Photobucket

Wednesday, March 6, 2013

ගාලු කොටු පවුර යටින් ඉපැරැණි උමං මඟක් මතුවෙයි

ලෝක උරුම ගාලු කොටු පවුර පිළිබඳව ප්‍රථමවරට එහි ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක යෙදුණු රුහුණු විශ්වවිද්‍යාලයේ ගාල්ල වක්වැල්ල ඉංජිනේරු පීඨයේ පරිගණක කණ්ඩායමක් විසින් මෙකී කොටු පවුර යටින් සකස්කොට තිබූ ආරක්‍ෂිත උමං පද්ධතියක් සොයාගෙන ඇත.
ස්ථාන තුනකින් සොයාගනු ලැබූ මේ උමං මීටර් 5 1/2 ක් පමණ උස, මීටර් 45 ක් පමණ දිග එක් උමඟක් ද, දිගින් එයට මඳක් අඩු තවත් උමං දෙකක් ද, කොටු පවුරෙහි ඇති මුර අට්ටාල යටින් සොයා ගනු ලැබූ බව මේ පරීක්‍ෂණ අංශයේ ආචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර මහතා පවසයි.

එපමණක් නොව මේ කොටු පවුරෙහි නිර්මාණය ගැන කළ මේ විද්‍යුත් පරීක්‍ෂණයට අනුව මෙහි ප්‍රථම කොටු පවුර භූමියේ යටම තට්ටුවක පිහිටි ස්වභාවික කළුගල් මත මුහුදින් කඩාගත් කොරල් කෑළි යොදා මීටර් 6 ක් පමණ උසට පළමු ගොඩනැඟීම සිදුකර ඇතැයි ද සොයාගත් බව ඒ මහතා පවසයි. 

මේ කොටු පවුරෙහි මීටර් 6 සිට 12 දක්වා උස් කොට බැඳ ඇත්තේ දෙවන වතාවට බවත්, බොහෝ විට එය ලන්දේසීන් විසින් සිදු කරන්නට ඇතැයි පවසන ඒ මහතා එම ඉස්සීම මිශ්‍ර පස් තට්ටුවක් මගින් සිදුකොට ඇතැයි ද අනාවරණය කළේය.

කොටු පවුරේ මැද දොරටුව අසලින් ඉදිරියට නෙරා ගිය පහළ තට්ටුව එයට පසුව සකස් කර ඇති බවත්, බොහෝ විට එය මීටර් 6 සිට 12 දක්වා උස් කළ කොටු පවුරේ ශක්තියට යෙදූ මුක්කුවක් බඳු වී යැයි ද ඒ මහතා අනාවරණය කරයි.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ලෙසට මේ පිරිස දක්වන්නේ මෙයට වසර පන්සියයකට ප්‍රථම පෘතුගීසින් විසින් කොටු පවුර ඉදිකිරීමට භූමියේ පිහිටීම ගැන සොයා බලන තාක්ෂණික දැනුමක් ඔවුනට තිබූ බවත්. ඒ නිසාම පිහිටි ස්වාභාවික ගල් සොයා ඒ මත සිට කොටුව උස්කර ඇති බවය. ඒ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ කළුගල් නොව මුහුදින් සපයා ගත් කොරල් පාෂාණ බව මනා සේ පැහැදිලි යයි ද ප්‍රියංකර මහතා අවධාරණය කරයි.

මේ පිරිස විසින් ක්‍රම දෙකක් භාවිතා කොට මහා වැසි ධාරාවකට මෙය යම් අනතුරක් වේදැයි සොයා බැලූ බව පවසන ඒ මහතා, සමස්ත කොටු පවුරම යළිත් සුනාමියක් වන ස්වාභාවික ආපදාවකට හෝ කාලගුණික හා දේශගුණික බරපතළ වෙනස්කමකට හෝ මේ පවුර විනාශ කළ නොහැකි විශ්මිත එකකැයි කීය.
මේ සියල්ල අනුව බලන කළ මහා කළුගල්වලින් බඳින ලදැයි බැලූ බැල්මට පෙනෙන ගාලු කොටුවෙහි නිර්මාණය කොරල් හා මිශ්‍ර පස්වලින් යුක්ත වීම විශේෂ කරුණකැයි ද ඒ මහතා පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ ගාල්ල ඉංජිනේරු විද්‍යා පීඨයේ සිටි පීඨාධිපති ඒ. එම්. එන්. අලගියවන්න මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙහි භූමියේ නිර්මාණ ඉංජිනේරු තත්ත්වය ගැන ආචාර්ය පි‍්‍රයංකර මහතා ද, භූගත ජල හා මල අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ආචාර්ය සිරිල් කාරියවසම් මහතා ද, මාර්ග පද්ධතිය ගැන ආචාර්ය ජී. එම්. සමරසේකර මහත්මිය ද සමඟ ඒකාබද්ධව මෙහෙයුමක් මඟින් මෙම කරුණු අනාවරණය කරගනු ලැබුණි.

තම පරීක්‍ෂණයට කොටු පවුරේ තෝරාගත් ස්ථාන අසල මෙකී පරීක්‍ෂණය සිදුකළ බව පවසන ඒ මහතා, ඒ සඳහා ලක්‍ෂ දහයක් ගිය බව ද, ඉදිරියේදී රජය හෝ වගකිවයුතු ආයතනයක් තවත් ලක්‍ෂ දහයක් පමණ ලබා දෙන්නේ නම් සමස්ත කොටු පවුරම මෙම පරීක්‍ෂණයට භාජනය කොට පවතින ඉතිහාස කතා යාවත්කාලීන කරනු ඇතැයි ද කීහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all