පසුගිය වසරේ මෙරටට පැමිණි විදේශ සංචාරකයන් අතුරින් 37%ක් පින්නවල අලි
අනාථාගාරය නරඹා ඇතැයි ශ්‍රී ලංකා සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර
අධ්‍යක්ෂ රේණුකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කරයි.
අධ්‍යක්ෂවරිය මෙසේ සඳහන් කළේ පින්නවල සත්ත්වෝද්‍යාන කාර්යාලයේ පැවැති
සාකච්ඡාවකට එක්වෙමිනි. පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ දැනට ඉදිවෙමින්
පවතින ශ්‍රී ලංකාවේ දෙවැනි සතුන්වත්තේ ඉදිකිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම
සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07දා
පැවැත්විණි.
වසර ගණනක් ඇදෙමින් පැවැති මේ දෙවැනි සත්වෝද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආර්ථික
සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නියමයෙන් මේ වන විට ලහි ලහියේ අවසන්
වෙමින් පවතී.
එහි පළමු අදියර අප රටට ආවේණික සතුන් සඳහා වෙන් වේ. ඒ අනුව දිවි අරණ, මුව අරණ යන
දිවියන් සහ මුවන් සඳහා වෙන් වූ කොටස්වල ඉදිකිරීම් මාර්තු 31ට පෙර අවසන්
කිරීමට අපේක්ෂිතය. මේ එළිමහන් සත්ත්වෝද්‍යානය තුළ ඒ ඒ සතුන්ට වඩාත් පුළුල්
ඉඩක ඔවුන්ට ආවේණික ස්වභාවික පරිසරයේ හැසිරීමට ද ඉඩකඩ ලැබීම ද විශේෂයකි.
මෙහිදී සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා සඳහන් කළේ දැනටමත් දෙස් විදෙස්
සංචාරක ආකර්ෂණය දිනූ පින්නවල සත්ත්වෝද්‍යානයේ ද වැඩ නිමවූ පසු ඒ අවට පමණක්
නොව කෑගල්ල දිස්ත්‍රික්කයම සංචාරක කලාපයක් බවට පත් වන බවය. ඒ හරහා වැඩි ආර්ථික
ප්‍රතිලාභයක් ප්‍රදේශවාසීන්ට ලබාදීම තම අරමුණ බව කී මහ ඇමැතිවරයා විදෙස්
සංචාරකයන් පින්නවල ආසන්නයේ වැඩි දින ගණනක් රඳවා ගැනීමේ සැලැසුමක් ද දැන්
ක්‍රියාත්මක බව කීය.
ලොව ඉපැරණිම මිනිස් වාසයක් සේ සැලකෙන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත්
පදවිගම්පොල ගල් පියස්ස නැරැඹීමට එන විදේශ සංචාරකයන් සඳහා සත්කාරක සේවා
සැපයීමට ගම්වාසීන් දිරිගන්වන වැඩසටහනක් ද සබරගමු පළාත් සභාව දැනටමත්
හඳුන්වා දී ඇත. ඒ අනුව ආහාරපාන ඇතුළු සත්කාරක සේවාවන් සපයන්නන් සඳහා යොමු වුණ
ගම්වාසීන්ට එම අවස්ථාව දියුණු කර ගැනීම සඳහා මූල්‍යාධාර ද සැපයේ.
පදවිගම්පොල ගල්පියස්ස ලොව පැරණිතම මිනිස් වාසස්ථානයකැයි මානව
විද්‍යාඥයන් නම් කර ඇති අතර ඒ ආසන්නයේම වන තීරයේ වැසීගිය කඳුවැටියේ
දුරාතීතයේ මිනිස් වාසයන්ව පැවැති ස්වභාවික ගල් ලෙන් 40කට ආසන්න සංඛ්‍ය්‍යාවක්
දක්නට ඇත. එම ගල් ලෙන් ඇතුළු ස්වභාවික සම්පත්වලට කිසිදු හානියක් සිදු නොවන
පරිදි පරිසර හිතකාමී මේ වැඩපිළිවෙළ හරහා දැනට ඉහළම සමාජ තලයන්ට සීමා වී ඇති
සංචාරක කර්මාන්තයේ ආර්ථික ප්‍රතිලාභ ගමට ගෙනඒම තම අරමුණ බව ද මහ ඇමැතිවරයා
කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී
වූහ.
0 comments:
Post a Comment