Photobucket

Wednesday, January 9, 2013

විපත් මරණ 46 යි

ඊසාන දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් 17 වැනිදා සිට  (7 වැනිදා) දක්‌වා පැවැති වැසි, සුළං, නාය යැම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 46 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

බදුල්ල හාලිඇළ, වැලියමුල්ල ප්‍රදේශයේදී (7 වැනිදා) සවස 34 හැවිරිදි මවක සහ 8 හැවිරිදි දැරියක ජලයේ ගසාගෙන ගොස්‌ මියගිය අතර කොත්මලේ පූඬළුඔය ප්‍රදේශයේදී පෙරේදා සවස කාන්තාවක ඇළකට වැටී මියගොස්‌ ඇත.

වර්ෂාවත් සමග මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නාය යැම් අවදානම  තවදුරටත් වර්ධනය වූ බවත්, දැඩි අවදානම් මෙන්ම මධ්‍ය අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවද අධික වර්ෂාව පවතින අවස්‌ථාවලදී නිවෙස්‌වල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.

නුවරඑළිය, බදුල්ල දිස්‌ත්‍රික්‌කවල ද නාය යැම් අවදානම තවදුරටත් පවතින බව "දිවයින"ට පැවැසූ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නාය යැම් අංශ ප්‍රධානී ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා, නුවරඑළිය-වැලිමඩ පාර, හැටන්-මහනුවර පාර, බදුල්ල මාර්ගය භාවිත කිරීමේදී දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවද විකල්ප මාර්ග භාවිතය වඩාත් සුදුසු බවද අවධාරණය කළේය.

මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 71 න් ජලාශ 48 ක්‌ වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න මහත්මිය "දිවයින"ට පැවැසුවාය.

අනුරාධපුරයේ රාජාංගනය, මහකනදරාව, නාච්චදූව, නුවරවැව, වාහල්කඩ යන ජලාශ වාන් දැමීම හේතුවෙන් ඒවායෙහි අතු ගංගා වන යාං ඔය, මල්වතු ඔය හා කලා ඔය පිටාර ගලමින් ඇතැයි ඇය කීවාය.

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, මින්නේරිය ජලාශවල වාන් දොරටු විවර කිරීම හේතුවෙන් අඹන් ගඟේ හා මහවැලි ගඟේ ජල මට්‌ටම ඉහළ යන බව මීගස්‌තැන්න මහත්මිය පැවැසුවාය.

හම්බන්තොට වෙහෙරගල ජලාශය, ලුණුගම්වෙහෙර, මව්ආර හා බුරුතවෙල ජලාශවල වාන් දොරටු ඇරීමෙන් මැණික්‌ ගඟේ ජල මට්‌ටම ඉහළ ගිය බවද මඩකලපුවේ මාදුරුඔය, රූගම් යන ජලාශවල ජල මට්‌ටම ඉහළ යැමෙන් කුඩා වැව් තුනක්‌ද වාන් දමමින් පවතින බවද ඇය සඳහන් කළාය.

ත්‍රිකුණාමලයේ ජලාශ 5 න් ජලාශ 3 ක්‌ වාන් දමමින් පවතින බවද මීගස්‌තැන්න මහත්මිය කීවාය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ තවදුරටත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ යන පළාත්වලට තද වැසි හෝ තද සුළං ඇතිවිය හැකි බවයි.

ධීවර කටයුතුවලදී විමසිලිමත් වන ලෙසද ඔවුහු අනතුරු ඇඟවූහ.

මේ අතර නාය යැම් ඇතුළු සිදුවූ ආපදාවන් නිසා උන්හිටි තැන් අහිමිවූ පවුල් 268 ක 873 දෙනකු  (8 දා) වන විටත් තාවකාලික කඳවුරු 8 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ ඒකකයේ මාතලේ දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද මොරේමඩ මහතා පැවැසීය.

තාවකාලිකව කඳවුරුවල රඳවා සිටින පවුල් සඳහා පිසූ ආහාර සැපයීම ඇතුළු පහසුකම් ආපදා කළමනාකරණ ඒකකය, මාතලේ දිසාපතිනි හෙලන් ඒ. මීගස්‌මුල්ල මහත්මියගේ උපදෙස්‌ මත සැපයීම සිදු කෙරේ.

සිදුවූ ආපදාවන් නිසා මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් පුද්ගල මරණ 9 ක්‌ අතුරුදන්වීම් 7 ක්‌ වාර්තාවී ඇත. තුවාල ලැබූ 13 ක්‌ ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස්‌ ඇත.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල ඇදහැලුණු ධාරානිපාත වැසි හේතුවෙන් මල්වතු ඔය යළිත් පිටාර ගැලීම නිසා අනුරාධපුර නගරය අවට පහත් බිම් හා තන්තිරිමලේ බෝගොඩ යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ගංවතුර තත්ත්වයක්‌ හටගෙන තිබේ.

මේ නිසා අනුරාධපුර නගරයේ මල්වතු ඔය පටුමග මාර්ගය, කොහොඹ ගස්‌ හන්දිය මාර්ගය හා තන්තිරිමලේ ප්‍රදේශය අවට පහත් බිම් රැසක මාර්ග ජලයෙන් යටවීමෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

මේ අතර මල්වතු ඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර පූජා නගරයට නුදුරු කාර්යාල කිහිපයක්‌ විශ්‍රාම ශාලා හා නිවාස රැසක්‌ ජලයෙන් යටවී තිබේ.

ගත වූ සති දෙකක කාලය තුළ මල්වතු ඔය අවට පහත් බිම්වල පදිංචි පවුල් රැසක්‌ දෙවන වරටත් ජල ගැලීමෙන් විපතට පත්ව සිටිති.

මේ අතර  (8 දා) උදේ වන විට අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම වැව් නැවතත් වාන් දැමීමට පටන් ගැනීම නිසා කලාවැව, රාජාංගනය, නාච්චාදූව, අංගමුව, පදවිය, හුරුළුවැව, වාහල්කඩ හා මහකනදරාව ඇතුළු ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වැව් රැසක හදිසි වාන් දොරටු විවෘත කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරු පියවර ගත්හ.

මේ අතර පොලොන්නරුවේ යළිත්

ගංවතුර තත්ත්වයක්‌ උද්ගත වී ඇත මහවැව් සියල්ලම මේ වනවිට පිටාර ගලමින් පවතින අතර පහත් බිම් ජලයෙන් යටවීම නිසා මැදිරිගිරිය සහ ලංකාපුර, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත් පවුල් 2000 ක්‌ පමණ අවතැන්වී සිටිති.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් කිරිමැටිය, බුද්ධයාය, පන්සල්ගොඩැල්ල, පිනාමංකඩ 100 කෑල්ල ආදී ප්‍රදේශවල නිවාස විශාල ප්‍රමාණයක්‌ ජලයෙන් යට වී ඇත.

ගංවතුර හේතුවෙන් ලංකාපුර ප්‍රාදේශිSය ලේකම් කොට්‌ඨාසයේ පවුල් 1847 කට අයත් පුද්ගලයන් 6750 ක්‌ද මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවුල් 91 කට අයත් 354 දෙනකුද අවතැන්ව ඇතැයි පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‌ෂ උපුල් නානායක්‌කාර මහතා ප්‍රකාශ කළේය.

දැනට මෙම අවතැන්වූ පිරිස්‌ ඔවුන් පදිංචිව සිටි ගම්මාන අවට පිහිටුවා තිබෙන අවතැන් කඳවුරුවල තාවකාලිකව නවාතැන්ගෙන සිටිති.

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ලොකු කුඩා වැව් සියල්ලක්‌ම පිටාර ගලමින් පවතී.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 01 බැගින් විවෘත කොට අතිරේක ජලය පිටතට මුදා හැරීමට පියවර ගෙන ඇතැයි පරාක්‍රම සමුද්‍රයේ වාරි ඉංජිනේරු එච්. එම්. යූ. බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.

මින්නේරිය සහ කවුඩුල්ල ජලාශයන්හිද වාන් දොරටු සියල්ල මේ වන විට විවෘත කොට තිබේ. කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 12 අඩි 02 බැගින්ද මින්නේරිය ජලාශයේ වාන් දොරටු 07 අඩි 02 බැගින්ද විවෘත කොට තිබෙන බව වාරි නිලධාරීහු ප්‍රකාශ කළහ.

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ජල මට්‌ටම  08 වැනිදා) දහවල් වනවිට අඩි 02 ක්‌ දක්‌වා ඉහළ නැග තිබිණි. එහි රථ වාහන ගමනා ගමනය බර වාහනවලට පමණක්‌ සීමා කොට තිබේ.

මේ අතර පොලොන්නරුව සිට සෝමාවතිය පුද බිම දක්‌වා මාර්ගයේ සුංගාවිල සිට සෝමාවතිය පූජා භූමිය දක්‌වා ස්‌ථාන කිහිපයක්‌ ජලයෙන් යටවී ඇති අතර එහි වාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට තිබේ.

පෙරේදා පැවැති අධික වර්ෂාවෙන් නුවරඑළිය නරගයේ පහත් බිම් සියල්ලම පාහේ අඩි තුන හතරක්‌ ජලයෙන් යටවිය.

ජනපති නිල නිවසට පිවිසෙන ප්‍රධාන දොරටුව ඇතුළු ප්‍රදේශයද ඉන් ඔබ්බෙන් පිහිටි ගෝල්µa තණපිටියද ඡේම්ස්‌ පීරිස්‌ මාවත හා තුරඟ තරග පිටියේ නිවාසද අඩි කිහිපයක්‌ ජලයෙන් යටවිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all