Photobucket

Sunday, January 6, 2013

ගැළපෙන කෙනා සුදුසු මොහොතේ දී හමුවේවි

ඇය චතුරය; දක්ෂය. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ඇය තම අනන්‍යතාවය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රබල ලෙස ගොඩනඟාගෙන ඇත. ඇය තනුජා ජයවර්ධන. තනුජා සිරස මාධ්‍ය ජාලයේ ක ජ් ර් නාළිකාවේ කළමනාකාරිණියයි. ඇය මාධ්‍ය ක්ෂේත්‍රයේ තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගය වෙන් වන්නේ තනුජා ජයවර්ධන සමඟ කළ කතාබහ වෙනුවෙනි.
තනුජා කොහොමද මේ දවස්වල ජීවිතේ සතුටින් ගෙවෙනවාද?
ඔව් මම ඉතාම සතුටින් තෘප්තියෙන් ජීවත් වෙනවා. මම කවදාවත් අනුන්ගේ කරදර මගේ කරට ගන්න කෙනෙක් නෙමෙයි. මගේ රැකියාව අනුව Y FM ශ්‍රාවකයින්ට 2013 වසරේ අලුත් වැඩසටහන් නිර්මාණය කරන්න මේ දවසවල වෙහෙසෙනවා. පසුගිය සති කීපයේ නම් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධියේ විභාගයට මහන්සි වුණා.

ඔබේ පාසල් ජීවිතය සිහිපත් කරමු...
මම පාසල් ගියේ බම්බලපිටියේ ලින්ඩ්සේ බාලිකා විදුහලට. පාසලේදි ක්‍රීඩා කටයුතුවලට තමයි වැඩි උනන්දුවක් දැක්වූවේ. මීටර් 100, 200, උස පැනීම, නෙට්බෝල් වගේ ක්‍රීඩා ඉසව් මම කළා. පාසලේ කී‍්‍රඩා නායිකාව ලෙසත් මම කටයුතු කළා. කලාවට මාධ්‍යයට වැඩි උනන්දුවක් පාසල් යන කාලෙදි තිබුණේ නෑ. නමුත් ලියන්න, පොත් කියවන්න මගේ හිතේ ගොඩක් ආසාවක් තිබුණා. පාසල් යන කාලෙ මට ආශාවක් තිබුණා වේදිකා නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න. මගෙ අම්මටයි තාත්තටයි ලොකු ඕනකමක් තිබුණා මාව බැංකුවක රැකියාවට යවන්න. ඒ තාත්තයි අක්කයි දෙන්නම බැංකුවල සේවය කළ නිසා. මගේ දෙමව්පියෝ විභාග පාස් වෙන්න මට විශාල වශයෙන් බලපෑම් කළේ නෑ. නමුත් මම හොඳින් ඉගෙන ගත්තා. මම මගේ පාසල් කාලය ගත කළේ හරිම නිදහස්ව.

එතකොට ඔබ මාධ්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?
උසස් පෙළ කරල ගෙදර ඉන්න විට, මට දැනගන්න ලැබුණා ප්‍රදීප් කුමාර බාලසූරිය සංස්කරණය කරන ‘යාත්‍රා’ පුවත්පතට නිදහස් මාධ්‍යවේදීන් බඳවා ගන්නා බව. ඒකට මම ප්‍රදීප් අයියව මුණගැසෙන්න ගියා. ප්‍රදීප් අයිය මට වැඩ කීපයක්ම පැවරුවා. ඉන් එක වැඩක් තමයි “සිරස” නාළිකාවේ කට්ටියව ඉන්ටවිව් කරල ලිපියක් ලිවීම. මම ඒ සඳහා සිරසට ගියා. ඒ ගමනෙදි මට නිමල් ලක්ෂපතිආරච්චි මහතාව හමුවුණා. ඔහු මට කිව්ව “අපි සිරස tv එකේ අලුත් වැඩසටහනක් කරනව. ඒක ඉදිරිපත් කරන්න කෙට්ටු උස කොන්ඩෙ තියෙන පිරිමි ළමයෙක්ව අපිට හමු වුණා(නාරද); අපිට ඕන තව ඔයා වගේ ගෑනු ළමයෙක්” කියල. ඊට පස්සෙ ඇහුව “කැමැතිද ඒකට සම්බන්ධ වෙන්න” කියල. මම හා කිව්ව. ඒ විදියටයි මම සිරස “රස රිසි ගී” වැඩසටහන කරන්න සම්බන්ධ වුණේ.

ඔබත් නාරදත් “රස රිසි ගී” ඉදිරිපත් කළ මුල් වකවානුවේ විශාල රසික පිරිසක් එම වැඩසටහන සමඟ සිටියා නේද?
ඇත්තෙන්ම ඔව්; විශාල රසික පිරිසක් “රස රිසි ගී” වැඩසටහන වටා සිටියා. ඒකට ප්‍රධානම හේතුව වුණේ නාරදත් මමත් සාම්ප්‍රදායික වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ශෛලියෙන් බැහැර වෙලා සජීවී ආකාරයකින් “රසරිසි ගී” ඉදිරිපත් කළ නිසයි. ඊට පෙර මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කළේ නිවේදක නිවේදිකාවන් හැටියට. නමුත් අපි ඒ වැඩසටහන ඉදිරිපත් කළේ Presenter (ඉදිරිපත් කරන්නන්) හැටියට. ඒකයි විශාල පිරිසක් මේ වැඩසටහන වටා එකතු වුණේ. දැන් මම තනිවමයි රසරිසි ගී ඉදිරිපත් කරන්නේ. අවුරුදු 13 ක් දැන් මම මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. අලුත් සංගීත පරපුරක් සමඟ දැනුත් ඉතාම සාර්ථකව “රසරිසි ගී” කරනවා.
එකට වැඩ නොකළාට නාරදත් ඔබත් අදටත් මිතුරන් ද?
ඇත්තටම ඔව්. අපි ඉතාම හොඳ මිතුරන්. මම ක්ෂේත්‍රයට සම්බන්ධවනවිට නාරදට මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් අත්දැකීම් තිබුණා. ඒ නිසා මගේ අඩුපාඩු පෙන්වා දෙමින් නාරද සැමවිටම මට මඟ පෙන්වූවා. දවසක් මම කොළඹ එනකොට වේගයෙන් කාර් එක එළවනව දැකල නාරද මට කිව්ව “වේගයෙන් කොළඹ කාර්එක එළවන්න එපා; වැඩක් නෑ යන ගමන හෙමින් යන්න” කියල. අදත් මට කාර්එක එළවද්දී නාරදගෙ ඒ කිව්ව දේ මතක් වෙනව. අදත් පෝය වගේ නිවාඩු දවස්වලට මම නාරදලගෙ ගෙදර යනව. ඒ තරමටම අපි මිතුරො. නාරදගෙන් මගේ ජීවිතයට එක්කරගත් හොඳ දේවල් ගොඩක් දේවල් තියෙනව.
සිරස මාධ්‍ය ජාලයේ ඔබ දරන තනතුර කුමක්ද?
මම Y FM ගුවන් විදුලි නාළිකාවේ කළමණාකාරිණිය ලෙස සේවය කරනවා. Y FM නාළිකාව පටන්ගත්ත දවසේ ඉඳලා දැන් අවුරුදු 7 ක් මේ නාළිකාව කරනවා. Y FM අපි කරන්නෙ තාරුණ්‍ය වෙනුවෙන්.
ඔබ “සිරස” රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස වැඩ කරන්නේ ඊට අමතරවද?
ඔව්. මම මේ මාධ්‍ය රැකියාවට කැපවුණු චරිතයක්. මම තොරතුරු පිපාසයෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම මම දේශපාලනික සත්වයෙක්. ඒ නිසා රටේ ලෝකයේ වෙන දේවල් දැනගන්න මම හරිම උනන්දුයි. දිනපතා සෑම පුවත්පතක් වගේ ම මම කියවනවා. ඒ නිසා “සිරස” රූපවාහිනියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ හරිම කැමැත්තෙන්.
ක ජ්ර්නාළිකාවේ අරමුණු මොනවාද?
අපි අමතන්නෙ තාරුණ්‍යයට. තාරුණ්‍ය මොහොතින් මොහොත වෙනස් වෙනවා. රෑට නිදාගන්න තරුණයා හෝ තරුණිය නෙමෙයි උදේට නැගිටින්නේ; වෙනස්ම පුද්ගලයෙක්. Y FM නාළිකාවෙන් අපි ප්‍රධාන වශයෙන්ම අරමුණු කරගන්නේ විනෝදාස්වාදය, ඊළඟට වගකීමකින් යුතු තරුණ පරපුරක් සමාජගත කරන්නේ කොහොමද කියන එක ගැනත් අපි හිතනවා. ඒ වගේම ඔවුන් හමුවේ ඇති ප්‍රශ්නවලට ඔවුන් මුහුණ දිය යුත්තේ කෙසේද කියන එකත් තාරුණ්‍යයට අධ්‍යාපනය කෙතරම් වැදගත් ද කියන එකත් අපි අරමුණු කරගෙන තියෙනවා.
නමුත් Y FM නාලිකාවට ඇතැම් අවස්ථාවල චෝදනා එල්ල වී තිබෙනවා නේද?
මේ ගුවන් විදුලි නාළිකාවට චෝදනා එල්ල කරන්නේ නියම විදියට මේ නාළිකාවට සවන් දෙන්නේ නැති උදවිය. අපි ගුවන් විදුලි නාළිකාවක් හැටියට සමාජයේ විවිධ කොටස්වලට; විශේෂයෙන්ම පාසල්වලට උදව් කරනවා. ඒ නිසා විදුහල්පතිවරු, ගුරුවරු, සිසු සිසුවියන් සමඟ අපි නිතරම අදහස් හුවමාරු කරගන්නවා. අපි භාවිතා කරන්නේ සරල භාෂාවක්. සමාජයේ බහුලව භාවිතාවෙන ඉංගී‍්‍රසි වචන අපි භාවිතා කරනවා. සමාජයට නොගැළපෙන කිසිම දෙයක් Y FM තුළින් අපි ඉදිරිපත් කරන්නේ නෑ. එහෙම නොවුණා නම් අවුරුදු 7 ක් සාර්ථකව අපිට පවතින්න බැහැ.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
අම්මයි තාත්තයි අක්කයි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ. අක්ක විවාහකයි. තාත්ත දැන් විශ්‍රාමිකයි. අම්මයි තාත්තයි මගේ වැඩවලට ගොඩක් උදව් කරනවා.
ඔබත් දැන් විවාහවන වයසේ පසුවන යුවතියක් නේද?
මම ඔය ප්‍රශ්නය දකින්නේ මේ විදියට. සමාජයේ ආරක්ෂාව බලාගෙන විවාහවෙන්න ඕන කියන පදනමේ මම නැහැ. මගේ රස්සාව ඇතුළේ මට සියලුම ආරක්ෂාව ලැබිල තියෙනව. මේ වෙනකොට මට හැමදේම දෙවියන් විසින් දීල තියෙනව; හොඳ අම්ම තාත්ත කෙනෙක්, ජනපි‍්‍රයත්වය, දක්ෂතාවය, මිල මුදල්, හොඳ යාළුවො වගේ හැම දෙයක් ම. ඒ වගේම මගේ ජීවිතයට සුදුසු කෙනාත් සුදුසු මොහොතේදී ලැබෙයි කියන විශ්වාසයත් මට තියෙනවා. එහෙම නැතිව මට නොගැළපෙන කෙනෙක් සමඟ විවාහ වෙලා එයාගෙ ජීවිතයත් මගේ ජීවිතයත් විනාශ කරගන්න මම කැමැති නෑ. හැබැයි ජීවිතයට සහකරුවෙක් ඕන කියන මතයේ මම ඉන්නව.
ඒ කියන්නෙ ඔබට පෙම්වතෙක් ඉඳලම නැතිද?
ඉඳල තියෙනව. මගෙ රැකියාව හරිම කාර්ය බහුලයි. මගේ රැකියාවේ ස්වභාවය තේරුම් ගන්න බැරිවුණු නිසා ඒ ප්‍රේමය මගේ ජීවිතයෙන් දුරස් වුණා.
මොනවගේ බලාපොරොත්තු ද ඔබ ඉදිරියේ තියෙන්නෙ?
බොල්ගොඩ ගඟ ළඟ මම පුංචි ගෙයක් හැදුවා. ළඟදීම ඒකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී කෙටි චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මම සේවය කරන මහරාජා ආයතනය මාව හොඳින් බලා ගන්නව. මට හොඳට සලකනවා. ඒ නිසා මහන්සිවෙලා වැඩ කරලා වෘත්තීය මට්ටමින් ඉහළට යන්නත් බලාපොරොත්තු වෙනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all