Photobucket

Tuesday, January 8, 2013

සුගතදාස ධාවන පථයේ ගුණාත්මකභාවය සෙවීමට සිව් පුද්ගල කමිටුවක්‌ හිඟ මිලියන 30 ගෙවීම අත්හිටුවයි

මෑත භාගයේ (මිට මාස 7කට පෙර) නවීකරණය කරන ලද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයේ ගුණාත්මකභාවය පිළිබඳව කඩිනම් විමර්ශනයක යෙදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කොට ඇත.

ඒ සඳහා මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත සිව් පුද්ගල විමර්ශන කමිටුවක්‌ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා විසින් මේ වන විට ද පත්කොට ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු එහි සභාපති ධුරය දරන අතර මලල ක්‍රීඩා ජාතික පුහුණුකරු ඩර්වින් පෙරේරා, ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ සහ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් එහි සෙසු සාමාජිකයෝ වෙති.

ගත වූ 2012 වසරේ ජුනි මාසයේ පැවැති ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්‌ක කොටගෙන රුපියල් මිලියන 113 ක අවම ටෙන්ඩරයකින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය නවීකරණය කරන ලදී.

සුගතදාස ධාවන පථයේ නවීකරණ කටයුතු නිසි ලෙස සිදු වී නැති බවටත් ධාවන පථයේ ඇතැම් ස්‌ථාන (විශේෂයෙන් පිටියේ තරග ඉසව් පවත්වන ස්‌ථාන) කඩතොළු වී ඇති බවටත් විවිධ පාර්ශ්ව වෙතින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී ඇති ලිත සහ වාචික පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව එහි ගුණාත්මකභාවය පිළිබඳ විමර්ශනයක යෙදීමට අමාත්‍යාංශය අදාළ සිව් පුද්ගල කමිටුව පත්කොට ඇත.

අදාළ විමර්ශන වාර්තාව සති තුනක්‌ ඇතුළත තමා වෙත යොමුකරන ලෙස ද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා කමිටු නියෝජිතයන්ට උපදෙස්‌ දී තිබේ.

මේ අතර සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය නවීකරණය කිරීම සඳහා මීට වසර දෙකකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳවූ අතර විවිධ ටෙන්ඩර් අක්‍රමිකතා හේතුවෙන් අදාළ නවීකරණ කටයුතු ඉකුත් 2012 පෙබරවාරි - මාර්තු මාසය වන තෙක්‌ම ඇනහිට පැවතිණි. අවසානයේ අවම ටෙන්ඩර් ලන්සුව වූ රුපියල් මිලියන 113 ක ටෙන්ඩරය ඉදිරිපත් කළ ගහ කොළ ලෑන්ඩ්ස්‌කේපින් ආයතනය විසින් දින 120 ක කෙටි කාලයකින් ධාවන පථයේ නවීකරණ කටයුතු නිම කරන ලදී.

සුගතදාස ක්‍රීඩාංගණයේ නව ධාවන පථය එළීමෙන් අනතුරුව ඉකුත් ජුනි මාසයේ ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භයට දින කිහිපයකට පෙර ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රමුඛ සුගතදාස පාලන අධිකාරියේ ප්‍රධානීන් හා ටෙන්ඩර්කරු මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් සුගතදාස ධාවන පථය ජාත්‍යන්තර මට්‌ටමට සකස්‌ කොට ඇති බවට සහතික වූහ. එයට ජාත්‍යන්තර සහතිකය ද ඉදිරියේදී ලැබෙනු ඇති බවට ද සහතික විය.

"දිවයින" ට වාර්තා වන අන්දමට බාහිර පාර්ශ්වවලින් එල්ල වී ඇති චෝදනා නිසා ටෙන්ඩර්කරුට අවසාන ගෙවීමට ඇති රුපියල් මිලියන 30 ක්‌ ගෙවීම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මේ වන විට අත්හිටුවා ඇත. දැන් සිදුකෙරෙන විමර්ශන වාර්තාවේ නිර්දේශ අනුව ටෙන්ඩර්කරුගේ අදාළ ගෙවීම හෝ නොගෙවීම තීරණය කරන බව වැඩිදුරටත් වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all