Photobucket

Sunday, September 27, 2015

ජිනීවා වැඩි අවධානය ශ්‍රී ලංකාවේ සංහිඳියාවටයි


එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සඳහා ඉදිරිපත් වන යෝජනාවලි කෙටුම්පත මගින් වැඩි අවධානය යොමු කෙරෙන්නේ යුද අපරාධ ගැන සොයා බැලීමට වඩා රට තුළ සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය ඇති කිරීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට බව ඊයේ දහවල් (27 දා) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තව දෙදිනකින් (30 දා) ජිනීවා නුවරදී විවාදයට ගැනෙන ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවලිය සහ ඒ සම්බන්ධයෙන් පැනනැඟීමට හැකි ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. අගමැති වික්‍රමසිංහ මහතාට අමතරව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙම හමුවට එක්‌වූහ. එහිදී අගමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

ප්‍රභාකරන් සමඟ පැවැති යුද්ධයේදී යුද අපරාධ සිදුව තිබෙන බව මුලින්ම පිළිගත්තේ ලක්‌ රජයයි. ඒ 2009 මැයි 23 වනදා, එනම් යුද්ධය අවසන් වීමෙන් දින කිහිපයකට පසු එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ලංකාවේ සංචාරය කළ අවස්‌ථාවේදීයි. එහිදී යුද අපරාධ සොයා බලන යාන්ත්‍රණයක්‌ ඇති කිරීමට මහ ලේකම් බෑන් කී මූන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එකඟ වුණා. ඉන්පසු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක කරුණු 11 කින් සමන්විත පොරොන්දුවලියක්‌ ඉටු කරන්නටත් පොරොන්දු වුණා. එහෙත් ඒ එක පොරොන්දුවක්‌වත් රජයේ පාර්ශ්වයෙන් ඉටු කළේ නැහැ. උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම (ඛඛRC) ක්‍රියාත්මක කරනවා කියා කීවත් එය සිදුවුණෙත් නැහැ. එහෙම ඇදෙමින් තිබුණු මේ ප්‍රශ්නය තවත් දුරදිග ගියා නම් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික මට්‌ටමෙන් සම්බාධක පැනවීමේ තර්ජනයක්‌ මතුවෙන්න තිබුණා. එහෙත් අද ඒ තර්ජනය නැති කර සාධාරණ තලයකට ජාත්‍යන්තරය ගෙන ඒමට අපට හැකිව තිබෙනවා. මේ ප්‍රශ්නය අවසන් කරගැනීම සඳහා අපට ලැබී තිබෙන අවසන් අවස්‌ථාව මෙයයි.

මේ අලුත් යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් දෙයක්‌ තමයි අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඇති කරන්නටයි. අපේ වැඩපිළිවෙළ නිසා හිටපු ජනාධිපතිතුමත් විදුලි පුටුවෙන් බේරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමත් විදුලි පුටුවෙන් බේරෙනවා.

මෙම යෝජනාවලිය ක්‍රියාත්මක වීමෙන් පසු ආගමික නායකයන්ගේ මණ්‌ඩලයක්‌ හෙවත් කාරුණික සභාවක්‌ පිහිටුවන බවත් ඒ හරහා නිර්දේශ ලබාගෙන ප්‍රතිසන්ධානය සහ සංහිඳියාව ඇති කිරීමට කටයුතු කරන බවත් අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේය. දේශීය යාන්ත්‍රණය මගින් සොයා බැලෙන ප්‍රධාන කාරණයක්‌ වන්නේ යුද සමයේදී යුද්ධයෙන් පරිබාහිරව සිදු වූ ස්‌ත්‍රී දූෂණ, පුවත්පත් කලාවේදීන් පැහැරගෙන යැම්, සහ පහරදීම් වැනි දේ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all