Photobucket

Saturday, December 29, 2012

විදුලි බලාගාරවලට දෙන දැවිතෙල් ලීටරයක මිල රු. 25කින් වැඩි කරන්න

- ඛනිජ තෙල් සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට යෝජනා කරයි

විදුලි නිෂ්පාදනය සඳහා ලබා දෙන දැවිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් වැඩි කරන ලෙස ඛනිජ තෙල් සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට යෝජනා කර ඇත.

ලංකා විදුලි බල මණ්‌ඩලය ඇතුළු විදුලිය නිෂ්පාදනය කරන ආයතන වෙත සහන මිල ගණන් යටතේ ඉන්ධන සැපයීම හේතුවෙන් මාසයකට රුපියල් මිලියන 4194කට අධික පාඩුවක්‌ සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සඳහන් කරයි.

විදුලි බල නිෂ්පාදනය සඳහා සහන මිල ගණන් යටතේ රුපියල් 103.88 ක්‌ වටිනා දැවිතෙල් 3500 වර්ගයේ ඉන්ධන ලීටරයක්‌ රුපියල් 65 කටත්, රුපියල් 100.53 ක්‌ වටිනා 1500 වර්ගයේ ඉන්ධන ලීටරයක්‌ රුපියල් 65 කටත්, රුපියල් 96.81 ක්‌ වටිනා නැප්තා ලීටරයක්‌ රුපියල් 90.00කටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව මගින් ලබා දෙන අතර, රුපියල් 129 ක්‌ වටිනා ඩීසල් ලීටරයක්‌ රුපියල් 115කටත් විදුලි බලාගාර වෙත ලබාදෙනු ලබයි.

සහන මිල ගණන් යටතේ විදුලි බලාගාර වෙත දිගින් දිගටම ඉන්ධන සැපයීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට වන අතිවිශාල පාඩුව පිළිබඳව තෙල් සංස්‌ථා නිලධාරීන් අදාළ නිලධාරීන් ද දැනුවත් කර ඇත.

මේ අතර විදුලි නිෂ්පාදනය සඳහා විදුලිබල ක්‍ෂේත්‍රයට සහන මිලට ලබා දුන් ඉන්ධන වෙනුවෙන් ලංකා විදුලිබල මණ්‌ඩලය ඇතුළු විදුලි නිෂ්පාදන සමාගම්වලින් රුපියල් බිලියන 57කට අධික ණය මුදලක්‌ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට ලැබිය යුතුව ඇතැයි ද අනාවරණය වී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all