Photobucket

Tuesday, January 1, 2013

ජගත් පාපන්දු සම්මේලන සභාපති සෙප් බ්ලැටර් ශ්‍රී ලංකාවේ සංචාරයක

ජගත් පාපන්දු සම්මේලන සභාපති ජෝශප් 'සෙප්' බ්ලැටර් මහතා දෙදින සංචාරයක්‌ සඳහා ලබන පෙබරවාරි මස 16 දින ශ්‍රී ලංකාවට සැපත්වනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දු කළමනාකරණ කමිටු සභාපති සහ ජගත් පාපන්දු සම්මේලන විධායක කමිටු සාමාජික මනිsලාල් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් මෙහි පැමිණෙන බ්ලැටර් මහතා සිය සංචාරයේදී යාපනයේ අරියාල්හි අභිනවයෙන් ඉදිකරන ලද පාපන්දු සංකීර්ණය, නවීකරණය කරන ලද ගම්පහ ශ්‍රී සුබෝධි විදුහල් පාපන්දු සංකීර්ණය විවෘත කිරීම සහ ශ්‍රී ලංකා පාපන්දු ප්‍රවීණයන්ගේ සේවා අගැයීමේ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වනු ඇත.

බ්ලැටර් මහතාගේ යෝජිත සංචාරය ඔහුගේ සිව්වන ශ්‍රී ලංකා සංචාරය වේ. ජගත් පාපන්දු සම්මේලනයේ අටවැනි සභාපතිවරයා වන 77 හැවිරිදි බ්ලැටර් මහතා 1998 වසරේදී පළමු වරට අදාළ සභාපති ධුරයට තේරීපත්වූ අතර ඉන් අනතුරුව 2002, 2007, 2011 යන වසරවලදී ද සභාපති ධුරය සඳහා පිට පිට සිව් වතාවත් තේරීපත් විය. අදාළ ධුරයේ සේවා කාලය සිව් වසරකි.

හෙතෙම ඉකුත් නොවැම්බර් මස සහභාගි වූ මලයාසියා තායිලන්ත සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමක්‌ තිබුණද පසුව එය ලබන පෙබරවාරිය දක්‌වා කල් දමන ලදී.

අරියාල් සහ ගම්පහ ක්‍රීඩාංගණ සඳහා ජගත් පාපන්දු සම්මේලනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතර බැගින් (ආසන්න වශයෙන් රු. 52,000,000/} ක්‌) අනුමත කර ඇත. අදාළ සංවර්ධන කටයුතු න්‍යාය පත්‍රයට ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රිඩාංගණයක්‌, දේශන ශාලාවක්‌, කායවර්ධනාගාරයක්‌ ක්‍රීඩක විවේකාගාරයක්‌ ප්‍රදේශවල පාපන්දු ලීග කාර්යාල, ප්‍රධාන කාර්යාලය සහ භෝජනාගාරයක්‌ ද අයත් වේ.

බ්ලැටර් මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු බැහැ දැකීමට කටයුතු සම්පාදනය කරන්නේද නැතහොත් එම දෙපළට අරියාල් විවෘත කිරීමේ උළෙලේ විශේෂ ආරාධිතයන් වශයෙන් සහභාගි වීමට ආරාධනා කරන්නේදැයි පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දැන් සාකච්ඡා කරමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all