Photobucket

Sunday, February 24, 2013

සහකාර පොලිස්‌ අධිකාරි තනතුරුවලට බාලගිරි දෝෂය

සහකාර පොලිස්‌ අධිකාරි තනතුර සඳහා පවතින පුරප්පාඩු සියයකට ආසන්න ප්‍රමාණයක්‌ සම්පූර්ණ කිරීමට වසර දෙකහමාරක්‌ තිස්‌සේ කටයුතු නොකිරීම පිළිබඳව ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරු දැඩි කනස්‌සල්ලට පත්ව සිටිති.

සහකාර පොලිස්‌ අධිකාරි තනතුර සඳහා උසස්‌වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක්‌ මේ වනතුරු සකස්‌කර නොමැති බවට ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරු චෝදනා කරති.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක්‌ කරගෙන යන වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මෙම උසස්‌වීම් ගැටලුව පිළිබඳව අවධානය යොමුකර ඊට කඩිනම් විසඳුමක්‌ ලබා දෙනු ඇතැයි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරු දැඩි විශ්වාසයකින් සිටිති.

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිට පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන් 638 දෙනෙකු රාජකාරි කරන බවයි.

මෙම නිලධාරීන්ගෙන් වැඩි පිරිසක්‌ සහකාර පොලිස්‌ අධිකාරි තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර සිටිති. එවැනි තත්ත්වයක්‌ මත මෙම තනතුර ලබාදීම දිනෙන් දිනම කල් දැමීම පිළිබඳව ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන් තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

සහකාර පොලිස්‌ අධිකාරි ධුරයෙන් ඉහළ තනතුරු සඳහා උසස්‌වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක්‌ සකස්‌ කර එම උසස්‌වීම් නිසි කලට ලබාදීම සිදුකරන බව අසාධාරණයට ලක්‌ වූ නිලධාරීහු කියා සිටිති.

එහෙත් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තනතුරේ සිට සහකාර පොලිස්‌ අධිකාරි තනතුර සඳහා උසස්‌වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බව ද එම නිලධාරීහු පවසති.

සහකාර පොලිස්‌ අධිකාරි ධුරය සඳහා උසස්‌වීම් ලබාදීමේදී ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම එම නිලධාරීන්ගේ කුසලතාවන් පිළිබඳව ද වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව පරීක්‍ෂක ශ්‍රේණියේ බොහෝ නිලධාරීන්ගේ මතයයි.

මෙම උසස්‌වීම් පිරිනැමීමේදී ජ්‍යෙෂ්ඨත්වය පමණක්‌ සැලකිල්ලට ගනු ලැබුවහොත් කැපවීමෙන් රාජකාරි කරන දක්‌ෂ නිලධාරීන්ට දැඩි අසාධාරණයක්‌ සිදුවන බව ද පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරීහු පෙන්වා දෙති.

සහකාර පොලිස්‌ අධිකාරි තනතුර සඳහා උස්‌වීම් පිරිනැමීමේ සාධාරණ ක්‍රමවේදයක්‌ සකසා අසාධාරණයට ලක්‌ව සිටින ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන්ට උසස්‌වීම් ලබාදීමට කටයුතු කරන මෙන් එම නිලධාරීහු පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all