Photobucket

Sunday, January 6, 2013

ලිංගික වහල් වෙළෙඳපොළේ යාථාර්ථය ගැන කියන TAKEN 2

පෙරදිග ජීවත්වෙන බොහෝ දෙනා යුරෝපය දකින්නේ බොහොම ආශ්චර්යමත් දේශයක් විදිහට. නමුත් මතුපිටින් පෙනෙන සුන්දරත්වයට යටින් අමානුෂික මිනිස් වෙළෙඳාමටත් යුරෝපය හොඳ තෝතැන්නක්. ලෝකයේ වැඩි වශයෙන් ලිංගික වහල් ජාවාරම් සිදුවන්නේ බටහිර යුරෝපය තුළ. 2008 වසරේදී තිරගත වූ Taken චිත්‍රපටයට පාදක වුණේ මේ කියන ලිංගික වහල් ජාවාරමේ යථාර්ථයයි. ප්‍රංශයට චාරිකාවක් යන තරුණියක් පැහැර ගෙන ලිංගික වහල් සේවයේ යෙදවීමට දරන උත්සාහය Taken පළමු චිත්‍රපටයෙන් නිරූපණය වුණා.

එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙළේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ Pierre Morel විසින්. Taken චිත්‍රපටය නැරැඹූ ප්‍රේක්ෂකයින්ට දැන් එහි දෙවන ක්‍රියාදාමය නැරඹීමේ අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ Taken 2 චිත්‍රපටයෙන්. 2012 සැප්තැම්බර් මාසයේ සිට මෙම චිත්‍රපටය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග ලොව පුරා රටවල් ගණනාවක සිනමාහල්වල තිරගතවීම ආරම්භ වුණා. හොලිවුඩ් සිනමාවට එකතුවුණ මේ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් මෙගාටන්. ආදරය, පීතෘ සෙනෙහස වගේම වෛරය හා සාහසික බවත් Taken2 චිත්‍රපටයෙන් නිරූපිතයි.

Taken  චිත්‍රපටයන්හි ප්‍රධාන චරිතය “බ්‍රයන් මිල්ස්”. ඔහු බුද්ධි අංශ නිලධාරියෙක්. දාහත් හැවිරිදි රූමත් කිම් ඔහුගේ දියණිය. ඇය ජීවත් වෙන්නේ සිය මව හා සුළු පියා සමගයි. බ්‍රයන් සිය දියණියට දැඩි සේ ආදරය කරනවා වගේම ඇය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලනවා. මේ අතරතුර කිම් ඇගේ  යෙහෙළිය සමග ප්‍රංශයට සංචාරයක් යන්න සිය පියාගෙන් අවසර ඉල්ලනවා. මුලින් බ්‍රයන් තරමක් අදි මදි කළත් පසුව ඇයට ඉඩ දෙනවා. ප්‍රංශයේදී කිම් පැහැර ගැනීමකට ලක්වෙනවා. ඒ ගණිකා සේවයේ යෙදවීමට. මෙයින් දැඩි ලෙස නොසන්සුන් වෙන බ්‍රයන් කිම්ව සොයාගෙන ප්‍රංශයට යනවා. ත්‍රාසජනක ක්‍රියාදාමයන් රැසකින් අනතුරුව බ්‍රයන්ට පුළුවන් වෙනවා කිම්ව බේරගන්න. ඒ Taken  පළමු චිත්‍රපටයේ කතාව.

Taken 2 චිත්‍රපටය ආරම්භ වන්නේTaken පළමු චිත්‍රපටයේ කතාව සමග ඈදෙමින් වීම විශේෂත්වයක්. ප්‍රංශයේදී පැහැරගැනීම කට ලක්වන කිම්ව බේරාගැනීමේදී බ්‍රයන් මිල්ස් අතින් ඇයව පැහැර ගනු ලැබූ පුද්ගලයාව මරණයට පත්වෙනවා. Taken2 ආරම්භ වෙන්නේ එම පුද්ගලයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන දර්ශනයෙන්. එම අවමංගල්‍ය උත්සවය අතරතුර කිම්ව පැහැරගත් මාෆියා කණ්ඩායම විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලබනවා. එයින් කියවෙන්නේ ඔවුන් සිය සගයා මරා දැමූ වරදට බ්‍රයන්ගෙන් නියත වශයෙන්ම පලිගන්නා බවයි. ඒ කියූ අයුරින්ම ඔවුන් බ්‍රයන්ව හා ඔහුගේ බිරිඳව පැහැර ගනු ලබනවා. වාසනාවකට වගේ කිම්ව ඔවුන්ට අසුවෙන්නේ නැහැ. මේ අතර කිම් හා බ්‍රයන් රහසේ තොරතුරු හුවමාරු කරගන්නවා. මෙම පැහැරගැනීම පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස බ්‍රයන් විසින් කිම්ට උපදෙස් දෙනු ලබනවා. නමුත් ඇය සිය පියාගෙන් ඉල්ලා සිටිනවා ඔවුන් බේරාගැනීමට ඇයට අවස්ථාවක් ලබා දෙන ලෙස. බ්‍රයන් විසින් කිම්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙනවා. රූමත් කිම්ට හැකිවෙයිද සිය දෙමාපියන් බේරාගන්න...? මේ ප්‍රශ්නයට පිළිතුර තමයි Taken2 චිත්‍රපටයෙන් කියවෙන්නේ.

Taken  හා Taken2 චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් වුවත්  ප්‍රේක්ෂකයන්ට එම වෙනස නොදැනෙන තරමටම මෙම චිත්‍රපට ද්විත්වයම සජීවී ගුණයෙන් යුක්තයි. මෙම චිත්‍රපට ද්විත්වයේදීම ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ එකම නළු නිළි පිරිසක් විසින්. පෙර ලෙසම බ්‍රයන් මිල්ස්ගේ චරිතය නිරූපණය කළේ සුපිරි නළු ලියම් නීසන් විසින්. කිම්ගේ චරිතය මැගී ග්‍රේස් විසින් හා ඇයගේ මවගේ චරිතය ෆැම්කි ජැන්සන් විසිනුත් රඟ දක්වනු ලැබුවා. ඒ වගේම මෙම චිත්‍රපට දෙකෙහිම තිර රචනය ලූක් බේසන් සහ රොබට් මාර්ක් කේමන් ගෙන්. එයත් මෙම චිත්‍රපට දෙකෙහි අඛණ්ඩත්වය ආරක්ෂාවීමට ප්‍රබල හේතුවක් වූවා.

පැය එකහමාරක් පුරා විකාශය වන මෙම චිත්‍රපටය මේ වන විට සිනමා විචාරකයන්ගේ ප්‍රශංසාවටත් ලක්ව තිබෙනවා. එයත් චිත්‍රපටයේ සාර්ථක බව විදහා දක්වන තවත් කාරණයක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක් වැයකර නිර්මාණය කළ Taken2 චිත්‍රපටය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 363ක් ඉපයීමට සමත්වෙලා තිබෙනවා. එයත් මෙම චිත්‍රපටයට ලැබි ඇති ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය කියා පාන තවත් සාධකයක්.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all