Photobucket

Wednesday, January 2, 2013

පරාජය අමතක කොට යළි තරගයට පිවිසිය යුතුයි

“ඔස්ට්‍රේලියාවේදී අපට ටෙස්ට් තරගයක් දිනන්න පුළුවනි. අපි සිඩ්නි ටෙස්ට් තරගයට පිවිසෙන්නේ ඒ ආකල්පයෙනුයි” ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර පවසයි.

“තරග 2 –0කින් පැරදිලා ඉන්න අපට නැතිවෙන්න දෙයක් නැහැ. ඒත් එහෙම වෙලත් මේ කණ්ඩායමට හා කළමනාකාරිත්වයට ඉතිහාසගත වෙන්න පුළුවනි. පසුගිය සතියේ මෙල්බර්න්හි ලත් පරාජය අමතක කොට යළි තරගයට පිවිසිය යුතු බවද සමරවීර කියා සිටියේය.“ඒ පරාජය දිරවගන්න අමාරුයි. 

නමුත් එය දැන් අතීතයයි” සමරවීර කීවේය. “වඩා හොඳ දෙය වන්නේ ඔස්ට්‍රේලියාවේදී එක ටෙස්ට් තරගයක් දිනුවොත් ඉතිහාසගත වෙන්න පුළුවන් කියලා මේ කණ්ඩායම විශ්වාසයක් ඇති කර ගත යුතුයි.” ලහිරු තිරිමාන්න දැන් සිඩ්නි නුවරට පැමිණ සිටී. වේග පන්දු යවන සුරංග ලක්මාල්  (2) මෙහි පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පුහුණුවීම්වල නිරත වූයේ නැත. අද පුහුණුවීම්වලින් පසුව කඩුලු රකින පිතිකරු ප්‍රසන්න ජයවර්ධන සිඩ්නි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න ගැන තීරණය කෙරෙනු ඇත. ඉළඇටයේ ආබාධයකට ලක්ව සිටින නුවන් කුලසේකර  (3) ඇරැඹෙන තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරනු ඇත. එහෙත් ඔහු මේ තරගයෙන් පසුව ඇරැඹෙන ජාත්‍යන්තර එක්දින තරගමාලාවට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිඩ්නි ටෙස්ට් තරගය සඳහා සකස් කෙරෙන තණතීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වන එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් දෙපිල ම දඟ පන්දු යවන්නන් දෙදෙනකු බැගින් තරගයට ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. 

ආබාධයකට ලක්ව සිටින උප නායක ෂේන් වොට්සන් සිඩ්නි තරගයට ක්‍රීඩ නොකරයි. ‘මිස්ටර් ක්‍රිකට්’ ලෙසින් මෙහි ජනප්‍රියව සිටින ශක්තිසම්පන්න පිතිකරු මයිකල් හසී ගේ 79 වැනි හා අවසන් ටෙස්ට් තරගය සිඩ්නි තරගයයි.

මේ පළපුරුදු වමත් පිතිකරුවා සිඩ්නි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගවල වැඩිම ලකුණු ලබා ගෙන සිටින රිකී පොන්ටිං අභිබවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. පොන්ටිං අභිබවා යාමට හසී ට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 34ක් පමණි. මයිකල් හසී ශතක පහක් ලබා ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක ලබා ගෙන සිටින ඔස්ට්‍රේලියානු පිතිකරුවා බවට දැනටමත් පත්ව සිටී.

සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගී වන මයික් හසී ට ගෞරව දක්වනු පිණිස ‘සින්ක්’ පැහැති ඇඳුම් පළඳින ලෙස සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණ පදනම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලී නරඹන්නන්ගෙන් ඉල්ලා සිටී.

මීට අමතරව, මිය ගිය හිටපු එංගලන්ත ක්‍රිකට් නායක හා ජනප්‍රිය රූපවාහිනී ක්‍රිකට් විචාරක ටෝනි ග්‍රෙග්ට ගෞරවය පිණිස ඔහු පැළඳ සිටි ආකාරයේ රවුම් තොප්පියක් පැළඳ තරගය නැරඹීමට පැමිණෙන ලෙසට ද එම පදනම සමස්ත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all