Photobucket

Thursday, January 3, 2013

අපි ඉපදී මියයන තුරුම ඉගෙන ගන්නවා

යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු වූ මුළුමහත් දේශයට අභිමානයක්‌ වූත් ජාතික වූත් ජාත්‍යන්තර වූත් මහත් පිළිගැනීමට පාත්‍ර වූ ඇමරිකා එක්‌සත් ජනපදයේ "නාසා" ආයතනයේ ජෙට්‌ ප්‍රවාලන් පර්යේෂණාගාරයේ විද්‍යාඥ හා කණ්‌ඩායම් අධීක්‍ෂක ආචාර්ය සරත් ගුණපාල මහතා පිළිගැනීමේ උත්සවයක්‌ පසුගියදා යටියන්තොට නගරයේ දී පැවැත්විණි.

යටියන්තොට ප්‍රාදේශීය සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි.

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ. ඩී. වසන්ත කුමාර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විසින් යටියන්තොට නගරයේ දී ගුණපාල මහතා පිළිගනු ලැබීමෙන් අනතුරුව උඩරට නැටුම් සහිත පෙරහැරකින් යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයීය ශාලාව වෙත කැඳවාගෙන යන ලදී.

යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරාධිපති බොස්‌සැල්ලේ ධම්මාවාස හිමිපාණන් විසින් ආගමික වතාවත් ඉටුකරන ලදී. පොල්තෙල් පහන් දැල්වීමෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විණි.

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ. ඩී. වසන්ත කුමාර මහතා පිළිගැනීමේ කතාව කළේය. අනතුරුව සිරිවර්ධන විදුහල්පති නවගමුව මහතා විසින් කරන ලද අදහස්‌ දැක්‌වීමෙන් පසු විදුලි සංදේශ හා තොරතුරු තාක්‌ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ කීවේය.

ශ්‍රී ලංකාවට මෙන්ම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයටත්, යටියන්තොට ප්‍රදේශයටත් විද්‍යාඥ සරත් ගුණපාල මහතා විශාල ගෞරවයක්‌. ඔබතුමා සහභාගි වන මේ උත්සවයට සහභාගි වීමට ලැබීම සතුටක්‌.

ආචාර්ය සරත් ගුණපාල මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ කීවේය.

"මා අද දේශනයකට සූදානම් වී ආවේ නැහැ. හුඟදෙනකු අහනවා මා ආ මේ ගමන ගැන. මා මූලික අධ්‍යාපනය ලැබුවේ මේ සිරිවර්ධන විදුහලේ. ඒ කාලයේ ගොඩනැඟිලි දියුණුවක්‌ තිබුණේ නැහැ. මාගේ මව මේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරිය වශයෙන් සේවය කළා. 1979 දී පළමු පෙළ ගෞරව සමාර්ථයක්‌ හා භෞතික විද්‍යා උපාධිය ලබා ගත්තා. 1980 දී පශ්චාත් උපාධි ශිෂ්‍යත්වලාභියකු ලෙස ඇමරිකා එක්‌සත් ජනපදයට ගියා. ඇමරිකාවේ "පීටර්ස්‌බර්ග්" සරසවියේ විද්‍යාව විදුලි ඉංජිනේරු විෂය සමත් වී උපාධිය ලබා ගත්තා. 1992 සිට නාසා ආයතනයේ විද්‍යාඥයකු ලෙස කටයුතු කරනවා.

අපි ඉපදී මියයන තුරු ඉගෙන ගන්නවා. විශ්වයේ තිබෙන හැම දෙයක්‌ ගැනම ඉගෙන ගැනීම තමයි අධ්‍යාපනය කියන්නේ. 1959 ඇමරිකාව තාක්‌ෂණ දියුණුවක්‌ ලබා ගත්තා. තාක්‌ෂණය නැත්නම් අද ලෝකයේ ඉදිරියට යන්න බැහැ. ඒ කාලයේ පණිවුඩ හුවමාරු ක්‍රම දියුණු වී තිබුණේ නැහැ. තව කාලයක්‌ යන විට තාක්‌ෂණික දියුණුව නිසා ලෝකයම එක මට්‌ටමකට එනවා. මෙම උත්සවය පවත්වා මට සහයෝගය දැක්‌වූ යටියන්තොට ප්‍රදේශයේ හැම දෙනාටම ස්‌තුතිවන්ත වනවා.

ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය තිස්‌ස විතාරණ, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විජය පතිරණ යන මහත්වරුද, උත්සව සභාවේදී අදහස්‌ ප්‍රකාශ කළහ. යටියන්තොට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද නර්තන අංග කීපය උත්සවයට රැස්‌වූ සැමගේ සිත් ඇද ගැනීමට සමත්ව තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all