Photobucket

Monday, December 17, 2012

ඇමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබිමකින් 27ක් මරුට

ඇමෙරිකානු පාසලක සිදු වූ දෙවන දරුණුතම වෙඩි තැබිමේ සිද්ධිය මෙයයි
පාස‍ලේ විදුහල්පතිනියද මළවුන් අතර

පසුගිය 15 වැනි දින ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබිමකින් 27 දෙනකු මියගියහ. මියගිය අයගෙන් 20 දෙනකු ළමුන් වන අතර 6 දෙනකු වැඩිහිටියෝ වෙති.

කනෙක්ටිකට්හි නිව්ටවුන් ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගිය සියලුම ළමුන් වයස අවුරුදු හයත් හතත් අතර පසුවූවන්ය. මෙම අපරාධය සිදුකළ තුවක්කුකරු විසි හැවිරිදි ඇඩම් ලන්සා ලෙස හඳුනාගෙන ඇති අතර පාසලට පැමිණීමට ප්‍රථම තම මවද ඔහු විසින් ඝාතනය කර ඇත. මරා දැමුණු වැඩිහිටියන් 6 දෙනාම කාන්තාවන්ය. මෙම වෙඩි තැබිමේ සිදුවීමෙන් අනතුරුව තුවක්කුකරුද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ.

සැන්ඩි හුක් නම්වූ මෙම පාස‍ලේ ප්‍රධානාචාර්යවරියද මියගිය වැඩිහිටියන් අතර වේ. ඒ සමග රැචෙල් ඩාවිනෝ, ඈන් මාරි මර්ෆී, ලෝරන් රූසෝ, මේරි ෂර්ලොෂ් හා වික්ටෝරියා සාටෝ යන කාන්තාවන්ද වෙති.

මරා දැමුණු ළමුන් අතරින් ළාබාලතමයා නෝවා ‍පොස්නර් නම් වේ. ඔහු තම සයවැනි උපන්දිනය සමරා ඇත්තේ පසුගිය මාසයේදිය. මියගිය ළමුන්ගෙන් බහුතරය සයවැනි වියට ආසන්න වයස්වල පසුවූ දැරියන්ය. වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවත්වීමට වරම් ලැබුවේ සැන්ඩි හුක් පාස‍ලේ සේවය කළ එක් කාන්තාවක් පමණි.

මෙම ප්‍රහාරය සැලවීමෙන් ජනාධිපති බරක් ඔබාමාද දැඩි ශෝකයට පත්වූ බව වාර්තා වේ. ඔහු පසුගිය ඉරිදා නිව්ටවුන් ප්‍රදේශයට ගොස් සිදුවීමෙන් ශෝකයට පත් පවුල්වල සාමාජිකයන් මුණගැසිනි. මෙම ප්‍රහාරය හෙළාදකිමින් ඇමෙරිකාවේ සිදුවන මෙවන් අපරාධවලට එරෙහිව ‘අර්ථවත් ක්‍රියාමාර්ගයක්’ ගතයුතු බවට ඔහු විසින් අදාළ බලධාරීන් හට නියෝග කර ඇත. රටක් වශයෙන් ඔවුන් මෙවන් සිදුවීම් බොහෝ ගණනකට මුහුණදී ඇති බව මෙම සිදුවීමෙන් පසු ධවල මන්දිරයේදී ඔහු ප්‍රකාශ කර තිබිණි.

මෙම ඛිෙදවාචකයට මුල්වූ තුවක්කුකරු සිය නිවසින් පිටවීමට ප්‍රථම තම මවද ඝාතනය කර ඇති අතර ප්‍රහාරය සඳහා භාවිත කරන ලද තුවක්කු ඇගේ නමින් ලියාපදිංචි කරන ලද ඒවා බැව් වාර්තා වේ. කනෙක්ටිකට්හි ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ නිලධාරිවරයාට අනුව තුවක්කුකරු සියලු දෙනාට වෙඩි තබා ඇත්තේ ස්වයංක්‍රීය ගිනි අවියකිනි.

එදින රාත්‍රී ලිමාහි ශාන්ත රෝස් දේවස්ථානයේ පිටත රැස්වූ ළමුන්ගේ දෙමාපියන් හා ජනතාව මියගිය ළමුන් හා සෙසු අය සිහිකරමින් කඳුළු පිරි දෙනෙතින් යුතුව ඉටිපහන් දල්වන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all