Photobucket

Sunday, December 23, 2012

මාතලේ ගස් ගිලා බැස්සේ යටින් යන උමං ගඟ නිසාද

මධ්‍යම කඳුකරයේ සිට නැඟෙනහිර පළාත දක්වා ගලා යන උමං ගංගාවේ කතාව මහජනයා අතර ප්‍රකටව ඇත්තකි. මාතලේ ප්‍රදේශය හරහා එම උමං ගංගාව ගලා යන්නේ යැයි කියන මතය ද විවිධ හේතු මත තහවුරු වී ඇති බවත් පෙනෙන්නට තිබේ. මාතලේ ප්‍රදේශ ගණනාවක් එක්කරන පරිදි උකුවෙල - දොරකුඹුර පලාබද්දල හා නාලන්ද යන ප්‍රදේශ යා කරමින් පවතින නොසිඳෙන දිය උල්පත් මෙන්ම වර්ෂා සමයේදී එම ප්‍රදේශ යාකරමින් දිගින් දිගටම සිදුවෙන භූමිය ඉරිතලා යෑම් හා ගිලාබැසීම් ද මහජනයා අතර උමං ගංගාවක කතාව වරින් වර ඉස්මතුවීමට හේතු වී තිබේ.

ඒ අතරට එක්වූ අලුත්ම සිද්ධිය වූයේ මාතලේ නගරාසන්න තොටගමුව දොරකුඹුරේ දුම්කොළ වත්ත ප්‍රදේශයේ පසුගියදා සිදුවූ පොළොව ගිලා බැසීමයි. මෙම ගිලාබැසීමෙන් අඩි 30ක් පමණ පළල් වූ ආවාට දෙකක් නිර්මාණය වී තිබේ. විශාල කොස් ගසක් හා කිතුල් ගසක් එහි ගිලී යෑමෙන් ඒ ආවාට දෙකේ ගැඹුර අඩි 60ක් 70ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. මේ ආවාට දෙක පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානි එම්.සී.යූ.බී.මොරේමඩ මහතා පියවර ගෙන තිබේ.

ගිලාබැසීමට ලක්වූ භූමිය අයත් විශ්‍රාමික පොලිස් නිලධාරි, ටී.බී.හපුගොඩ මහතා එම සිදුවීම විස්තර කළේ මෙසේය.

”අධික වර්ෂාවත් සමඟ අපි ටිකක් අවධානයෙන් ඉන්නේ. පසුගිය 17 වැනිදා සවස 3.30ට විතර තමයි පළමු ගිලාබැසීම සිදුවුණේ. ලොකු කොස් ගසක් පහළට කිඳා බැහැලා විශාල ආවාටයක් සෑදී තිබුණා. අඩි 20ක් 25ක් විතර පළල වළක් සෑදී තිබුණා. ඊට පස්සේ 18 වැනිදා පාන්දර තමයි කිතුල් ගස කිඳා බහිමින් අනිත් වළ සැදුණේ. පාන්දර 3.30ට විතර තමයි එය සිදුවුණේ.”

නිවස ආසන්නයේම සිදුවී ඇති මෙම ගිලාබැසීම් නිසා නිවස තුළ සිදුවූ පිපිරීම් ද දකින්නට තිබේ. මෙවැනි පිපිරීම් හා සුළු ගිලාබැසීම් වරින් වර දුම්කොළ වත්ත ප්‍රදේශය ආශ්‍රිතව වැසි කාලවලදී සිදුවූ බව ද එම ප්‍රදේශවාසීහු පවසති.

මේ සිදුවීම පිළිබඳව එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදුකිරීමට මාතලේ දිසා භූවිද්‍යා අංශයේ විශේෂඥ එම්.සී.යූ.බී.මොරේමඩ මහතා පියවර ගත්තේය.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ මොරේමඩ මහතා,

”මේ ප්‍රදේශයේ පොළොව යට හුණුගල් ස්ථරයක් පවතිනවා. එම හුණුගල් තට්ටු දිරා කුහර තුළින් ජලය පොළොව යටට යෑමෙන් තමයි මෙවැනි තත්ත්ව ඇතිවන්නේ. දුම්කොළ වත්ත ප්‍රදේශය පමණක් නොවෙයි මාතලේ නාගොල්ල, උකුවෙල ආදි ප්‍රදේශ ගණනාවකම පවතින අවධානම් තත්ත්වය ගැන පරීක්ෂණ කර තොරතුරු අපි හෙළිකර ගෙන තිබෙනවා.

මාතලේ හරහා ගලා බසින උමං ගංගාවේ බියකරු සිතුවිල්ල ධාරාණිපාත වැසි මාතලේ පුරවරයට ඇදහැලෙන මොහොතක් පාසා මාතලේ ජනතාව ගේ සිත්සතන් කලඹන සිදුවීමක් වී ඇති බව ඔවුන්ගේ කතාබහෙන් වැටහේ. භූමිය තුළ එක එල්ලේ වරින් වර සිදුවෙන ගිලාබැසීම්, පිපිරීයෑම්, දිය උල්පත් මතුවීම හා නොසිඳෙන දිය උල්පත් උමං ගංගාවේ කතාව සනාථ කරන සාධක වී ඇතැයි බොහෝ දෙනා පවසති.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all