Photobucket

Sunday, January 6, 2013

අපේ රටට පැමිණි දසලක්ෂ වැනි සංචාරකයා

2013 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන් දොළොස් ලක්ෂ පනස් දහසක් ගෙන්වා ගැනීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඉලක්කය වී ඇතැයි එහි කළමනාකරණ අධ්‍යක්ෂ රූම් ජවුෆර් මහතා පවසයි. ඒ අනුව ලෝකයේ ප්‍රමුඛ පෙළේ පුවත්පත්, සඟරා සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් මෙරටට කැඳවා ඔවුන් හරහා මෙරට සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ ඒ රටවල පුළුල් ප්‍රචාරයක් ලබා දීමට ද කටයුතු යොදා ඇතැයි ද ඒ මහතා කියයි. 2013 වසරේදී ලන්ඩනය, බර්ලිනය, මොස්කව් හා චීනයේ පැවැත්වෙන ලෝක සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනවලට සහභාගි වෙමින් උක්ත ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලැසුම් කොට තිබේ.

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම සංචාරකයින් සංඛ්‍යාව සටහන් කරමින් 2012 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රියේ දසලක්ෂ වැනි සංචාරකයා ශ්‍රී ලංකාවට පා තැබුවේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂිත ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බට එම සංචාරකයා වූයේ චීනයේ පියැං යිං මහත්මිය සහ ඇගේ සැමියා වූ යැං බෝ මහත්මයායි. 

මෙම වාර්තාගත සංචාරක යුවළ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා සංචරණයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්‍යක්ෂ රූම් ජවුෆර් මහතා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයෙහි උසස් නිලධාරීහු මහත් හරසරින් පිළිගනු ලැබූහ. ඇමැතිවරයා ඇතුළු පිරිස විසින් උණුසුම් ලෙස පිළිගත් මේ යුවළට ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන නැරැඹීම සඳහා නොමිලේ සංචාරක චාරිකා තිළිණ පැකේජයක් පිළිගන්වනු ලැබිණි.

සම්ප්‍රදායික සංචාරක වෙළෙඳපොළ රටවල් හැරුණු විට 2012 වසරේ චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 46% කින් වර්ධනය වී තිබේ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ චීනයේ සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් වැඩ සටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව “ශ්‍රී ලංකාවේ දින තුනක්” නම් වූ ප්‍රචාරාත්මක වැඩසටහන සහ චීනයේ නගර පහක් පුරා බස් රථ 200 ක් යොදාගෙන සිදු කෙරෙන ප්‍රචාරක වැඩසටහන, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන ඛ්ා අන්තර් ජාලය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරක වැඩසටහන් ප්‍රධාන වේ. 2013 වසරේ චීනයෙන් පමණක් සංචාරකයන් මිලියන හැටකට අධික සංඛ්‍යාවක් ගෙන්වා ගැනීම මෙම ප්‍රචාරක වැඩසටහනේ ඉලක්කය වී තිබේ.

2012 වසර තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකි. වසරක් තුළ සංචාරකයන් දස ලක්ෂයක් ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වේ. චීනයට අමතරව ජපානය, රුසියාව, ඉන්දියාව, කොරියාව සහ මැදපෙරදිග රටවල් සංචාරක කර්මාන්තයේ නැගී එන වෙළෙඳපළ ලෙස හඳුනා ගෙන ඇත. මෙම රටවල් ඉලක්ක කරගනිමින් පසුගිය වසර පුරා සිදු කළ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් සංචාරක පැමිණීම දස ලක්ෂය ඉක්මවීමට හේතු වූ බව රූම් ජවුෆර් මහතා කියයි.

කොරියානු ගුවන් සමාගම, බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් ගමන් ඇරැඹීමත්, ලෝකයේ ප්‍රමුඛ පෙළේ සංචාරක මාර්ගෝපදේශක සඟරා වන ලෝන්ලි ප්ලැනට් සඟරාව 2013 වසරේ සංචරණය සඳහා ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම, හෙලෝ සඟරාවේ නිර්දේශය වැනි කරුණු ද පසුගිය වසරේ සංචාරක ඉලක්ක අබිබවා යෑමට හේතු වූ බව ද ජවුෆර් මහතා කියයි.

2012 - 13 වසරේ මේ දක්වා සංචාරකයන්ගේ පැමිණීම 17% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඉන්දියාව, එක්සත් රාජධානිය, මැද පෙරදිග රටවල්, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා නෙදර්ලන්තය වැනි රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවෙහි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිය.

සාමයේ උදාවත් සමඟ රට තුළ ඇතිවූ සංචාරක ප්‍රබෝධය විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් අතර ද විශාල වශයෙන් වර්ධනය වී තිබේ. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සංචරණය සඳහා අවශ්‍ය මාර්ග පද්ධති නවීකරණය, හෝටල සහ නවාතැන් පහසුකම්, ජල විදුලිය සහ සන්නිවේදනය ඇතුළු යටිතල පහසුකම් ශීඝ්‍රයෙන් සංවර්ධනය කිරීමත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියට හේතු වී තිබේ. සංස්කෘතික ත්‍රිකෝණය ඇතුළු දිවයිනේ ඓතිහාසික සංධිස්ථාන, උද්භිද උද්‍යාන, ජාතික වනෝද්‍යාන හා සත්වෝද්‍යාන වැනි සංචාරක ආකර්ෂණ ස්ථානවල ආදායම් වර්තමානයේදී වාර්තාගත ආදායමක් උපයමින් තිබේ.

මෙතෙක් පිහිටි සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල මෙන්ම අලුතින් ක්ෂේත්‍රයට එක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණයේ හෝටලවල ද ආදායම් වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතී. සංචාරක ක්ෂේත්‍රයෙහි සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් උදා වී තිබේ. ප්‍රධාන ධාරාවේ හෝටල හා සංචාරක නිකේතනවල රැකියා හැරුණු විට සංචාරක මාර්ගෝපදේශකයන්, මැණික් පිත්තල තඹ මූර්ති කැටයම් හා හස්ත කර්මාන්ත ශිල්පීන්, නර්තන ශිල්පීන් දේශීය ආයුර්වේද ක්ෂේත්‍රයෙහි නියැළෙන්නන්, එළවළු, පලතුරු වගාකරුවන් ධීවරයින්, කුලී හා ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය ආශි‍්‍රත ක්ෂේත්‍ර රැසක නියැළෙන පිරිස් මෙම සංචාරක සංවර්ධනයෙහි ප්‍රතිලාභ ලබති.

රජයේ සංචාරක ඉලක්ක ජය ගැනීම සඳහා “මහින්ද චින්තන - ඉදිරි දැක්ම” යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 2013 - 2018 දක්වා කාලය තුළ පස් වසරක සංචාරක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කොට තිබේ. එමඟින් පාරිසරික, සමාජයීය, සංස්කෘතික ආර්ථික, ආයතනික හා ප්‍රවර්ධන යන අංශ ඒකරාශි කර ගනිමින් ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංචාරක ඉලක්ක මුදුන්පත් කර ගැනීමට කටයුතු කරනු ඇත. 

මෙම පස් අවුරුදු කාලය තුළ ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකා ඩොලර් බිලියන 3000 ක සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම අරමුණ වී ඇත. 2010 දී ඇමෙරිකා ඩොලර් මිලියන 500 ක් වූ වාර්ෂික විදේශ හුවමාරු ඉපැයුම් වසර 2016 වන විට ඇ. ඩො. බිලියන 255 ක් බවට පත් කරගැනීම ඉලක්ක කොට ඇත. 2016 වසරේදී සංචාරක ක්ෂේත්‍රය ආශි‍්‍රත රැකියා අවස්ථා 500,000 ක් බවට පත් කරගැනීමට ද අපේක්ෂිතය.
සංචාරක ක්ෂේත්‍රයේ වඩාත් කාර්යක්ෂම සන්නිවේදන මාධ්‍යය වන අන්තර් ජාලය ආශි‍්‍රතව කෙරෙන ප්‍රවර්ධන වැඩසටහන් වැඩි කරමින් ලෝකයේ ඕනෑම රටක සංචාරකයකුට ශ්‍රී ලංකා සංචරණයෙහි නිල වෙබ් අඩවිය වනඹඹඹ.ඵපඪතචදඬච.බපචමඥත වෙත පිවිසීමේ අවස්ථාව සලසා දී ඇත. 2013 අන්තර් ජාතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ පළමුවැන්න ලෙස “ශ්‍රී ලංකාවේ දින තුනක්” වැඩසටහන ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්වීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all