Photobucket

Tuesday, January 1, 2013

මාතලේ අධි අවදානම් ප්‍රදේශවලින් පවුල් 127 ක්‌ ඉවත් කෙරෙති

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නායයාම් අධි අවදානම් ග්‍රාම සේවා වසම් 29 ක පදිංචි පවුල් 127 ක්‌ එම ඉඩම්වලින් ඉවත් කිරීමට නිර්දේශ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ ප්‍රධානී, භූ විද්‍යාඥ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා පැවැසීය.

රත්තොට, නාඋල, උකුවෙල සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 29 ක්‌ නාය යැම් සහ ගිලාබැසීම් අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

එම ප්‍රදේශවල පදිංචි අවදානමට සෘජු ලෙස ලක්‌විය හැකි පවුල් මෙසේ ඉවත් කිරීමට නිර්දේශ කර ඇත. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ භූ විද්‍යාඥයන් කණ්‌ඩායම් 04 ක්‌ මේ වනවිට මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නායයැම්, ගිලාබැසීම් පිළිබඳව භූ විද්‍යාත්මක සහ භූ භෞතික පර්යේෂණ සිදු කරති.

පසුගිය මහ වැසි සමඟ ඇතිවූ මෙම ආපදාවන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සහ වෙනත් පුද්ගලයන් විසින් ලබාදුන් තොරතුරු, පැමිණිලි පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකෙරෙන බව ද ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා කීය.

නාය යැම් මධ්‍යම සහ සාමාන්‍ය අවදානම් ඇති කලාප යළි ජනතාවට පදිංචියට සුදුසු ලෙස ස්‌ථාවර කිරීම සඳහා ද නිර්දේශ ලබාදීමට පියවර ගන්නා බව ද පැවැසීය.

අධි අවදානම් ප්‍රදේශවල යළි පදිංචියට කිසිසේත්ම නුසුදුසු බවටද තවදුරටත් අනාගතයේදි මෙම ප්‍රදේශවල නායයැම් සක්‍රීයවී දැඩි හානි සිදුවිය හැකි බවටද භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ මාතලේ, මහනුවර සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවල සේවය කරන භූ විද්‍යාඥයන් මේ වන විට මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නායයැම්, ගිලාබැසීම්, ගල් කඳු සහ පස්‌ කඳු පවා කඩා වැටීමේ අවදානම් පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all