Photobucket

Saturday, January 12, 2013

සිරියානු ජනාධිපතිගේ හුදෙකලාව තවත් දරුණු වෙයි

ඒ වුණත් ‍ලේසියෙන් යන පාටක් නැහැ

2011 මාර්තුවේ සිට තමනට එරෙහිව කැරැල්ලක දේශපාලන චණ්ඩ මාරුතයට මුහුණදෙන සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් ගිය ඉරිදා දමස්කස් නුවර රංග ශාලාවෙක සිට ජනතාව ඇමතුවේ සිය “සාම යෝජනා” ඉදිරිපත් කරමිනි.

මාස 21ක් තිස්සේ  තමනට වද දෙන සිවිල් යුද්ධය අවසන් කරමින් සිරියාව තුළ සැබෑ සාමයක් උදාකර දීමට ජනාධිපතිවරයා සමත්වේද?

නැත්නම් ඔහුගේ යෝජනා දේශපාලන ‘යන ගීයක්’ උදෙසා සැකැසුණු පදමාලාවක් බවට පත්වේද?

ජනාධිපතිවරයාට එරෙහි සටනේ පෙරමුණගෙන සිටින ප්‍රධාන විපක්ෂ හවුල වන සිරියානු ජාතික සභාගය විසින් එම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

කෙසේ වුවද සිවිල් යුද්ධ තත්ත්වයක් කරා පරිවර්තන වූ සිරියන් දේශපාලන විරෝධාකල්ප රැල්ල තීරණාත්මක ඉසව්වකට එළැඹි පසුගිය හය මාසයකින් පසු ප්‍රථමවරට ජනාධිපතිවරයාගෙන් ඉදිරිපත් වූ දේශපාලන සංඥාව එය බව සලකන විට, එහි ප්‍රධාන අංග හඳුනා ගැනීම වැදගත් වෙයි.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සාම සැලසුම අදියර තුනකින් යුක්තය.

ආණ්ඩු විරෝධී බලවේගවලට සපයන විදේශාධාර වහා නවතා, කැරලිකාරීත්වය අවසන් කළ යුතු බව දන්වන පළමු අදියර, එකී කොන්දේසි පිළිපැදේ නම් යුද මෙහෙයුම් නවත්වන ලෙස සිය හමුදාවන්ට නියෝග කිරීමට ප්‍රතිඥා දෙයි. ඒ අනුව ජාතික ප්‍රතිසන්ධානය උදෙසා ජාතික සමුළුවක් කැඳවෙයි.

දෙවැනි අදියරේදී අන්තර්වාර ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කැර ජනමත විචාරණයක අනුමැතියට ඉදිරිපත් කැරෙයි. අවසාන අදියරේදී නව ආණ්ඩුවක් බිහිකැර සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගැනෙයි.

ඔහුගේ සාම සැලැස්මේ සමස්ත උපාය තවදුරටත් බලයේ රැඳී සිටීමේ දේශපාලන අරමුණ වෙනුවෙන් කැප වී ඇති බව සැලකිය හැකිය. සිරියාව තුළ යළිත් ස්ථාවරත්වය ඇති කළ හැකි වන්නේ අසාද්ගේ නායකත්වය යටතේම බව එයින් හැඟවෙයි.

සිය ඒකාධිපතිවාදී පවුල් පාලනය දිගටම රැකගැනීමේ බල ව්‍යාපෘතියක අලුත්ම දිගුවක් ලෙස ඔහුගේ සාම යෝජනා හැඳින්වීමට බොහෝ විචාරකයෝ පෙළැඹෙති.

ඔහුගේ යෝජනා රට තුළ විරුද්ධවාදීන් අඩු ගණනේ මධ්‍යස්ථ තැනකට ගෙන ඒමටවත් සමත් නොවෙයි. ඒ අතරම ජාත්‍යන්තර ප්‍රජාව විසින් බොහෝ දුරට එය හැඳිනගනු ලබන්නේ පුද්ගල අධිපතිවාදය තහවුරු කර ගැනීමේ උපක්‍රමයක් ලෙසය. බෂාර් අල් අසාද් පන්නා දැමීමට අඩු කිසිවක් පිළිගැනීමට සූදානම් නැති ඇමෙරිකා එක්සත් ජනපදය සහ අනෙක් බටහිර රටවල් ඔහුගේ සාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම එතරම් පුදුමයට හේතුවක් නොවේ. 

බෂාර් අසාද් රැකගැනීම වෙනුවෙන් මුල සිටම පෙනී සිටි ඉරානයත්, ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ක්‍ෂේත්‍රයේදී ඔහුට ඉතාම වැදගත් රැකවරණය ලබාදුන් රුසියාවත් එම යෝජනාවලට සහයෝගය පළ කිරීම ගැන පුදුම වීමටත් හේතු නැත.

ඉරාන සහයෝගය තරමට රුසියානු සහයෝගය ප්‍රබලව මතු නොවුණත්, තවමත් බෂාර් අසාද්ගේ ලොකුම ගැලවුම්කරුවා ලෙස කැපී පෙනෙන්නේ රුසියාවයි.

අරාබි රටක් නොවෙතත්, මුස්ලිම් ලෝකයේ බලවතකු වන ඉරානයේ සහයෝගය පළ කරමින්, එරට විදේශ ඇමැති අලි අක්වාර් සා‍ලේහි ක්ෂණික ප්‍රතිචාරයක් දැක්වුයේ, ජනාධිපති අසාද්ගේ සාම සැලැස්ම මගින්  “ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය සහ විදේශ අතපෙවීම් ප්‍රතික්ෂේප කැරෙමි”යි තර්ක කරමිනි. ඒ අනුව බෂාර් අසාද්ගේ යෝජනාවලින් “පරිපූර්ණ දේශපාලන ක්‍රියාවලියකට” මුලපිරීමක් සිදුවෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

රුසියානු රජයේ සහය ප්‍රකාශයට පත්වූයේ අසාද්ගේ යෝජනා ඉදිරිපත් වී දින තුනකට පසු ගිය බදාදාය. සිරියාවේ ස්වෛරීභාවය පිළිබඳ පදනම මත සිට රට තුළ දේශපාලන සංවාදයක් අරඹා, ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ඇති සූදානම එමගින් තහවුරු වී ඇතැයි පෙන්වාදුන්, රුසියාවේ විදේශ අමාත්‍යංශය එම නිසා බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් එය සැලකිල්ලට ගත යුතු බව කියා සිටියේය.

බටහිර කඳවුරෙන් පමණක් නොව තමන්ගේම අරාබි සංගම් සගයන්ගෙනුත්, බලගතු මුස්ලිම් අසල්වැසියකු වන තුර්කියෙනුත් එල්ල වූ දැඩි විරෝධය මැද ජාත්‍යන්තර ‘තක්කුමුක්කුවකට’ හසු වී සිටි බෂාර් අසාද්ට, ජාත්‍යන්තරය තුළ අනෙක් වැදගත් අස්වැසිල්ල ලැබුණේ චීනයෙනි. අසාද්ගේ පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ යෝජනා සම්මත වීම වැළකී ගියේ එහි ස්ථිර සාමාජික දෙරටක් වන රුසියාව සහ චීනය නිසාය.

එහෙත් ඔහුගේ ජනවාරි 06 සාම යෝජනාවලට පසුව චීන රජයේ නිල පුවත් සේවය වන ‘ෂිගුවා’හි පළමු විවරණය දකින විට චීන ආකල්පයත් ‘එහා මෙහා වීමට’ ආසන්න දැයි සැකයකුත් මතුවෙයි.

සිරියාව තුළ විපක්ෂ බලවේගවල ලොකුම කනස්සල්ලට ප්‍රධාන හේතුව වී ඇති ප්‍රශ්නය වන තමන්ගේ දේශපාලන අනාගතය ගැන ජනාධිපති බෂාර් අසාද්ගේ යෝජනාවලින් සතුටුදායක ඉඟියක් නොලැබෙන බව, චීන පුවත් සේවා විග්‍රහය පෙන්වා දෙයි. ඒ අනුව සිරියානු විපක්ෂය සහ එරට රජය අතර ඇති මූලික මතභේදය ගැන සිතන විට, කෙටි කාලයක් තුළ දේශපාලන සංවාදයක් ඇතිවේ යැයි නොසිතිය හැකි බව එය කියා සිටී.
එම මතභේදය මතු වන්නේ ජනාධිපති ලෙස බෂාර් අසාද්ගේ අනාගතය සම්බන්ධයෙනි.

අරාබිකරයේ සෑම රටකම පාහේ මාධ්‍යවලින් දැක්වුණු මතවලින් පෙනී යන්නේ තමන්ගේ සාම යෝජනා අරාබි දේශපාලන වෙළෙඳ‍පොළේ අලෙවි කර ගැනීමට අසාද්ට ඉඩක් නොලැබෙන තරම් බවය. මෙම සාම යෝජනා ඉදිරිපත් වූයේ අරාබි ලෝකය තුළ ඔහු ඉතා දරුණු ලෙස හුදෙකලා වී සිටියදීය.

මේ අතර ජනාධිපති බෂාර් අසාද්ගේ සාම යෝජනාවලට ඉතාම තදබල පහර එල්ල වූයේ සිරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහ අරාබි සංගමයේ විශේෂ තානාපතිවරයා ලෙස බලගතු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමකට අත ගසා සිටින ලක්ධාර් බ්‍රාහිමිගෙනි.

සිරියානු රජය සහ කැරලිකාර විපක්ෂය අතරම “නොබැඳුණු” මාවතෙක ගමන් කරමින් ඇතැයි පෙනුණු බ්‍රාහිම්, “කරණමක්” ගසමින් අසාද් විරෝධී පාර්ශ්වයට එක්වී ඇත්දැයි සිතා ගැනීමට අනුබල දෙන තරමට ආකල්පමය වෙනසකට බඳුන් වී ඇතැයි පෙනෙයි. සිරියාවේ අභ්‍යන්තර අවිගැටුම් නැවැත්වීමට  යොමුවිය හැකි ලෙස ඇති කළ  යුතු අන්තර්වාර පාලනයක් තුළ අසාද්ට තැනක් තිබිය නොහැකි බව ඔහු රොයිටර් පුවත් සේවයට පැවැසී යැයි වාර්තා විය.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී ඔහුගෙන් පළ වූ එම නිරීක්ෂණය, ජනාධිපති පදවියෙන් අසාද් ඉවත් විය යුතු බවට දැක්වුණු ප්‍රබල ඉඟියක් ලෙස සැලැකෙයි. ජනාධිපති අසාද්ගේ ‘සාම යෝජනා’ ‘නිකායවාදී’ ප්‍රවේශයකින් සකස් වී ඇතැයි බ්‍රාහිම් පැවැසුවේ ඇතැම් පාර්ශ්ව සාම යෝජනාවලින් ඉවත් කර තැබිමෙන් ඉතා පටු පාරක යාමට ඔහු පෙළැඹී ඇති බව පෙන්වා දෙමිනි.

ප්‍රතිවිරෝධි පාර්ශ්ව අතර කිසිම සම්මුතියකට ඉඩනොතබන අසාද්ගේ ‘සාම’ යෝජනා “ත්‍රස්තවාදීන්” සහ “බටහිර රටවල තාලයට නටන රූකඩ” ලෙස ඔහු විසින් සලකනු ලබන විපක්ෂ බලවේග සමග වෙනම සාකච්ඡාවකට හෝ සූදානමක් පෙන්වා නැතැයිද බ්‍රාහිම් චෝදනා කරයි.

සිරියාවේ වත්මන් යථාර්ථය සලකන විට අදාළ සියලු පාර්ශ්වයනටම සැනසීමක් ගෙනෙන යමක් දීම කාගේත් යහපතට හේතු වෙතැයි බ්‍රාහිම් පවසන්නේ පළපුරුදු රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් ඇතිවය.

බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවැති සාකච්ඡාවකදී බ්‍රාහිම් විසින් ඉස්මතු කැරුණු වැදගත් කරුණක්ද වෙයි.
එකම පවුලක් විසින් වසර හතළිහක් රට පාලනය කරනු ලැබිම තවදුරටත් ඉවසා සිටිය නොහැකි දෙයකැයි සිරියානු ජනයා අතර මතයක් තහවුරු වෙමින් පවතින බවය.

වත්මන් ජනාධිපති බෂාර් අසාද්ගේ පියාණන් වූ හෆේස් අල් අසාද් 1970දී බලයට පත් වූයේ කුමන්ත්‍රණයකිනි. දශක තුනකට ආසන්න කාලයක් අයෝමය හස්තය-කින් රට පාලනය කළ ඔහු, 2000දී මියගිය පසු බෂාර් අසාද් බලාධි-පත්‍යයේ මහ පුටුවට පත්වූයේ පිය උරුමය ‘සුදුසුකම’ ලෙස ඇතිවය. සිරියාවේදී මූලික වෛද්‍ය උපාධිය ලබා සිටි බෂාර් එංගලන්තයේ ලන්ඩන් නුවර අක්ෂි වෛද්‍ය විද්‍යායතනයක පශ්චාත් උපාධි පුහුණුව ලබමින් සිටියදී ඔහුගේ ජනාධිපති පියාණන් විසින් 1994දී සිය රට කැඳවන ලද්දේ, තමාට පසුව නායකත්වයට පුහුණු කරවමින් සිටි වැඩිමහලු පුත් බාසෙල් අසාද්, රිය අනතුරකින් මිය යාමෙන් ඇතිවූ 'හිඩැස' පවු‍ලේ කෙනෙකුගෙන්ම පිරැවීම උදෙසාය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සිරියා සාම තානාපති ලෙස සිරියන් අර්බුදයට අදාළව 'නොබැඳි මාවතක' ගමන් ගත් බ්‍රාහිම්, එළිපිටම අසාද්ට එරෙහි විවේචනාත්මක ආකල්පයක් ගැනීම, එරට ප්‍රබල විපක්ෂ සන්ධානයේ සතුටට හේතුවී තිබේ. ඔහුගේ මෙම නව ප්‍රවේශය පැහැදිලි වූයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ රුසියාවේ ඉහළ පෙළ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සහ බ්‍රාහිමි අතර ඉතා වැදගත් ෙතේ‍රපාක්ෂික රැස්වීමක්, ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී පැවැත්වීමට දින දෙකක් තිබියදීය. ගිය සිකුරාදා පැවැත්වීමට සැලසුම් වූ මේ සාකච්ඡා පිළියෙළවෙමින් තිබියදී, රුසියාවේ 'සිරියා ප්‍රතිපත්තිය' වෙනසකට ලක් කරගැනීමේ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් මෙහෙයුමක් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබිණි.

ගිය ජුනියේදී, ජිනීවා නුවර රැස්වූ ලෝක බලවතුන් සිරියාව වෙනුවෙන් සකස් කළ සාම සැලසුමේ කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සාම තානාපති බ්‍රාහිම්ට රුසියාවේ නොමඳ සහයෝගය ලැබිණි. එහෙත්, එමගින් යෝජිත සිරියානු අන්තර්වාර පාලනයට, බෂාර් අසාද් ඇතුළු නොකිරීමේ පූර්ව කොන්දේසියක් නොපැනවිය යුතු බව රුසියාවේ මතය විය.

මේ අතර සිරියානු විසඳුමක් සකස් කර ගැනීමේ දී වැදගත් භූමිකාවක් ඉටු කිරීමේ හැකියාව ඇති ඉරානයේ විදේශ ඇමැති අලි අක්බාරි සා‍ලේහි ගිය බ්‍රහස්පතින්දා ඊජිප්තුවේ යෙදුණු නිල සංචාරය මේ සතියේ ජාත්‍යන්තර  විපරමට ලක් වූ තව සිදුවීමක් බවට පත්විය.

සිය මුස්ලිම් දෙරට අතර ද්වි පාර්ශ්වීය සාකච්ඡා සඳහා තමා ඊජිප්තුවට පැමිණියේ ඉරාන ජනාධිපති අහමදිනෙජාඩ් ගේ විශේෂ පණිවුඩයක් ඊජිප්තු ජනාධිපති මොහොමඩ්  මොර්සි වෙත රැගෙන බව ඉරාන ඇමැතිවරයා කයිරෝ ගුවන් තොටුපළේ දී පැවැසී යයි පේ‍රස්ටීවී නමැති ඉරාන පුවත් සේවයට වාර්තා කළේය.

හොස්නි මුබාරක්  නෙරපා දැමූ  ඊජිප්තු විප්ලවයෙන් පසු ඉරාන ඊජිප්තු සඳහා වේගයෙන්  වර්ධනය වූ නමුත් සිරියාව පිළිබඳ ප්‍රශ්නයේ දී එම දෙරට එකිනෙකට පටහැනි ස්ථාවර දෙකක රැඳී ඇති බව පෙනෙයි.
මුස්ලිම් ලෝකය තුළ බෂාර් අසාද්ගේ ඉතාම සමීප මිතුරා අරාබි රටක්  නොවන ඉරානයයි.

ජනාධිපති මොරිස්ගේ ඊජිප්තුව සිරියාවේ ආණ්ඩු  වෙනසක් ඇති විය යුතු බව පවසන අරාබි පෙරමුණට අයත් පුරෝගාමී රටකි. ජනාධිපති බෂාර් අසාද්  යුද්ධ අපරාධ  චෝදනා මත ජාත්‍යන්තර අධිකරණය හමුවට  පැමිණ විය යුතු බවද ඊජිප්තු ජනාධිපතිවරයා මෑතකදී පවසා තිබිණි.

කෙසේ වුවද වැදගත් බලපෑමක් සහිත අරාබි රටක් වන ඊජිප්තුව සිරියාව තුළ අසහනය නැති කිරීම උදෙසා විසඳුමක් සෙවීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටුකිරීමට හැකි තත්ත්වයක් පසුවෙන බවද ඉරාන ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඔහු ඒ බව පැවසුවේ විදේශීය රටවල් සිරියාව තුළ සිදු කරමින් ඇති අතපෙවීම්වලට ඉරානය තරයේ විරුද්ධ බව යළි  ප්‍රකාශ කළ අතරය.

ඉරානයේ අභිලාෂය අසාද්ගේ පාලන බලය රැකදීම උදෙසා යොමු වූවක් බව බැලූ බැල්මට පෙනෙතත්. යම් හෙයකින් අසාද් තල්ලු වී ගියහොත්, ඔහුගෙන්  පසුවත් සිරියාව තුළ සිය බලපෑම රැකගැනීමේ සැලසුමක් සහිතව ඉරානයේ උපායමාර්ගය සැකසී  ඇතැයිද විශ්වාස කළ හැකිය. ඉරානයේ මෙම ප්‍රවේශය සැකැසෙමින් ඇත්තේ , සිරියාව තුළ යුද විසඳුමක් සාර්ථක කර ගැනීමට බෂාර් අසාද්ට නොහැකි වනු ඇතැයි ඉරාන නායකත්වය තුළ මතයක් තහවුරු වෙමින් තිබිමේ පසුබිමකුත් ඇතිව යයි ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති.

හිස්බුල්ලා සංවිධානය මාර්ගයෙන් ලෙබනනය තුළ සිය බලපෑම ශක්තිමත් තත්ත්වයෙක පවත්වා ගැනීමේ දී  ඉරානයට සිරියාවේ මිත්‍රත්වය ජීවදායි වෙයි. අසාද්ගෙන් පසුව වුවත් සිරියාව  සමග ඉතා සමීප සබඳතාවක් පවත්වා ගැනීම මේ අනුව ඉරානයට ඉතා වැදගත් විය හැකිය. බෂාර් අසාද්ට ඇති විශේෂ මිත්‍රත්වය කොතරම් 'ළබැදි' දෙයක් වුවත් අසාද් සමග ගිලෙන්නට ඉරානය සූදානම් නොවෙනු ඇතැයි  පවතින මතයද බැහැර කළ නොහැකිය.

ඇතැම් තැනෙකදී “අයා‍ලේ යන” බවක් පෙනුණු අරාබි විප්ලවයේ විවිධ පෙරමුණුවලදී දැකගත හැකි වූ පරිදි අරාබිකරය තුළට රිංගා ගැනීමේ බටහිර අධිපතිවාදී ව්‍යාපෘතියක් සිරියාවේ ගැටුම් ඔස්සේද පවතිනු විය හැකිය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති අසාද් විසින් පළකැරුණු ඇතැම් දේශපාලන අනතුරු ඇඟවීමෙක කිසියම් හරයක් නැතැයි කීමටද නොපිළිවන.

එහෙත් සැබෑ ඛිෙදවාචකය පවතින්නේ වෙනත් තැනෙකය.

සිරියාව තුළ ඇතැයි ඔහු විසින්ම දැකගනු ලැබෙන විදේශ කුමන්ත්‍රණවලට ඉඩකඩ බිහිකරදීමේ වගකීමද ජනාධිපති අසාද් විසින්ම බාරගත යුතු හෙයිනි.

ජනතාවගේ බහුවිධ කොටස්වලින් නැගෙන සාධාරණ විරෝධය රාජ්‍ය සන්නද්ධ බලයෙන් මර්දනයට පත්කැර, තම බලය රැක ගැනීමට ඇතිවුවමනාව නිසා ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකම් උදුරාගෙන පවුල්වාදයේ ආර්ථික සහ දේශපාලන  දංගෙඩියට ඔවුන් බිලිකරදීමට ඔහු ක්‍රියාකළ තරමට ජනතාව සහ නායකත්වය අතර ලියලන ප්‍රතිවිරෝධතාවෙන් ජනිත පරතරය සිය වාසියට යොදා ගනිමින් රට තුළට රිංගීමට බටහිර අධිපතිවාදයට ඉබේම ඉඩකඩ ලැබෙයි.

දේශපාලන වශයෙන් කෙතරම්  දුෂ්කර ක්‍රියාවක් වුවද දිගටම බලයේ රැඳී සිටීම අසාද් ජනාධිපතිවරයාගේ වෑයමය. රට තුළින් සහ පිටතින්  එල්ල වන පීඩනය කොතරම් දැඩි වුවත්  ඔහු සිය කැමැත්තෙන්  ඉවත් වෙන හැඩක් නැත.

එහෙත් බෂාර් අසාද් අද එරී සිටින්නේ තමන්ගේම අවපාලනය ඇසුරෙහිම නිර්මාණය වූ දේශපාලන අර්බුදයේ ගොහොරුව තුළය.

ඔහු ගොඩ එයිද? නැත්නම් තව තවත් එරේද? එයට පිළිතුරු සෙවීමේ දී ඉදිරි දින කිහිපය තීරණාත්මක විය හැකිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all