Photobucket

Saturday, March 2, 2013

පාපන්දු අර්බුද සාකච්ඡා කිරීමට විධායක කමිටුවේ හදිසි රැස්වීමක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබද සාකච්ඡා කිරීමට සම්මේලනයේ හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවා ඇත. පාපන්දු නිවහනේදී හෙට පැවැත්වීමට නියමිත මේ හදිසි විධායක කමිටු රැස්වීමට සියලු සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය කොට තිබේ.

පාපන්දු සම්මේලනයේ කළමනාකරණ කමිටුව අහෝසි කිරීම ඇතුලු කොන්දේසි ගණනාවක් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පනවා ඇති හෙයින් ඒ පිළිබඳව විධායක කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම හා අවසන් තීන්දු ගැනීම මේ රැස්වීම කැඳවීමේ බලාපොරොත්තුව වේ.

කොන්දේසි සහිතව පාපන්දු පරිපාලනය විධිමත් කිරීමට කටයුතු කර තිබියදී විධායක සභාවේ හැසිරීම හා ගන්නාවූ සියලු තීරණ දෙස ක්‍රීඩා අමාත්‍යාංශය විමසිල්ලෙන් සිටින බව එහි ප්‍රකාශකයෙකු ‘දිනමිණ’ ට පැවැසීය. එය වඩාත් සාර්ථක කරගැනීම උදෙසා පාපන්දු සම්මේලනයේ තොරතුරු දිනපතා වාර්තා කිරීමට නිළධාරීන් දෙදෙනෙකු පත් කොට අතැයිද දැනගන්නට තිබේ. 

ක්‍රීඩා අමාත්‍යාංශය පැනවූ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට මාර්තු 7දා දක්වා කාලය ලබා දී ඇති අතර ඒවා ක්‍රියාත්මක කරන ආකාරය එදිනට පෙර අමාත්‍යාංශයට ලිඛිතව ලබා දෙන ලෙස පාපන්දු සම්මේලනයට නියෝග කොට තිබුණි. එම ලිඛිත ප්‍රතිචාර ලැබෙන තුරු පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට අවසර නොදෙන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

කොන්දේසි ඉටු කළ පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ නිළධාරියෙකු යටතේ පාපන්දු නිළවරණය පැවැත්වීමට බාධාවක් නොමැති බවද සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ කොන්දේසි අඩංගු ලිපිය ලැබුණු බවත් එයට පිළිතුරු අද දිනයේ (2) සකස් කරන බවත්ය. 

“මා මේ දිනවල ඉන්නේ අම්පාරේ. ලිපියේ සදහන් කරුණු දුරකතනයෙන් මා දැනගත්තා. එයට පිළිතුරු සපයා ඉක්මණින් ඇමැතිතුමාට දෙනවා”වීරසේකර මහතා පැවැසීය. පාපන්දු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වසර ගණනාවක් ක්‍රියාත්මක වු කළමනාකරණ කමිටුව අහෝසි කොට එහි සියලු වත්කම් හා බලය පාපන්දු සම්මේලනයේ විධායක සභාවට පැවරිය යුතු බවට කොන්දේසියක් ඇමැතිවරයා විසින් පැනවීය.

ඉදිරියේදී පැවැත්වෙන පාපන්දු නිලවරණයේදී ක්‍රියාකාරී නොවන පාපන්දු ලීගවලට ඇති ඡන්ද, ලේඛනයෙන් කපා දැමිය යුතු වේ. එලෙස කපා දමන පාපන්දු ලීගවල නාමලේඛනයක් ක්‍රීඩා ඇමැතිවරයාට එවන ලෙස දැනුම්දීම් කර ඇත. ඒ අනුව ක්‍රියාකාරී නැති පාපන්දු ලීග් කිහිපයක් කපා දැමීමට ලේඛනයක් සූදානම් කරන පාපන්දු සම්මේලනය තවත් කපා දැමිය යුතු සංගම් ඇත්නම් ඒවා ඇමැතිවරයාගෙන් විමසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

එමෙන්ම පාපන්දු ක්‍රීඩාවේ කඩා වැටීමට හේතු හා පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ තුන් අවුරුදු සැලැස්මක්ද ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා කර ඇති දැනුම්දීම අනුව, සැලැස්ම සකස් කිරීම අලුතින් පත්වෙන පාපන්දු නිළධාරීන්ට පැවැරීමට සූදානම් වන බවද වාර්තා වේ.

පාපන්දු සම්මේලනයට කොන්දේසි පැනැවීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකා පාපන්දු පිලේ දරුණු කඩා වැටීම බව පෙන්වා දෙන විධායක නිළධාරියෙකු පැවැසූවේ ඉදිරියේදී වෙනස්කම් ඇති කොට පාපන්දු පිල ජයග්‍රහණයට යොමු නොකළහොත් මෙයට වඩා බරපතල ප්‍රශ්න ඇතිවිය හැකි බවයි. ඇමැතිවරයා විසින් පාපන්දු අතුරු කමිටුවක් නම් කිරීමට පෙර සම්මේලනයේ විධායක කමිටුව බුද්ධිමත්ව තීරණ ගැනීම වැදගත් බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය. හෙට දින පැවැත්වෙන රැස්වීමේදී මේ පිළබදව කරුණු සමාලෝචනය කළ යුතු බව ඔහුගේ අදහස විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all