එම ප්‍රදේශවල සහ කදුකර ප්‍රදේශවල නාය යාම් රැසක් වාර්තාවි ඇත. මේ හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි තිබේ.

කුඹුරු සහ පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇත. එම ප්‍ර දේශවල ජලය බැස යාමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට අදාළ ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවද දිනමිණට වාර්තාවේ.

දින කිහිපයක සිට නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍ය පරිමාණ වැව් 20කට අධික සංඛ්‍යාවක් පිටාර ගැලීමට පටන් ගෙන ඇතැයි අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාල නිලධාරියකු පැවසීය. මේ අතර රාජාංගනය ජලාශයේ දොරටු 08ක් ද වාහල්කඩ ජලාශයේ දොරටු 02ක් ද, කලාවැව ජලාශයේ දොරටු 02ක් ද ඊයේ (18) උදෑසන වන විට විවෘත කර තිබේ.

මේ හේතුව නිසා පහළ ප්‍රදේශවල වෙසෙන අයවලුන් කල්පනාකාරීව සිටිය යුතු බවද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. නාච්චාදූව ජලාශයේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 45150ක් වන අතර මේ වන විට එහි අක්කර අඩි 43050ක ජල ධාරිතාවක් පවතී. 

දිගින් දිගටම වැසි ඇද හැළුනහොත් නාච්චාදූව ජලාශයේද දොරටු විවෘත කිරීමට ඉඩ ඇති හෙයින් මල්වතු ඔය දෙපස ජනතාවට කල්පනාකාරිව පසු වන ලෙසද වාරිමාර්ග නිලධාරිහු ඉල්ලා සිටිති. පිටාර ගලන වැව් අතර හුරුලු වැව ප්‍රදේශයේ මධ්‍ය පරිමාණ වැව් 15ක් හා පදවිය ප්‍රදේශයේ වැව් 2ක්ද අනුරාධපුර තුරුවිල වැවද පිටාර ගලමින් පවතී.

වත්තේගම - රබන්ඔයේ පාවෙමින් තිබුණු කාන්තා මළ සිරුරක් මීගම්මන දී (17) දින සවස හමු වී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ උඩුගොඩ පදිංචිව සිටි නුවර ගෙදර ප්‍රේමා(65) නමැති කාන්තාවක් බව පරීක්ෂණ පැවැත්වූ වත්තේගම පොලීසිය හඳුනාගෙන ඇත. 

මේ අය වත්තේගම - උඩුගොඩ ප්‍රදේශයේ දී රබන්ඔයට වැටී ඇති අතර මේ දිනවල පවත්නා දැඩි වර්ෂාව නිසා රබන්ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති නිසා ගසාගෙන ගොස් තිබේ. වත්තේගම පොලිසියේ ස්ථානාධිපති ජේ.සමරකෝන් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්විය.

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැදුරුඔය, මයික්කුලම, වට්ටක්කල්ලිය හා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පම්බල යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් අටසිය පනහක පුද්ගලයන් හාරදහසක් පමණ විපතට පත්ව ඇත.

දැදුරුඔය පිටාර ගැළීම හේතුවෙන් දැදුරුඔය දෙපස පදිංචිකරුවන්ද, පම්බල වැව පිටාර ගැලීම නිසා පම්බල පදිංචි පවුල් සියයකට ආසන්න පිරිසක්ද ආපදාවට ලක්ව ඇත. පම්බල වැව පිටාර ගැලීම හේතුවෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය මීටර් තුන්සියයක් පමණ පම්බලදී ජලයෙන් යට වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all