Photobucket

Saturday, December 15, 2012

දෝෂාභියෝග වාර්තාව පිටු 1000ක්

 මුද්‍රණය සඳහා බාරදෙයි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභි-යෝග චෝදනා විමර්ශනය කළ විශේෂ කාරක සභාවේ වාර්තාව හෙට (17) මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට බාර දීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පක්ෂ නායක රැස්වීම ජනවාරි මස දෙවන සතිය මුලදී පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. දෝෂාභියෝග විශේෂ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කළ දිනම පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබුණද පැවැති උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් එය අවලංගු කරනු ලැබිණි.

 දෝෂාභියෝග විමර්ශන වාර්තාව විවාද කරන කාලය කොපමණද යන්න තීරණය කෙරෙනුයේ ද පක්ෂ නායක රැස්වීමේ දීය. කථානායක චමල් රාජපක්ෂ මෙම විවාදය සඳහා දින 10 ක කාලයක් ලබාදිය හැකි බව ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ දින දෙකක කාලයක් පමණක් මෙම විවාදය පැවැත්වෙනු ඇති බවයි.

කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මාසයක් ගත වූ දිනට පසු එය පාර්ලිමේන්තුවේ විවාද කළ යුතුය. වාර්තාව දෙසැම්බර් මස 8 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනවාරි 8 දාට පසු දිනක එය විවාදයට ගත යුතුවේ.

ලබන ජනවාරි 8 දායින් ඇරඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට දින නියම කරගෙන තිබෙන අතර එම සතියේ දී මෙම විවාදය දින දෙකක් පැවැත්වෙනු ඇතැයි පැවසේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all