Photobucket

Sunday, December 16, 2012

දියවැඩියා රෝගීන් කකුලේ නියපොතු රවුමට කපන්න එපා

දියවැඩියා රෝගය නිසා වැඩිපුර සංකූලතා ඇතිවන්නේ අපගේ ශරීරයේ කුමන ඉන්ද්‍රියයන්වලට ද?
දියවැඩියාව අපගේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්වලට අවයවවලට බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම හෘදය වස්තුව, රුධිරවාහිනී, ස්නායු පද්ධතිය, දෑස්, වකුගඩු, කන්, විශේෂයෙන්ම පාදවල සංකූලතා ඇතිවීමට දියවැඩියා රෝගය බලපානවා.

හෘදයට ඇතිකරන බලපෑම මොන වගේ ද?
දියවැඩියා රෝගයෙන් මරණයට පත්වන්නන්ගෙන් වැඩිම පිරිසක් මිය යන්නේ හෘදය වස්තුවට සම්බන්ධ සංකූලතා නිසයි. විශේෂයෙන්ම හෘදයාබාධ ඇතිවීමෙන්. සාමාන්‍ය පුද්ගලයකු හා සන්සන්දනය කරන විට දියවැඩියා රෝගියකු තුළ හෘදයාබාධ ඇතිවීමේ හැකියාව තුන් ගුණයකින් ඉහළයි. එසේම දියවැඩියා රෝගීන්ට හෘදයාබාධ ඇතිවන්නේ අඩු වයස මට්ටම්වලදී. මේ අනුව හෙළි වී තිබෙන්නේ දියවැඩියා රෝගය නිසා රුධිරවාහිනී තුළ ඇතිවන වෙනස්කම් හේතුවෙන් හටගන්නා හෘදයාබාධ බොහෝ දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් මියයාමට හේතු වන බවයි.

දියවැඩියාව හෘදය ආශි‍්‍රතව තවත් කීප අයුරකින්ම බලපෑම් කරන බව පෙනී යනවා. එහිදී අධි රුධිර පීඩනය ප්‍රධාන තැනක් ගන්නවා. බොහෝ විට දියවැඩියා රෝගීන් අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. අධි රුධිර පීඩනය නිසාම දියවැඩියා රෝගීන් තවත් සංකූලතා ගණනාවකටම මුහුණ දෙනවා.

රුධිරයේ කොලෙස්ටරෝල් මේදය අධික වීම හෘදයාබාධ ඇතිවීමට හේතුවක් බව අප දන්නවා. කොලෙස්ටරෝල් මේදය අධික වීම දියවැඩියා රෝගියකු සතු විශේෂ ලක්ෂණයක්. මෙහිදී තවත් විශේෂ දෙයක් සඳහන් කළ හැකියි. ඒ; දියවැඩියා රෝගීන් තුළ ඉතාම අඩු වයස් සීමාවන් තුළ පවා රුධිරයේ කොලෙස්ටරෝල් මේදය ඉතා ඉහළ අගයක් ගත හැකි බවයි.

දියවැඩියාව කාලයක් තිස්සේ පැවතීම නිසා මෙන්ම දියවැඩියාව හොඳින් පාලනය නොකළ නිසා හෘදය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීමට ද හැකියාව තිබෙනවා. එලෙස හෘදය නියමාකාරයෙන් ස්පන්දනය නොවීම නිසා හෘදයාබාධවලට භාජනය වීමේ වැඩි හැකියාවක් දියවැඩියා රෝගීන්ට තිබෙනවා.

ස්නායු පද්ධතිය ආශි‍්‍රතව දියවැඩියා රෝගීන් තුළ ඇතිවන සංකූලතා මොනවා ද?
දියවැඩියා රෝගීන් තුළ ස්නායු පද්ධතිය ආශි‍්‍රතව බහුල වශයෙන් සංකූලතාවයන් ඇති වෙනවා. එයින් ප්‍රධාන තැනක් ගන්නේ ආඝාතය(ඉබපධඬඥ) ලෙස හඳුන්වනු ලබන රෝගී තත්ත්වයයි. දියවැඩියා රෝගීන් මරණයට පත්වන දෙවැනි ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ මෙම ආඝාත රෝගයයි. සාමාන්‍ය පුද්ගලයකුට වඩා දියවැඩියා රෝගියකුට ආඝාතය ඇතිවීමේ ප්‍රවණතාවය තුන් හතර ගුණයකින් වැඩියි.

එසේම අඩු වයස් මට්ටම්වලදී දියවැඩියා රෝගීන් ආඝාතනය රෝගයට ගොදුරු වෙනවා. දියවැඩියා රෝගීන් තුළ ආඝාතය ඇතිවීමෙන් පසුව වෙනත් ආකාරයේ සංකූලතාවයන් ද බහුලව පෙන්නුම් කරනවා.

ශරීරයේ යම් යම් ස්නායුවලට බාධා ඇතිවීම දියවැඩියා රෝගීන් තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්. විශේෂයෙන් ඇසේ ස්නායුවලට බාධා ඇතිවීම සඳහන් කළ හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස එක් වස්තුවක් වස්තු දෙකක් ලෙස පෙනීම දක්වන්න පුළුවනි. එසේම අතේ ස්නායු අවහිර වීම නිසා අත හිරි වැටීමේ තත්ත්වයක් ද ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙය අතේ ස්නායුවලට රුධිරය සැපයීම අවහිරවීම නිසා මතුවන රෝගී තත්ත්වයක්.

 මීට අමතරව පාදවල ස්නායුවලට ද දියවැඩියා රෝගයේ බලපෑම් ඇති වෙනවා. මෙහි මූලික ලක්ෂණය වන්නේ පාදවල දැඩි වේදනාවක් ඇති වීමයි. පාදවල වේදනාව රාත්‍රී කාලයේ දී අධිකව දැනෙනවා. මෙය Painfull  neuropathy  - වේදනාව නිසා ඇතිවන ස්නායු ආබාධය ලෙස හඳුන්වනවා. 

මෙහි ප්‍රභේද දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න කෙටිකාලීනව ඇතිවන ස්නායු ආබාධයයි. මෙම තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය අධිකව වැඩි වූ විටයි. මෙම වේදනාව රුධිරයේ සීනි මට්ටම පාලනය කළ විට බොහෝ විට අඩුවී යනවා. දියවැඩියා රෝගය පාදවල ස්නායුවලට බලපෑම් කිරීම නිසා පාදවල ඇතිවන අනෙත් රෝගී තත්ත්වය දීර්ඝ කාලීනව ඇතිවන පාදවල ස්නායු ආබාධය ලෙස හඳුන්වනවා. මෙහිදී පාදවල දැවිල්ලක් වේදනාවක් ඇති වෙනවා. මෙම තත්ත්වයට ද හේතු වන්නේ පාදවල ස්නායුවලට රුධිරය ගමන් කිරීම අවහිර වීමයි. මෙම වේදනාව සමනය කරගැනීම සඳහා විශේෂිත ඖෂධ වර්ග භාවිත කිරීමට සිදු වෙනවා.

දියවැඩියා රෝගය දෑස්වලටත් බලපෑම් කරනවා ද?

ඔව්; දියවැඩියා රෝගය අපගේ ඇස්වල විශාල වශයෙන් සංකූලතා ඇති කිරීමට සමත්. ලෝකයේම අන්ධභාවය පිළිබඳව සලකා බලන විට හොඳින් වැඩ කළ හැකි තත්ත්වයේ සිටින වැඩිම පුද්ගලයින් පිරිසක් අන්ධභාවයට පත්ව සිටින්නේ දියවැඩියා රෝගය නිසා බව හෙළි වී තිබෙනවා. මෙය ඉතාම පහසුවෙන් මඟහරවා ගත හැකියි.

දියවැඩියාව නිසා රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීමත් සමඟම දෑස් අභ්‍යන්තරයේ ඇති රුධිර කේෂ නාලිකාවල යම් යම් අවහිරතා ඇති වෙනවා. මේ හේතුව නිසා ප්‍රෝටින් ශ්‍රාවය රුධිර වාහිනීවලින් ඉවතට ගලනවා. එහි ප්‍රතිඵලය වන්නේ රෙටිනෝපති නම් රෝගී තත්ත්වය ඇතිවීමයි. මෙහිදී විශේෂ කරුණක් සඳහන් කළ යුතුයි.

ඒ; රෙටිනෝපති නම් රෝගී තත්ත්වය දෑස්වල ඇතිවූ මුල් අවස්ථාවේදී රෝගීන් පවසන්නේ තම දෑස්වල කිසිඳු ප්‍රශ්නයක් නැති බවයි. තම දෑස් සාමාන්‍ය අයුරින්ම පෙනෙන බවයි. එසේ වුවත් එම පුද්ගලයින්ගේ දෑස් අභ්‍යන්තරය පරීක්ෂාවට ලක් කළ විට “රෙටිනෝපති” නම් රෝගයට එම පුද්ගලයා ගොදුරු වී ඇති බව හෙළි වෙනවා. ඒ නිසා දියවැඩියා රෝගයට ගොදුරු වූ පුද්ගලයින් සෑම වසරකට වරක්ම දෑස් අභ්‍යන්තරය පරීක්ෂා කරවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ; මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහායි. මුලදී දෑස්වල පෙනීම පිළිබඳව ගැටලුවක් ඇති නොවුණත් රෝගය ඇතිවී කලක් ගත වූ විට හදිසියේම දෑස් නොපෙනී යාමට ඉඩ තිබෙනවා. 

එම නිසා රෙටිනෝපති තත්ත්වය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමත් දියවැඩියාව වැළැක්වීමට පියවර ගැනීමත් ඉතා වැදගත්.

“සුද” ඇතිවීම දියවැඩියා රෝගය නිසා දෑස්වල ඇතිවන තවත් ප්‍රධාන සංකූලතාවක්. ඊට අමතරව දෑස්වල අභ්‍යන්තරයේ පීඩනය වැඩිවීම හෙවත් “ග්ලුකෝමා” නම් රෝගී තත්ත්වය ද දියවැඩියා රෝගීන් වෙතින් දක්නට ලැබෙන බහුලම රෝගී තත්ත්වයක්. දියවැඩියා රෝගයත් දෑස්වල නිරෝගී භාවයත් අතරේ ඉතා කිට්ටු සම්බන්ධයක් තිබෙනවා. දෑස් හොඳින් පවත්වාගෙන යාමට දියවැඩියාව පාලනය කිරීම අත්‍යවශ්‍යයි.

වකුගඩුවලට දියවැඩියාවෙන් වන බලපෑම කෙබඳු ද?

වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩුවීමට බලපාන ප්‍රධානම හේතුවක් වන්නේ දියවැඩියා රෝගයයි. දියවැඩියාව නිසා වකුගඩුවල රුධිර නාළිකාවල ඇතිවන වෙනස්වීම් නිසා වකුගඩුවලින් ඇල්බියුමින් නමැති ශ්‍රාවයක් මුත්‍රා සමඟ පිටවීමට පටන් ගන්නවා. මෙය දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානියේ මුල්ම අවස්ථාවයි.

වෛද්‍ය පරීක්ෂණයකින් මෙම තත්ත්වය ඉතාම පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මෙය කලින් හඳුනාගෙන දියවැඩියාවෙන් වකුගඩුවලට වන හානිය වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් යමෙකු තුළ දියවැඩියා රෝගය ඇතිවී වසර 15 ක් 20 ක් පමණ ගතවූ පසුවයි වකුගඩුවලට බලපෑමක් ඇතිවන්නේ. ඒ නිසා දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමටත්, දැනටමත් දියවැඩියාව ඇත්නම් එය පාලනය කරගැනීමටත් ක්‍රියාකිරීම ඉතා වැදගත්. එසේ නොවුණහොත් සිදුවන්නේ වකුගඩු අක්‍රිය තත්ත්වයට පත්වීමයි. වකුගඩු අක්‍රිය වූ විට යන්ත්‍රානුසාරයෙන් දින කීපයකට වරක් රුධිරය පිරිසුදු කිරීමට හෝ වකුගඩු බද්ධ කිරීමක් සිදු කිරීමට හෝ සිදු වෙනවා. මෙම ක්‍රියාවන් දෙකට විශාල මුදලක් වැය වෙනවා.

“දියවැඩියාව සඳහා දෙනු ලබන ඖෂධ දීර්ඝ කාලයක් ගැනීම නිසා වකුගඩු අකර්මණ්‍ය වෙනවා” යන කියමනේ සත්‍යතාවයක් තිබෙනවා ද?

එම කියමනේ කිසිඳු සත්‍යතාවයක් නෑ. දියවැඩියාව පාලනය කිරීමට ඉතා අගනා ඖෂධ වර්ග ගණනාවක්ම යොදා ගන්නවා. ඒ කිසිඳු ඖෂධයකින් වකුගඩුවලට කිසිඳු හානියක් සිදුවන්නේ නෑ. දියවැඩියාවට ලබාදෙන මෙට්ෆෝමීන් නම් ඖෂධය පිළිබඳව ඇතැමුන් බොරු බියක් දක්වනවා. එම ඖෂධය පිළිබඳව කිසිඳු බියක් ඇතිකර ගත යුතු වන්නේ නෑ. වකුගඩුවලට ආබාධ ඇතිවන්නේ නියම අයුරින් රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරගන්නේ නැතිනම් පමණයි.

වකුගඩු රෝගයේ ස්වභාවය, රෝගය තිබෙන තත්ත්වය අනුව දියවැඩියාවට ලබාදෙන යම් යම් ඖෂධ ලබාදීමට නොහැකි වෙනවා. එය රෝගයේ ස්වභාවය අනුව වෛද්‍යවරයා ගනු ලබන තීරණයක්.

දියවැඩියා රෝගීන් තම පාද පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ඒ; අන් පුද්ගලයින්ට වඩා දියවැඩියා රෝගීන්ට තම පාද අහිමි වීමේ හැකියාව වැඩි නිසයි. එසේම කිසියම් රෝගියකුට එක් පාදයක් අහිමි වුවහොත් එම රෝගියාට අනෙක් පාදය අහිමි වීමේ හැකියාව ද වැඩියි. මේ නිසා පාදයක් අහිමි වීම දියවැඩියා රෝගියකුගේ ජීවිත කාලය කෙටි වීමට ද හේතු වන බව පැහැදිලියි. “දියවැඩියා රෝගය නිසා පාදයක් අහිමි වීම පිළිකා රෝගයට සමානයි” කියන්නේ ඒ නිසයි. ක්‍රම ගණනාවකටම දියවැඩියා රෝගය පාදවලට බලපෑම් ඇති කරනවා.

දියවැඩියාව නිසා පළමුව බලපෑම් ඇතිවන්නේ පාදවල තිබෙන ස්නායුවලට. එහි ප්‍රතිඵලය වන්නේ පාදවල හිරි ගතියක් ඇතිවීමයි. එම හිරි ගතිය එන්න එන්නම වැඩි වෙනවා. මෙම තත්ත්වය මුලදී දක්නට ලැබෙන්නේ පාදවල ඇඟිලිවලයි. පසුව ටිකින් ටික එය පාදවල මුලට වර්ධනය වීමට පටන් ගන්නවා. මෙම තත්ත්වයට පත්වූ විට රෝගීන්ට තමා පැලඳ සිටින සෙරෙප්පුව පිළිබඳව දැනීමක් නැතිව යනවා. එම සංඥාවෙන් පෙන්වන්නේ එම පුද්ගලයාගේ පාදවල හිරි ගතිය වර්ධනය වී ඇති බවයි. වෛද්‍යවරයකු විසින් සෑම රෝගියකුගේම දියවැඩියාව නිර්ණය කරන මුල් අවස්ථාවේදීම, පාද පරීක්ෂාවට ලක් කරනවා. මෙය ඉතාම සරල පරීක්ෂණයක්. මෙම පරීක්ෂණයෙන් රෝගියාගේ පාදවල හිරි ගතියේ ස්වභාවය හඳුනා ගැනීම ඉතාම වැදගත්.

දියවැඩියා රෝගීන්ගේ පාද වියළි ස්වභාවයක් ගන්නේ ඇයි?

රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම නිසා ස්නායු පද්ධතියේ තවත් එක් විශේෂ අංශයකට බලපෑම් ඇති කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ පාදවල වියළි ස්වභාවයක් ඇතිවීමයි. එසේම පාද යම් පමණකට ඉදිමීමකට ද ලක් වෙනවා. මෙහිදී පාද වියළීම නිසා පාද පැළී එම සිඳුරුවලින් පාද තුළට විෂබීජ ඇතුළු වී ආසාදන තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තිබෙනවා. එසේම සපත්තු පලඳින රෝගියකුට පාද ඉදිමීම නිසා සවස් කාලයේ සපත්තු පැලඳ සිටීම අපහසු වෙනවා. එලෙස පාද ඉදිමීම නිසා ඇඟිලි සපත්තුව තුළ තෙරපීමෙන් ඇඟිලි තුවාල වීමට ඉඩ තිබෙනවා. එක් පැත්තකින් පාද ඉදිමීම නිසා පාදවල තුවාල ඇති වෙනවා. ඊට අමතරව පාද පැළීම නිසාද පාදවල තුවාල ඇති වෙනවා.

මීට අමතරව පාදවල රුධිරවාහිනී අවහිර වීම නිසා ද පාදවලට රුධිරය සැපයීමේ යම් අඩුවක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම රෝගීන්ට ඇවිදින විට වේදනාවක් ඇතිවිය හැකියි. දුම්පානය කරන්නන් අතර එම තත්ත්වය වැඩියි. එක් පැත්තකින් පාද හිරි වැටීම නිසා පාදවලට දැනීම නැතිවීම, අනෙක් පැත්තෙන් පාද ඉදිමීම නිසා පාද පැළීමට ලක්වීම තවත් අතකින් පාදවලට රුධිරය හොඳින් නොලැබීම යන කරුණු නිසා දියවැඩියා රෝගීන්ගේ පාදවල තුවාල ඇතිවීමේ හැකියාව වැඩියි. එසේම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම නිසා පාදවල ඇඟිලි අතර දිලීර වර්ධනය වීමට ද ඉඩ තිබෙනවා. එලෙස දිලීර වර්ධනය වීම ද පාදවල තුවාල ඇතිවීමට හේතුවක්. මේ කරුණු සලකා බලන විට දියවැඩියා රෝගීන්ගේ පාදවල තුවාල ඇතිවීමේ හැකියාව ඉතා වැඩි බව පැහැදිලියි. එලෙස බොහෝ තුවාල ඇතිවන්නේ රෝගියා නොදැනීමයි. එයට හේතුව පාද හිරි වැටීමයි.

පාදවල හැඩයේ කිසියම් වෙනසක් ඇතිවීම දියවැඩියා රෝගයේම ප්‍රතිඵලයක් ද?

ඔව්. එය සිදුවන්නේ දියවැඩියා රෝගය ස්නායු පද්ධතියට බලපෑම් කරන නිසයි. දියවැඩියා රෝගයේ බලපෑම නිසා පාදවල ස්නායු දුර්වල වී පාදවල හැඩය වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම නිරෝගී අයකු සෑහෙන වේලාවක් සිටගෙන සිටින විට පාදවලට වේදනාවක් දැනෙනවා. එවිට කිසියම් සහනයක් ලබාගැනීම සඳහා හිඳ ගැනීමට හෝ සිටගෙන සිටින ඉරියව්ව වෙනස් කිරීමට එම පුද්ගලයා පෙලඹෙනවා. එය අප නොදැනීම සිදුවන ක්‍රියාවක්. එම නිසා නිරෝගී පුද්ගලයකු එක දිගට සෑහෙන වේලාවක් සිටගෙන සිටියත් එම පුද්ගලයාගේ පාදවල වෙනසක් සිදුවන්නේ නෑ. නමුත් දියවැඩියා රෝගීන්ට මෙය ගැටලුවක් වෙනවා.

දියවැඩියා රෝගය පාදවලට බලපා ඇති රෝගියකු කෙතරම් වේලාවක් සිටගෙන සිටියත් පාදවලට කෙතරම් පීඩනයක් වැටුණත්, එම පුද්ගලයා තම පාද ඉවත් කරගන්නේ නෑ. ඒ, පාදවලට වේදනාව නොදැනීම නිසයි. මෙහිදී පාදවල යටි පතුල්වලට පීඩනය වැඩිවන ස්ථානවලදී සම ගන වෙනවා. ඇතැමුන් මෙය ගල් තැළුම් ලෙස හඳුන්වනවා. මෙය ද පාදවල තුවාල ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

දියවැඩියාව නිසා පාද රෝගී අයකු පන්සලකට හෝ වෙනත් දේවස්ථානයකට අව් රශ්මිය වැඩි දහවල් කාලයේ ගියා යැයි සිතන්න. එහිදී ඔහුට ඇවිද යන්න වෙන්නේ රත්වූ වැලි පොළොවක හෝ රත්වූ ගල් තලාවක විය හැකියි. පාවහන් ගලවා එසේ රත්වූ පොළොවේ ගමන් කරන විට එම පුද්ගලයාගේ පාද පිලිස්සීමට ඉඩ තිබෙනවා. ඒ පාදවලට පොළොවේ, රස්නය නොදැනීම නිසයි. දියවැඩියා රෝගයේ ප්‍රතිඵලයක් හැටියට පාදවල ස්නායු අකර්මණ්‍ය වීම නිසා පාද සංවේදී නොවීම මෙයට හේතුවයි. එහි ප්‍රතිඵලය ලෙස යටි පතුල සම්පූර්ණයෙන්ම පිලිස්සී යා හැකියි.

පාදවල තුවාල ඇතිවීමට ඉහත කරුණු සියල්ලම හේතු වෙනවා. පාදවල තුවාල ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස පාදවල ස්නායු හොඳින් ක්‍රියා කරන්නේ නැතිව යනවා. එසේම පාදවල රුධිර නාළිකා, ස්නායු අක්‍රිය වීම පාදවලට හොඳින් රුධිරය නොලැබී යාමට හේතුවක්. එසේම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම නිසා තුවාලය සුවපත් වීම ප්‍රමාද වෙනවා. පාදයේ තුවාලය සුව වුණේ නැතිනම්, එය පාදය අහිමි වීමට පවා හේතුවක් වෙනවා. එක් පාදයක් මෙම තත්ත්වයට පත්වූ විට අනෙක් පාදයටත් බොහෝ විට මේ දෙයම සිදුවීමේ හැකියාව වැඩියි.

දියවැඩියා රෝගීන් පාදවල නියපොතු රවුමට කැපීම නුසුදුසු ඇයි?

දියවැඩියා රෝගීන් පාදවල නියපොතු කැපිය යුත්තේ කෙළින් සිටින ආකාරයටයි. රවුමට නොවේ. රෝගියාට තම නියපොතු කපා ගැනීම අපහසු නම්, වෙනත් අයකුගේ උදව් ලබාගත යුතුය. නියපොතු රවුම් ලෙස කැපීම නිසා නියපොතු අග්ගිස්ස ඇතුළට වර්ධනය වෙනවා. එවිට ඇඟිලි තුවාල වී ආසාදන තත්ත්වයන් මතුවීමට ඉඩ තිබෙනවා.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all