Photobucket

Sunday, December 23, 2012

හද්දා පිටිසර ඉස්‌කෝලය....

ඉහළම ඵලදායිතා සම්මාන දිනූ 

 එක්‌වරම මහ වනපෙතින් ඇසුණේ එකපිට එක පත්තු වන වෙඩි හඬවල් රැසකි. ඒ සමගම හෙණ හඬක්‌ නංවමින් පිපිරී ගිය මෝටර් උණ්‌ඩයකින් මුළු පරිසරයම දෙදරුම් කන්නට විය. කෙත් යායක වසා සිටි සුදු කොක්‌කු රෑනක්‌ බියට පත් ව ඔබ මොබ පියාසර කරන්නා සේ බියට පත් වූ පාසල් දරුවෝ ද පාසල් වත්ත පුරා දුව යන්නට වූහ. ඇතමුන් පාසල් වත්තෙන් එපිට ලඳු කැලෑවක්‌ තුළ සැඟව ගියහ. ඇතමෙක්‌ පාසල් වත්තේ සකස්‌ කර තිබුණු බංකරයකට රිංගා ගත්හ. කාලය මොහොතක්‌ ගෙවී යන ලදී. දැන් පරිසරය නිහඬ ය. වනපෙත තුළින් පුංචි පාසල් දරුවෝ සෙමින් සෙමින් එළියට එති. බංකර් තුළට රිංඟූ සිසුවෝ ද ඉන් එළියට ඇදුණේ අනතුර පහව ගිය බව දැනුන නිසාවෙනි. පංති කාමරය පුරා පොත්, පෑන්, පැන්සල් විසිරී ඇත්තේ පුංචි දරුවන් කැල පොත් පත් ද අතහැර දමා පණ බේරා ගන්නට දිව ගිය හෙයිනි.

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මහා වන පෙතකට මායිම්ව තිබෙන පන්නල්ගම විදු පියසට පසුගිය සමයේ කුරිරු රුදුරු වූ ත්‍රස්‌තවාදීන්ගේ තර්ජන අත් විඳින්නට සිදුවූයේ මෙවැනි වූ ඉරණමකි. කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධානතම කඳවුරක්‌ වූ කන්චිකුඩිආරු කඳවුර මෙම පන්නල්ගම ආසන්නයේ වෙම්විඅඩිය වන පෙතේ වීම නිසා පන්නල්ගමට සහ ඊට සැතපුම් 06 ක්‌ දුරකින් පිහිටි බක්‌මිටියාව ගම්මානයට ද විටින් විට එල්ල වූ තිරිසන් කොටි පහරදීම්වලින් කිසිදු අඩුවක්‌ නොවිණි. එලෙසින් ලේ පිපාසිත වන මෘගයන්ගේ සිත් පිත් නැති අවියෙන් පන්නල්ගම විදු මෑණියන්ගේ සෙවණේ අකුරු කළ 15 දෙනෙක්‌ පමණ වූ පුංචි මල් කැකුළු මරු තුරුලට ගියහ.

සිසුන් 300 කට අධික ප්‍රමාණයක්‌ අකුරු කළා වූ මෙම සිප්හලට නවක විදුහල්පතිවරයා වශයෙන් චමින්ද සුසාන් පණ්‌ඩිත මහතා 2002 වසරේදී පත්වෙද්දී පාසලේ නිසි ක්‍රමවත් බවක්‌ නොතිබිණි. පාසල් වත්තට ආරක්‍ෂිත වැටක්‌ නොවුණ හෙයින් ද විදු බිම මැදින් වැටුණු අඩිපාරවල් රැසක්‌ විය. කෙසේ හෝ පාසල් වත්ත වටේට ඉක්‌මණින් වැට ගැසිය යුතුයි. විදුහල්පතිවරයා තනිව කල්පනා කරන්නට වූවේය. ලංකාවේ පාසල් උදැසන 7.30 ට ආරම්භ වී සවස 1.30 ට නිමා වෙද්දී පන්නල්ගම විදු මාතාව වැඩ කටයුතු ඇරඹුවේ උදැසන 8.00 ට ය. වැඩ නිම කළේ ප. ව. 2. ට ය. ම්ලේච්ඡ ත්‍රස්‌තයන්ගෙන් දිගින් දිගටම එල්ල වන ත්‍රස්‌තවාදී තර්ජන නිසා වනපෙතේ සැඟවී හෝ එසේත් නැත්නම් වෙනත් ආරක්‍ෂිත ස්‌ථානවලට යන සිසුහු නිවෙස්‌වලට ගොස්‌ නැවත පාසලට ඒමට පමාවීම නිසා මෙලෙස පාසල 8.00 අරඹන්නට සිදුවිණි.

කොහොමෙන් කොහොම හෝ නවක විදුහල්පතිවරයාට පාසලේ වැට සකසා ඒ මැදින් ගිය අතුරු මාර්ග ටික නවතා දමන්නට හැකි විණි. නියං සමයේ අව් කාෂ්ටෙ ගස්‌ කොළං විසිරී ගොස්‌ පරඬල් බවට පත්වන පාසල් පරිසරය ප්‍රාථමික සිසුන්ගේ විෂය නිර්දේශයට අනුව අලංකාර ලෙස සකසා ගත්තේ කෙසේද? ගුරු මණ්‌ඩලය සමඟ සාකච්ඡා කරමින් ඔහු ටිකෙන් ටික ඒ සඳහා උත්සාහ ගන්නට වූවේය. ටිකෙන් ටික පංති කාමර ද සිසුනගේ නිපුනතාවයන් වර්ධනය වන ලෙස හා ප්‍රියමනාප ලෙසින් පංති කාමර ද සැකසීම ඇරඹිණි.

විදුහල්පති චමින්ද සුසාන් පණ්‌ඩිත මහතාහට ඒ අතර වාරයේ තවත් විටින් විට ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවිය. කොටි ප්‍රහාරයක්‌ එල්ල වූ සැනින් ආරක්‍ෂාව පතා ගම්වැසියන් පාසලට දිව එති. විටක ආරක්‍ෂාව පතා එන අයට දින ගණන් සහන කඳවුරක්‌ වන්නේ ද මෙම විදුහලයි. එවන් දිනවල පාසල වසා දමා ගම්වාසීන්ට රැකවරණය ලබා දෙන්නට සිදුවීම නිසා පාසලේ දෛනික කටයුතුවලට බාධා එල්ල වන්නට විය. ඒ අතරම මෙම සිසු දරුවන්ගේ මානසික මට්‌ටම වර්ධනය කරලන්නට කොටි භීතිකාව ඉමහත්ම ගැටලුවක්‌ බවට පත්ව තිබිණි.

දැන් මේ සියලු බාධක ජයගෙන ටිකෙන් ටික පාසල් පංති කාමර මෙන්ම එළිමහන් ද වියළි පොළොව වසා ගස්‌ සරුවන් ගසින් පිරී යති. වෙනදා මෙන් වියළී ගිය පරිසරයට නොපැමිණෙන නානා මාදිලියේ සමනල සේනාවෝ මෙන්ම සියොත් කැල ද පැමිණ මිහිරි ගීත ගයද්දී පුංචි දරුවෝ ඉමහත් වින්දනයක්‌ ලබන්නට වූහ. පාසලේ සිසුන්ගේ සහ ගුරුවරු මව්පියවරුන්ගේ දැතින් කොම්පෝස්‌ට්‌ පොහොර යොදා බීජ වර්ග සරු පසේ සිටවෙද්දී උඩරටට පමණක්‌ වැවිය හැකි යෑයි කියූ බෝංචි, කැරට්‌, ගෝවා පවා මෙම කර්කෂ පරිසරයේ ආඩම්බරයෙන් මෙන්ම වැවෙන්නට වූහ.

පන්නල්ගම ස්‌කෝලේ මල් ඉන්දල, අනවශ්‍ය වැඩ කරනවා. මොනවටද ඕව කරන්නේ යනුවෙන් විදුහල්පතිවරයා හා ගුරු මණ්‌ඩලයේ මෙම වෙනස්‌ වැඩසටහනට අකමැති වූ දෙමවුපියෝ තම දූ දරුවන් මෙම පාසලින් අස්‌කර වෙනත් පාසල්වලට දමන්නට වූහ. නමුත් මෙයින් කිසිදු කලබලයකට පත් නොවී විදුහල්පතිවරයා ඔහු කරගෙන පැමිණි කාර්ය නොනවත්වාම නොසැලී කරලන්නට වූවේය. මුලදී ගුරු මණ්‌ඩලය ද සියල්ලෝම මේ සඳහා ප්‍රබල දායකත්වයක්‌ ලබා නොදුන්නද, දැන් දැන් සියල්ලෝගේම දායකත්වය විදුහල්පතිතුමන්ට ලැබෙන්නට විය.

ඇතැම් දෙමවුපියන් මෙම වැඩසටහන දැඩි අවඥාවට ලක්‌ කළත් ඔහුට මුල සිටම ඉගෙනුම් පරිසරයක්‌ නිර්මාණය කරලන්නට දායකත්වය දෙන්නට දෙමවුපියෝ රැසක්‌ම සූදානම්ව මහ රෑ පවා නිසි සහාය වෙහෙස මහන්සි වී ලබා දෙන්නට වූහ. මේ තත්ත්වය මත අම්පාර අධ්‍යාපන කලාපයේ අලංකාර පාසලක්‌ බවට සිසුනට ප්‍රිය වූ විදුබිමක්‌ වශයෙන් සෙමින් සෙමින් පා ඔසවන්නට විය. මේ කාර්යය සඳහා එවකට අධ්‍යාපන බලධාරීන්ගේ ද නිසි සහයෝගයක්‌ නොලැබුණු අවස්‌ථා ද ඒ අතරම තිබිණි.

ගව රෑන සහ බලු බළල් සේනාවලින් පිරී ගිය වැසිකිළි ගඳ දසත විසිරුණු පවිත්‍රතාවය අල්ප වු අම්පාර මහා රෝහල පරිවර්තනයකට ලක්‌ කරමින් රෝගීන්ගේ මනස සුවපත් කරලන්නට ඉතා දැකුම්කළු ප්‍රියමනාප පරිසරයක්‌ සකස්‌ කරමින් රෝහල නවීකරණය කොට අසරණ ගිලනුන් උදෙසා අම්පාර රෝහල සැබෑ වෙනසකට ලක්‌ කර ඵලදායිතා සම්මාන පිට සම්මාන ලබා ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීමේ පුරෝගාමී චරිතය වූ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා දිනක්‌ දේශනයක්‌ පැවැත්වීම සඳහා මෙම පාසලට පැමිණෙන ලදී. එම අවස්‌ථාවේ පාසල ගොඩ නඟන්නට සහ අවට පරිසරය ද සිසුනට උචිත ලෙස ගොඩනඟන්නට ගුරු මණ්‌ඩලය හා සිසුන් විදුහල්පතිවරයා සමග එක්‌ව කටයුතු කරන ආකාරය දැක විදුහල්පති චමින්ද සුසාන් මහතාට උපදෙස්‌ හා මග පෙන්වීම සිදුÊකරලන්නට වූවේය.

ඒ අනුව තමාගේ ශක්‌තිය ධෛර්යය අනුව ක්‍රියා කළ ඔහු එම කාර්ය තව තවත් වේගවත් හා ක්‍රමවත්ව කරන ලදී. තැන් තැන්හි සිසුන්ට අවැසි වැකි එල්ලෙන්නට වූහ. අලංකාර පියෙසි ඉදි වී ඒ තුළ සිසුනට වදන් සහ චර්යාමය වෙනස්‌ ඇති කරන වදන් ලියවිණි. වියළි පස හාරා අලංකාර පොකුණු කෘතිමව සැකසෙද්දී එතුළ මහත් ආඩම්බරයෙන් ඕලු, නෙළුම්, මානෙල් පුෂ්පයෝ සුවඳ විහිදවන්නට වූහ. පාසල් කාල සීමාව තුළදී අධ්‍යාපන කටයුතු සිදු කරන අතර ලද ඉසිඹුවෙන් ප්‍රයෝජනය ගත් සිසු දරුවෝ පාසල් ගෙවත්ත අලංකාර කරන්නට වූහ. සැදැ සමයේ ද නැවත පාසලට පැමිණෙන ඔවුන් වගාවන් සඳහා අවැසි කටයුතු කරන්නට වූයේ පරිසරයේ චමත්කාරය ද විඳ ගනිමිනි. පාසල අලංකාර වෙමින් පැවතිය ද සෑම නියං සමයේදී ම පත්වන ජල හිඟයට මුහුණ පාන්නට වන්න. එනිසා දෙමවුපිය සහයෝගය මත විශාල ළිඳක්‌ සාදා එම ගැටලුවට විසඳුම් සොයා ගැනීමට හැකිවීම ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. අවට පරිසරය මේ අයුරින් වෙනසකට ලක්‌ වෙද්දී පාසල් පංති කාමරය ද පරිවර්තනයට ලක්‌ වන්නට වූහ. ඒ අනුව සිසුන්ගේ චර්යාමය වෙනසක්‌ ද සිදුවෙමින් පැවතිනි. පාසල් වේලාවන්වලින් පසුව ද ගුරුවරු සිසුන් සමඟ හරි හරියට වැඩ කළහ. වළවල් හෑරූහ. ගල් ඔසවාගෙන විත් බැමි බැඳීය.


මේ සියලු වැඩ සඳහා විදුහල්පතිවරයාගේ දැතේ ශක්‌තියත් සෑම විටම එකතු විය. ඊට අමතරව අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සවස්‌ කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ ද ගුරු මෑණිවරුන් සහ පියවරුන්ගේ වටිනා කාලය කැප කරමින් නගරයෙන් ඈත ටියුෂන් පංති යැමට දුෂ්කර මෙම සිසු දරුවන් උදෙසා නොමිලයේ උපකාරක පංති ද පැවැත්විණි.

අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතාගේ මග පෙන්වීම අනුව ජාතික ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් පැවැත්වූ 2009 ජාතික ඵලදායිතා සම්මාන තරගය සඳහා පාසල ඉදිරිපත් කෙරිණි. ඒ අනුව නැඟෙනහිර පළාතින් ප්‍රථම ස්‌ථානය සහ ජාතික ඵලදායිතා 2 වැනි ස්‌ථානය ද ලබා ගන්නා ලදී. ඉන් ලද අත්දැකීම්වලින් තව තවත් ශක්‌තිමත් වෙමින් විදුහලේ ඵලදායිතාව උදෙසා ඔවුහු වැඩි වැඩියෙන් ඇප කැප වූහ.

යුද්ධය නිමා වීමට මාස කිහිපයක්‌ තිබියදී මෙම විද්‍යාලයේ 04 ශ්‍රේණියේ සිසු දරුවකු පියාත් සමගම වෙඩි තබා මරා දැමීම නිසා මුළු විද්‍යාලයම කඳුළෙන් තෙත් වූහ. මේ අයුරින් විවිධ බාධා හැල හැප්පීම් හා දුෂ්කරතා මැද පාසලේ කටයුතු තවදුරටත් සිදුවිණි. අපිව මේ ජාතික ඵලදායිතා සම්මාන වැඩසටහන සඳහා මුලින්ම යොමු කළේ අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතායි. අපිට සිදු කිරීමට වුවමනා වූයේ පරිසර තේමාවන්ට අනුව ඉගෙනුම් පරිසරයක්‌ නිර්මාණය කිරීමයි. ඒ අනුව අපි ඒ කටයුතු ආරම්භ කළා. විවිධ බාධක පැමිණුනත් ඒවා මර්දනය කර සාර්ථකත්වයට යැමට හැකි වුණා. අපේ බාහිර පරිසරය ඉතා අලංකාරයි. නමුත් ඒවාට ලකුණු 1000 කින් 180 යි ලැබුණේ. ජාතික ඵලදායිතා සම්මානය ප්‍රදානයට තෝරා ගැනීමේදී ලකුණු 1000 කින් 820 ක්‌ ම ලැබෙන්නේ ඉගෙනුම් පරිසරයට හා අධ්‍යාපන ක්‍රියාවලියට හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට. අපි විවිධ පර්යේෂණයන් සිසුන්ගේ අධ්‍යාපනය යහපත් කිරීමට සිදු කළා. සෙමින් ඉගෙන ගන්නා සිසුන් අනෙක්‌ සිසුන්ගේ මට්‌ටමට ගැනීමට වැඩ සටහනක්‌ සකස්‌ කළා. අම්මා, තාත්තා අහිමි ළමයින්ගේ මානසික මට්‌ටම යථා තත්ත්යට ගෙන ඒමට වැඩපිළිවෙලක්‌ සිදු කළා. ඒ අතරම විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට කටයුතු කළා. ඒ ආකාරයෙන් විශාල පර්යේෂණ ප්‍රමාණයක්‌ සිදු කළා. සැබැවින්ම මේ සියලු ජයග්‍රහණයන් අප සැමගේ සාමූහික බවේ ප්‍රතිඵලයක්‌. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ සහනය ලැබුණා යෑයි ද පන්නල්ගම විද්‍යාලයේ විදුහල්පති චමින්ද සුසාන් පණ්‌ඩිත මහතා 'දිවයින'ට අදහස්‌ දක්‌වමින් පැවසුවේය.

මේ වන විටත් ලංකාව පුරා විදුහල්පතිවරුන් දහසකට වැඩි පිරිසක්‌ මෙම පාසල නැරඹීමට පැමිණ ඇත. ඊට අමතරව පාසල් සිසුන් සහ විවිධ රාජ්‍ය ආයතන ද විශාල ප්‍රමාණයක්‌ ද මෙම පාසල නැරඹීම සඳහා පැමිණෙමින් සිටිති. එවන් පසුබිමක්‌ යටතේ 2010 සහ 2011 වසරේ ජාතික ඵලදායිතා සම්මානය සඳහා පන්නල්ගම විද්‍යාලය ද ඉදිරිපත් වූ අතර, එහි සම්මාන ප්‍රදානය කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ලංකාවේ සියලුම පාසල් අභිබවා යමින් ඒ ශ්‍රේණියේ සම්මානයක්‌ ලබමින්, ප්‍රථම ස්‌ථානයට හිමි සම්මානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සුරතින් ලබා ගන්නා විට එහි සිටි පන්නල්ගම විදු පියසෙහි ගුරු කැලගේ හා සිසුනගේ දෙනෙතට සතුටු කඳුළු නැඟෙන්නට විය. ඒ වසර ගණනාවක සිට හෙළුE දහඩියවලට සහ කෙරූ කැප කිරීම්වලට ඉහළම ප්‍රතිඵලයක්‌ ලැබුණු හෙයිනි.

අම්පාර මහා රෝහල, උඩවලව ග්‍රාමීය රෝහල, දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලය, අගලවත්ත සී. කේ. වී. ඇපරල් ආයතනය, දඹුල්ල හිල්ටන්ස්‌, කංඩලම හෝටලය සහ ඌරුබොක්‌ක බෙරලපනාතර සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය යන ආයතන 06 ද ඒ ශ්‍රේණියේ සම්මාන ලබා අනෙකුත් අංශවලින් ප්‍රමුඛ ස්‌ථාන ලබා ගනිද්දී ඒ ශ්‍රේණියේ සම්මානයක්‌ ලබාගත් එම ආයතනයන් ද අභිබවාලමින් ඒ ශ්‍රේණියේ ප්‍රථම ස්‌ථානය ද ලබා ගැනීම නගරයෙන් ඈත දුෂ්කර ගම් පියසක පිහිටා ඇති පුංචි පාසලකට ලබා ගැනීමට හැකිවීම සැබවින්ම සතුටට කරුණකි.

අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩග්ලස්‌ රණසිංහ මහතා, සැලසුම් අධ්‍යක්‍ෂිකා එස්‌. ආර්. හසන්ති මහත්මිය, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ සුනිල් ගුණතිලක මහතා, දමන කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ ප්‍රේමරත්න මහතා ඇතුළු සහාය දුන් අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ හා දමන කොට්‌ඨාසයේ නිලධාරීන්ට ද පාසල් සංවර්ධන සමිතියේ ලේකම් සුමතිපාල පෙරේරා මහතා ඇතුළු සියලුම දෙමව්පියන් ඇතුළු උදව් උපකාර කළ සියලු දෙනාටත්, අම්පාර ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ටද දැක්‌වූ සහයෝගය වෙනුවෙන් ස්‌තුතිය පිරිනමන බවද පන්නල්ගම විද්‍යාලයේ විදුහල්පති චමින්ද සුසාන් පණ්‌ඩිත මහතා 'දිවයින'ට වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all