Photobucket

Tuesday, January 1, 2013

මහ රෑ වෙළෙඳසලට පැන බිල් දමා භාණ්ඩ සොරාගෙන

ගම්පොළ නගරයේ වෙළෙඳසැලකට රාත්‍රි ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරාගෙන එම භාණ්ඩවලට බිලක්ද දමා ඊට අයත් සියලු වගකීම් සහතික හා අදාළ ලියකියවිලි ද රැගෙන ගිය අපූරු සොරකු අත්අඩංගුවට ගත් ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එම සැකකරු ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ජනවාරි මස 3 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබිණි.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි වැලිවතුරේ ගෙදර චන්දන කුමාර නැමැති අයෙකි.

මෙම සැකකරු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවත් ගම්පොළ නගරයේ සිදුවූ ප්‍රසිද්ධ මිනී මැරුමක ප්‍රධාන විත්තිකරුවකු බවත් අනාවරණය කරගෙන ඇති පොලිසිය මොහුගේ සොරකම් ද හාස්‍ය ජනක බවද අනාවරණය කරගෙන ඇත.

වෘත්තියෙන් නිවාස හා වෙළෙඳසැල්වල සිවිලිං ගසන්නකු වන මොහු ඒ සෑම වහළකම සිවිලිං ගැසීමේ දී කාටත් හොරා පිටතින් ඇතුළු වීමට තැනක් සකසා සිවිලිම ගැසීම සිදුකර තිබේ.

පසුව වහළට නැඟ තමා සැකසූ තැනින් රිංගා එම වෙළෙඳසැල් හා නිවාස කොල්ල කෑම සිදු කර තිබේ.

මේලෙස පුස්සැස්ලාව නගරයේ හා අවට ප්‍රදේශවල වෙළෙඳසැල් හා නිවාස කොල්ල කා ඇති මොහු පුස්සැල්ලාව නගරයේ ඇති ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ශාඛාවක් සිවු වතාවක් කොල්ල කා ඇත.

ගම්පොළ නගරයේ ඇති මෙම වෙළෙඳසැලට ද වහළයෙන් ඇතුළු වී ඇති මෙම සැකකරු ලණුවක් යොදා වෙළෙඳසැලට බැස එහි තිබූ ගස් කපන යන්ත්‍ර (චේන් ෂෝ) ග්‍රයින්ඩර් ආදී විශාල යන්ත්‍ර තොගයක් සොරාගෙන ඒවාට අදාළ වගකීම් සහතික පත් හා ද්‍රව්‍ය නාමාවලි රැගෙන සියල්ලට බිලක් ද දමාගෙන ඇත.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, නි.පො. එන්. බී. පෙරමුණේ, ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොළ, ස. පො. අ. චුලනී වීරරත්න මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ඩබ්ලිව්. එච්. වෝල්ටර්, පොලිස් සැරයන්වරුන් වන 862 කුමාරසිංහ, අනිල්, රත්නායක, පොලිස් කොස්තාපල්වරු වන රාජපක්‍ෂ, අමිත, නවරත්න, සමන්, දයාරත්න නිලධාරීහු පරික්‍ෂණ පැවැත් වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all