Photobucket

Saturday, March 2, 2013

සිගරට්‌ පැකට්‌ටුවට විපාක එයි

එක්‌තරා කාලයක්‌ මානව සංහතිය පීඩා විඳිමින් සිටියේ බෝවන රෝග හෙවත් වසංගත හේතුවෙනි. මැලේරියාව වැනි වසංගත හේතුවෙන් ගම්බිම් නගර සම්පූර්ණයෙන්ම පාහේ සොහොන් පිටි බවට පත් වූ කතා තිබේ. ඒ පිළිබඳ විමර්ශනාත්මකව හා පර්යේෂණාත්මකව සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බෝවන රෝගවලින් මානව ශිෂ්ටාචාරයට තිබූ තර්ජනය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ පහව ගොස්‌ව තිබේ. දැන් මේ ඒ තැනට සම්ප්‍රාප්තවී ඇත්තේ බෝ නොවන රෝගයන්ය. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 68% ක්‌ සඳහා වගකිව යුත්තා වී තිබෙන්නේ මෙම බෝ නොවන රෝගයන්ය.

මානව සංහතියට දැන් තර්ජනයක්‌ වෙමින් තිබෙන බෝ නොවන රෝගයන් හිදි, පරිස්‌සම් සහගත වීමේ දැඩි අවශ්‍යතාවක්‌ මේ වන විට මතුවී තිබේ. දුම්වැටිය පිළිබඳ කතිකාව වැදගත් වන්නේ මෙතැනදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ 20,000 කට වගකිව යුත්තා වී ඇත්තේ දුම්කොළ නිෂ්පාදනයන්ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණවලින් 55 කම වගකීම භාරගත යුත්තේ දුම්කොළය. දුම්කොළ පරිභෝජනය, ශ්‍රී ලංකාව තුළදී ප්‍රධාන ආකාර තුනකට සිදු වේ. සිගරට්‌, බීඩි හා බුලත් සැපීමේදී යන එම ආකාර තුනෙනුත් ප්‍රධාන මාරක ස්‌ථානය වී ඇත්තේ සිගරට්‌ බීමය.

මෙම භයංකාර තත්ත්වය හමුවේ දුම්පානයෙන් සමාජය ඈත් කිරීම සඳහා වන ක්‍රියාකාරකම්වලට කාලයක්‌ පුරාවට ලෝකයා යොමු වී සිටියි. 2005 වසරේදී ශ්‍රී ලංකාව ඒ සඳහා වන නීති රීති සම්මත කරගත් අතර ඒ අනුව, වයස 21 ට අඩු පුද්ගලයන් සඳහා දුම්වැටි අලෙවියත්, ඔවුන් අතර ඒවා ප්‍රවර්ධනය කිරීමත් තහනම් කිරීම.

දුම්වැටි ප්‍රචාරණය, ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හා අනුග්‍රාහකත්ව තහනම් කිරීම.

වෙන්ඩින් යන්ත්‍ර හෙවත් ස්‌වයංක්‍රීයව ක්‍රියාකරන සිගරට්‌ මිල දී ගත හැකි යන්ත්‍ර තහනම් කිරීම.

සෞඛ්‍යාරක්‍ෂිත නිවේදන සඳහා දුම්වැටි නිෂ්පාදන සමාගම් ස්‌වේච්ඡාවෙන් යොමු කිරීම.

ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්බීම තහනම් කිරීම සිදුවිය.

මෙම ලිපියට නිමිත්ත සපයන්නේ ද මෙවැනි නෛතික රාමුවක්‌ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේ යොමුවීමත් ඊට එරෙහිව දුම්කොළ සමාගම් අධිකරණයේ පිහිට පැතීමත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද දුම්කොළ පාලනය සඳහා වන ජාත්‍යන්තර සම්මුතියට ලෝකයේ දෙවැනි රට හා ආසියාවේ පළමු රට ලෙස 2003 වසරේදී ශ්‍රී ලංකාව අත්සන් තබනු ලැබීය. එම සම්මුතික බැඳීම ගැන 2006 වසරේ සම්මත කරගෙන තිබෙන දුම්කොළ හා මද්‍යසාර පාලන පනත යටතේ දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළේය. එම ගැසට්‌ නිවේදනයට අනුව 2013 මාර්තු මස සිට මුඛ පිළිකා දැක්‌වෙන රූප සටහන් දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත එම ඇසුරුමෙන් 80% ක්‌ ආවරණය වන පරිදි ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබිණි. ලෝකයේ රටවල් 03 ක්‌ මේ ආකාරයේ රූපමය අවවාද සිගරට්‌ පැකට්‌ටුව මච මුද්‍රණය කිරීම සඳහා නෛතික ලෙසම අනිවාර්ය කර තිබේ. සිගරට්‌ පැකැට්‌ටුවෙන් 82.5% ක්‌ සඳහා රූපමය අවවාද මුද්‍රණය ඕස්‌ටේ්‍රලියාව අනිවාර්ය කර ඇති අතර, එය සැලකෙන්නේ සිගරට්‌ පැකට්‌ටුව මත සලකුණු කර ඇති විශාලතම රූපමය අවවාදය ලෙසය. උරගුවේ 80% ක්‌ද, කැනඩාව 75% ක්‌ද ලෙස මෙය ක්‍රියාවට නගා තිබේ. අග්නිදිග ආසියානු කලාපයෙන් මැලේසියාව, බෲනයි, සිංගප්පූරුව හා තායිලන්තය රූපමය අවවාද සිගරට්‌ පැකැට්‌ටු මත සලකුණු කර තිබේ. තායිලන්තය සිගරට්‌ පැකට්‌ටුව මත සනිටුහන් කර ඇති රූපමය අවවාදයේ ප්‍රමාණය 55% ක්‌ වන අතර එය 85% දක්‌වා වැඩි කිරීමට පියවර ගන්නා බව තායිලන්ත සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. දැනට ලොව පුරා රටවල් හැටතුනක්‌ මෙවන් රූපමය අවවාද පළකර තිබේ.

මේ තරම් දුරට රූපමය අවවාදය වැදගත් බව ලෝකයා තේරුම් ගෙන තිබෙන්නේ, සිගරට්‌ටුව විසින් මානව සංහතියට කරමින් තිබෙන හානියේ වර්ග ඵලය හේතුවෙනි. රූපමය අවවාද සිගරට්‌ටුව මත මුද්‍රණය කළ පමණින් හානිය පූර්ණ නොවුනත් සිගරට්‌ටු විසින් සමාජයට කරමින් තිබෙන හානියට දමන බාධකයක්‌ ලෙස එහි වැදගත්කමක්‌ පවතී.

2013 මාර්තු මස සිට ශ්‍රී ලංකාව තුළ මෙය නෛතික ලෙස බල ගැන්වී තිබීමට එරෙහිව දුම්කොළ සමාගම විසින් අභියාචනාධිකරණයට ගොස්‌ මෙම කටයුත්තට එරෙහිව රිට්‌ ආඥවක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. රිට්‌ ආඥවක්‌ මේ සඳහා නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ අතර ඊළඟ නඩු වාරය 2013 දෙසැම්බර් මස දක්‌වා කල් දමන්නටද යෙදුනි. එම තීරණයට එරෙහිව ඊට ඉහළින් තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට දුම්කොළ සමාගම ගොස්‌ තිබේ. රූපමය අවවාද ඇතුළත් කිරීමට හේතු වූ කාරණා විස්‌තර කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයට අනුව රජය මෙවැනි තීරණයක්‌ ගැනීමට පදනම් වූ කරුණු කිහිපයක්‌ වේ. ලංකාවේ මුඛ පිළිකා නිසා අඩුම තරමින් දිනකට පුද්ගලයන් 02 ක්‌, වත් මරණයට පත්වේ. මුඛ පිළිකාවලට ලක්‌වන්නන්ගෙන් සියයට 70 ක පමණ පිරිසක්‌ ඊට ගොදුරු වන්නේ දුම්බීම නිසාය. එමෙන්ම දිනකට හෘදයාබාධවලින් මියයන ප්‍රමාණය 150 ඉක්‌මවයි. හෘදයාබාධවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක්‌ සෘජු හෝ වක්‍රව දුම් උරන්නෝ වෙති. ආඝාතයට ලක්‌ව දිනපතා පුද්ගලයන් 40-50 අතර ප්‍රමාණයක්‌ මරණයට පත්වන අතර, ඔවුන්ගෙන් බහුතරයක්‌ දුම් ඉරීමට ඇබ්බැහි වූවෝ වෙති. ග්‍රාමීය දිළිඳුභාවය සලකන කල්හී අප රටේ එම තත්ත්වය ඉහළ මට්‌ටමක පවතින්නේ උපයන මුදලින් වැඩි ප්‍රතිශතයක්‌ දුම්බීමට ඇබ්බැහිවීම නිසා ඊට වැය කිරීම නිසාය. එමෙන්ම ගැබිනි මව්වරුන් ගබ්සාවට ලක්‌වීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නේ ඔවුන්ගේ සැමියන් දුම්ඉරීම නිසා ඒවා වක්‍රව ගර්භයට බලපා ඇති බැවිනි. දුම්කොළ අලෙවියෙන් ලැබෙන බදු මුදල්වලින් සුළු ප්‍රමාණයක්‌ ජාතික ආදායමට ලැබුණත් වාර්ෂිකව සෞඛ්‍යයට අයවැයෙන් වෙන්කරන ප්‍රතිපාදනවලින් සියයට 22 ක්‌ම වැයකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව තිබෙන්නේ දුම්ඉරීම නිසා වැළඳෙන රෝගාබාධවලට ප්‍රතිකාර ලබාදීමට ය.

මේ සමබන්ධව අදහස්‌ පළකරන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා පවසන්නේ රජයක්‌ විදිහට තමන්ගේ බලාපොරොත්තුව බහුජාතික සමාගම්වල ලාභය උපරිම කිරීම නොව, මහජනතාවගේ සෞඛ්‍ය නංවාලීමට කටයුතු කිරීම බවයි. ඒ සඳහා කවරෙකු විරුද්ධ වුවත් රජය විදිහට අදාළ පියවරයන් ගන්නා බව ද ඇමැතිවරයා අවධාරණය කර සිටී, යනුවෙන් සඳහන් වේ.

සිගරට්‌ටුවෙන් නැග එන දුම් මාරයා සමාජයට කර තිබෙන හානිය සුළුපටු නැති බව මෙයින් පෙනේ. පැකැට්‌ටුවේ රූපමය අවවාද නිකුත් කළ පමණින්ම ප්‍රශ්නය නිමා වන්නේ නැත. බහුතර සිගරට්‌ උරන්නන් ඒවා මිලදී ගන්නේ, පැකැට්‌ටු වශයෙන් නොව එකක්‌ ලෙසය. සමහර විට දෙක තුනක්‌ ලෙසය. එවැනි පුද්ගලයන්ට මෙම අවවාදය ඇස ගැටෙන්නේ අවමයෙන් විය හැක. නමුත් සිගරට්‌ දුම කරමින් තිබෙන ව්‍යසනය ඉදිරියේ එය මට්‌ටු කිරීමට ගත හැකි සෑම පියවරක්‌ම ගත යුතුය. රජයේ මතට තිත සංකල්පය පලදායි කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ගත් මෙම පියවර වුවද සුළු පටු කටයුත්තක්‌ නොවන බව පෙනෙන්නේ 'මාරයාගේ නිමැවුම්කරුවන්' ඊට එරෙහිව නඟන හඬ අසන විටය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all