Photobucket

Sunday, December 9, 2012

චන්ද්‍රිකාව හො`දයි! අපේ නම් ගොඩා...ක්‌ හොන්`දා...යි...

අපට පුදුමය. කොපමණ පුදුම දැයි කියනවානම් විටෙක අපට නිවාඩු දමා නිවාඩුපිට පුදුම වන්නට හිතේ. මෙවැනි ආශ්චර්යයන් මෙපමණ ඉක්‌මනට අහන්නට මේ රටේ පුරවැසියෝ සූදානම්ව නොසිටියහ. දැන් රටේ කොඩිය සහිත චීන චන්ද්‍රිකාවක්‌ ඉන්දියන් සාගරයේ ලංකාවට ඉහළින් අභ්‍යාවකාශයේ භූ ස්‌ථායි කක්‌ෂයේ නැගෙනහිර අංශක 87.5 ස්‌ථානයේ ස්‌ථානගත කර තිබේ. දැන් රටේ කොඩිය පිටසක්‌වලට පෙනෙන්නේය. හරිම සිරියාවන්තය. ඉන් උපදිනා ග්‍රහචාරය රටට සුබපල ගෙනෙන්නටත් ඉඩ තිබේ. 

ගෙදරට එනතුරු බස්‌එකේ රෝද ගැලවී නොයනු ඇතැයි වගවිය නොහැකි බස්‌වල උදේ හවස පැක්‌වී යන එන අපට, ඕනෑම මොහොතක මග නැවතීමේ ඉඩකඩ සහිත දුම්රියේ යථාර්ථය පිළිගැනීමට සූදානම් තරම් උපේක්‌ෂා සහිත අපට අප වෙනුවෙන්, අපේ රටේ ජාතික කොඩියත් රැගත් රොකට්‌ එකක්‌ අභ්‍යාවකාශයට යවනවා යෑයි අසන්නට ලැබීමත් මොනතරම් අසිරියක්‌ දැයි ලෝකයට තේරෙන්නේ නැත. එහෙව් උත්තුංග කටයුත්තක්‌ රට වෙනුවෙන් කරන්නට කැප වන්නේ රජයටත් ඔබ්බෙන් සිට රට ගැන සිතනා පුරවැසියන් සහිත පුද්ගලික සමාගමක්‌ වීම අපව ජාත්‍යානුරාගයෙන් මොනතරම් දුරට කම්පනය කරවන්නක්‌දැයි ලෝකය දන්නේ නැත.

එහෙව් නොතේරුම් සහිත මෝඩයෝත්, ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ ක්‌ෂේත්‍රය දික්‌විජය කිරීමට සැරසෙන ආකාරය පිළිබ`ද වූ සුබ නිමිති දරාගත නොහැකි අධිරාජ්‍යවාදී ඉරිසියාකාරයෝත් මේ මොහොත වනවිට මේ උත්කෘෂ්ඨ වෑයම පිළිබ`ද කට කැඩිච්චි කතා කියමින් සිටිති. එවැනි වනචර කතා අපේ සිත් පාරවයි. එහෙත් ඒ කතාවලින් නොපෙළෙනා රට්‌ටු රටේ කොඩිය අභ්‍යාවකාශයට ගිය එක ගැන සතුට දරාගන්නට නොහැකිව හද්දා මඟුල් කති. උන්ගේ ප්‍රමෝදය දෙගොඩ තලා යයි. අප හැමදාම ඉන්නේ රට්‌ටුන්ගේ පැත්තේය. එබැවින් අපේ රොකට්‌ එක හා ඒ සමග ගුවන්ගත වූ චන්ද්‍රිකාව ගැන ලෝකය කියන කතා ඇතුළත් මේ සටහන අප විසින් තබන්නට යෙදෙන්නේ ඒ දෙගොඩතලා යන ප්‍රමෝදයේ කිමිදෙමින් රට අමන්දානන්දයට පත්ව සිටිනා මොහොතකය.

අපේ චන්ද්‍රිකා ගැන කතා

රට වෙනුවෙන් චන්ද්‍රිකාවක්‌ අභ්‍යාවකාශගත කිරීම එසේ මෙසේ කටයුත්තක්‌ නොවේ. හැබෑවටම එය ප්‍රාර්ථනා කර අත්පත් කරගතයුතු ජයග්‍රහණයකි. අවුරුදු ගාණක්‌ තිස්‌සේ පුරවැසියන් ලෙස හැමෝම වින්දනය කළයුතුව තිබූ සිද්ධියකි. ඒත් මේ රටේ ඉරිසියාකාර මාධ්‍යකාරයෝ මේ මහා ප්‍රයාමය අපව පුදුම කරන්නට මෙන් සඟවා තැබූහ. මේ අවුරුද්දේ මුල රෝහිත රාජපක්‌ෂ තරුණ අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවරයා ප්‍රථම ශ්‍රී ලාංකික ගගණගාමියා වීමේ සිහිනය හා ලෝකයේ ලාබලතම ගගණගාමියා වීමේ ඉලක්‌කය ගැන අපට කියා තිබුණේය. රට බලාපොරොත්තු සහිත වූයේය. එහෙත් මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක්‌ ගැන අපේ උදවිය හාංකවිසියක්‌ දැනගෙන සිටියේ නැත.

රටේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යවන්නට ඉදිරිපත් වුන පුද්ගලික ආයතනය

චන්ද්‍රිකාවක්‌ රටේ කොඩියත් රැගෙන අභ්‍යාවකාශයට යන මේ කතාව රටට දැනෙන්නට කල එළි බසින්නේ මීට මාස හයකට පමණ පෙරය. හරියටම උල්කාපාතයක්‌ කඩාවැටෙන්නා වාගේය. වෙබ් අඩවිවල මේ කතාව වාර්තා කරන්නේ පසුගිය මැයි මාසයේය.

රට වෙනුවෙන් රටේ කොඩිය ගසා මුල්ම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමට ඉදිරිපත් වී සිටියේ "සුප්‍රීම් සැට්‌" නම් පුද්ගලික සමාගමය. "සුප්‍රීම් සැට්‌" පුද්ගලික සමාගමේ අධ්‍යක්‌ෂ ආර්.එම් මනිවන්නන්ය. ආයෝජන මණ්‌ඩලයේ අනුමත ව්‍යාපෘතියක්‌ ලෙස මෙම අභ්‍යාවකාශ සන්නිවේදන ක්‌ෂේත්‍රය දික්‌විජය කිරීම සඳහා සැලසුම් කිරීමට පෙර මනිවන්නන්ලාගේ ආයතනය තොග වෙළඳාම කළ ආයතනයකි. මනිවන්නන්ලාම පවසන පරිදි ඔවුන් මුලින් තම ආයතනය පිහිටුවා ගන්නේ විශාල පරිමාණයෙන් වෙළඳ භාණ්‌ඩ තොග වෙළඳාම කරගෙන යන්නටය. යූරියා, ගල් අඟුරු, තාර, පී.වී.සී සහ යපස්‌ වැනි ද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කිරීම, කලාපයේ ප්‍රධාන ආයතන ගණනාවකට සැපයුම්කරුවෙක්‌ ලෙස සේවය ලබාදීම, ප්‍රතිරක්‌ෂණ ආයෝජනය, ඛනිජතෙල් ගවේෂණය කිරීම් හා උපදේශන සේවා සැපයීම, චන්ද්‍රකා යවන කටයුත්තට අතගසන්නට පෙර ඔවුන් විසින් සිදුකර තිබිණි.

කෙසේ වෙතත් ඔවුන් පවසන පරිදි කලාපීය වශයෙන් සිදුකළ ව්‍යාපාරවල සුවිශාල සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර නොවු විරූ විශාල පරිමාණයේ අලුත් දෙයක්‌ කරන්නට ඔවුන් කල්පනා කරන්නේය. අනතුරුව අභ්‍යාවකාශ ක්‌ෂේත්‍රයේ විපුලතාවය දැනගෙන ඒ සඳහා පිවිස ලංකාවේ මුල්ම හා එකම අභ්‍යාවකාශ තාක්‌ෂණ ආයතනය වන "සුප්‍රීම් සැට්‌" ආයතනය නිර්මාණය කරන්නේය. මනිවන්නන් කියන ආකාරයට "සුප්‍රීම් සැට්‌" ආයතනයේ තාක්‌ෂණික උපදේශකවරයා මෙන්ම තාක්‌ෂණික අංශයේ ප්‍රධානියා තරුණ අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවෙක්‌ වන රෝහිත රාජපක්‌ෂය. මනිවන්නන්ගේ ඉල්ලීම පරිදි ඔහු මෙම ව්‍යාපෘතිය සඳහා කාලය කැප කරන්නේ සිය උසස්‌ අධ්‍යාපන කටයුතු මඳකට අත්හිටුවීමෙනි.

මෙම ආයතනය චීන සමාගම් දෙකක්‌ හා එක්‌ව අභ්‍යාවකාශගත කළ බව කියූ පළමු චන්ද්‍රිකාව "සුප්‍රීම් සැට්‌" 1 ය. මේ කක්‌ෂගත කිරීමට ඔවුන් ඩොලර් මිලියන සියයක්‌ හෙවත් රුපියල් කෝටි එක්‌දහස්‌ පන්සියයක්‌ වැය කරන්නේය. පසුව එම ආයෝජනය වසර පහක්‌ තුළ ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය විස්‌සක්‌ හෙවත් රුපියල් කෝටි හාරදහස්‌ අටසියයක්‌ දක්‌වා වැඩිකිරීමට ගිවිසුම් අත්සන් කරන්නේය. ඒ යටතේ 2013 දෙවන කාර්තුවේදී චීනය හා එක්‌ව චීන කක්‌ෂයේ තවත් සන්නිවේදන චන්ද්‍රිකාවකුත් වර්ෂ 2015 වනවිට අපටම අයිති චන්ද්‍රිකාවක්‌ ලංකාවේ භූ ස්‌ථායී කක්‌ෂයේ නැගෙනහිර අංශක 50 ස්‌ථානයේත් කක්‌ෂගත කිරීමට සැලසුම් වන්නේය.

ඒ අතර 2012 .08. 14 දින නුවර පල්ලෙකැලේ ආයෝජන කලාපයේ අභ්‍යාවකාශ විද්‍යාපීඨයක්‌ සඳහා මුල්ගල තබන්නේය. ඒ සඳහා කරන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 60කි. දලවශයෙන් රුපියල් කෝටි නවසියයකි. දකුණු පළාතේ කොග්ගලින් අක්‌කර 30 ක්‌ මිලට ගෙන ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ හා චන්ද්‍රිකා පාලන මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීමට කටයුතු සම්පාදනය කරන්නේය. එහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 20 කි. දල වශයෙන් රුපියල් කෝටි තුන්සියයකි. මේ සඳහා ඔවුන් චීනයේ "චයිනා ග්‍රේට්‌වෝල් ඉන්ඩස්‌ට්‍රීස්‌ කෝපරේෂන්" සමාගම හා "සයිනො සැටලයිට්‌ කොමියුනිකේෂන් කෝපරේෂන්" සමාගම සමග හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹෙන්නේය. කොග්ගල ගගණගාමීන් වැඩිදුර පුහුණුවට යවන්නේ "චයිනා ග්‍රේට්‌වෝල් ඉන්ඩස්‌ට්‍රීස්‌ කෝපරේෂන්" වෙතය. සියල්ලම සිල්ලර නොවන ඉලක්‌ක හා ආයෝජනයන්ය. මේ ආයෝජනයන්හි යෙදෙන "සුප්‍රීම් සැට්‌" අධිපතිතුමාගේ එක්‌ සිහිනයක්‌ වන්නේ ඔහු විසින් http://www.hotandfastnews.com වෙබ් අඩවියට පවසා ඇති පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර නොවු විරූ විශාල පරිමාණයේ අලුත් දෙයක්‌ කිරීමය. තවත් සිහිනයක්‌ වන්නේ වසර හතරකින් ලංකාවේ ගගණගාමියෙක්‌ අභ්‍යාවකාශයට යෑවීමය. අප විශ්මයට පත්වන්නේ සමහර සිහින සමග තවත් සමහර සිහින සමපාත වන අපූරුව ඇස්‌පනාපිට පෙනෙන විටය.

"සුප්‍රීම් සැට්‌" 1 කතාව

රටම ආනන්දයට පත්කළ කතාව "සුප්‍රීම් සැට්‌" 1 චන්ද්‍රිකාවේ කතාවය. අප දන්නේ "සුප්‍රීම් සැට්‌" 1 අපේ චන්ද්‍රිකාව බවය. එය අප වෙනුවෙන් චීනය විසින් අභ්‍යාවකාශගත කළ බවය.

අප "සුප්‍රීම් සැට්‌" 1යෑයි හඳුන්වන චන්ද්‍රිකාව 2012 නොවැම්බර් 27 වැනදා 15.13 ට "ලෝන්ග් මාර්ච් 3B/E" රොකට්‌ටුවෙන් සිචැන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්‌ථානයේදී චීනය විසින් ගුවන්ගත කළේය.

"සුප්‍රීම් සැට්‌" ආයතනය තමුන්ගේ වෙබ් අඩවිය මගින් මෙම චන්ද්‍රකාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව බව කිව්වේය. දැන් අප අභ්‍යාවකාශය ජයගෙන ඇති බව අපට මාධ්‍යය කීවේය. අපටම චන්ද්‍රිකාවක්‌ හිමි 45 වන රට අප බවත් දකුණු ආසියානු කලාපයේ තුන්වන රට අප බවත් කීවේය. අපේම වූ චන්ද්‍රිකාවක්‌ පෘථිවි කක්‌ෂයෙහි ශ්‍රී ලංකාවට ඉහළින් අහසේ ස්‌ථානගත වී ඇති බව පැවසිනි. චන්ද්‍රිකාව යවා තිබුණේ "ඔව් අපටත් පුළුවන්," "අපට කළ නොහැක්‌කක්‌ නැත" යන තේමාවන් පෙරදැරිව බව සඳහන් උනේය. ආණ්‌ඩුවේ මාධ්‍යය චන්ද්‍රකාවේ අපේකම ගැන සහතික දුන්නේය. අප මේ කතා අසා ප්‍රමෝදයෙන් සිටිනා විට විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනුෂ පැල්පිට මේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය කිසිම සම්බන්ධයක්‌ නැති බව කීවේය.

අප අපේ චන්ද්‍රිකාවක අපේකම ගැන කතා කරනවිට ලෝකය අපට කීවේ වෙනස්‌ කතාවකි. නාසා ආයතනයේ http://www.nasaspaceflight.com වෙබ් අඩවියත් http://www.chinadaily.com.cn, http://www.chinasatcom.com, වෙබ් අඩවිත්, චීනයේ නිල පුවත් සේවය වන "සින්හුවා" පුවත් සේවයත් මේ කතාව අපට කීවේ මෙසේය.

"ඒ.පී.ටී සැටලයිට්‌" ( නම් හොංකොං සමාගමක්‌ තිබුණේය. ඔවුන් විසින් වර්ෂ 2010 අප්‍රේල් මස 23 වැනිදා ප්‍රංශයේ සමාගමක්‌ වන "තෙල්ස්‌ ඇලෙනා ස්‌පේස්‌"  නම් සමාගමට චන්ද්‍රිකාවක්‌ නිශ්පාදනය කිරීමට ඇනවුමක්‌ භාර දුන්නේය. මෙම චන්ද්‍රිකාව නම් කර තිබුණේ ඇප්ස්‌ටාර් 7 බී  යනුවෙනි. ඇප්ස්‌ටාර් 7 බී චන්ද්‍රිකාව නිශ්පාදනය කිරීමට හේතු නිශ්චිත හේතුවක්‌ තිබිණි. "ඇප්ස්‌ටාර් 7 බී" නම් මේ චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ 2012 ජූලි මස 15 වන දින සිට 2012 ඔක්‌තෝම්බර මස 15 වන දින අතර කාලය තුළ චීනය විසින් අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ඇප්ස්‌ටාර් 7  නම් වූ චන්ද්‍රිකාව නිසි පරිදි අභ්‍යාවකාශගත කිරීමට නොහැකි වුවහොත් ඒ ස`දහා වන විකල්ප අතිරේක චන්ද්‍රිකාව වශයෙනි.

කෙසේ වෙතත් විකල්පයක අවශ්‍යතාවක්‌ නොතබා පසුගිය මාර්තු මස 31 වැනිදා ඇප්ස්‌ටාර් 7  චන්ද්‍රිකාව ස්‌ථායී භූ කක්‌ෂයේ නැගෙනහිර අංශක 76.5 සාර්ථකව කක්‌ෂගත කෙරිනි. ගිවිසුම් ප්‍රකාරව මෙම අප්ස්‌ටාර් 7බී විකල්ප චන්ද්‍රිකාවේ අවශ්‍යතාවක්‌ පැනනොනැගුනහොත් තම නිශ්පාදන වියදම් පියවාගෙන එම චන්ද්‍රිකාව බීජින්හි පිහිටි චීන ආණ්‌ඩුවේ චන්ද්‍රිකා මෙහෙයුම් ආයතනය වන චයිනා සැට්‌කොම් ආයතනය  වෙත පැවරීමට එය නිශ්පාදනය කළ හොංකොං සමාගම වන ඒ.පී.ටී සැටලයිට්‌ ආයතනය ද්විතියික ගිවිසුමකින් එක`ගව සිටියේය. ඒ අනුව "ඇප්ස්‌ටාර් 7 බී" චන්ද්‍රිකාව "චයිනා සැට්‌කොම්" ආයතනය වෙත පවරා ගැනුණි. එම පවරා ගැනීමෙන් පසු එම ආයතනය මෙම චන්ද්‍රිකාව "සොන්ග්සින්ග් 12"  හෙවත් "චයිනා සැට්‌ 12"  ලෙස නම් කළේය. එම චන්ද්‍රිකාව ඒ වනවිටත් නැගෙනහිර දේශාංශ අංශක 87.5 කක්‌ෂගත කර ඇති ජීව කාලය ඉක්‌මවා යන "චයිනා සැට්‌ 5"  චන්ද්‍රිකාවට ආදේශ කිරීම ස`දහා සැලසුම් කර තිබිණි.

එම "චයිනා සැට්‌ 12" චන්ද්‍රිකාවේ ඉලෙක්‌ට්‍රොනික පරිපථ ගබඩාවෙහි කොටසක්‌ ලංකාවේ "සුප්‍රීම් සැට්‌" පුද්ගලික ආයතනය කල්බදු ක්‍රමයට ගත්තේය. ඉන් අනතුරුව චන්ද්‍රිකාව "සුප්‍රීම් සැට්‌" 1   ද හැ`ඳින්වීමට එක`ගතාවයකට පැමිණියේය. ලෝකයා කියන්නේ අප කක්‌ෂගත කළායෑයි කියන අපේ චන්ද්‍රිකාව වන "සුප්‍රීම් සැට්‌" 1 හි උත්පත්ති කතාව එය බවය.

ආයෝජනය පිළිබඳ මතුකළ ප්‍රශ්න

කතාව මෙසේ මතුවන විට මේ ආයෝජනය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමකට ලක්‌කෙරිනි.

"මේ ව්‍යාපෘතිය සඳහා චීන ආණ්‌ඩුවෙන් ණය මුදලක්‌ ගත්තේනම් ආණ්‌ඩුව ගත්තත් සමාගමට ගත්තත් යම්කිසි ඇපයක්‌ සමාගම වෙනුවෙන් දීලා තියෙන්න ඕන. භාණ්‌ඩාගාර බැඳුම්කර අරගෙන තියන්න ඕන. එහෙම අරන් තියනවානම් ඒ සමාගම, කොහොමද ආණ්‌ඩුව ඒ සමාගමට ඒ සහතිකය දුන්නේ?. ආරක්‌ෂක අමාත්‍යංශයෙයි විදුලි සංදේශ නියාමන කොමිසමෙයි අනුමැතිය නැතිව රුපියල් කෝටි පන්දාහක ගනුදෙනුවක්‌ වෙලා තියනවානම් එය පාර්ලිමේන්තුවේදී දැනගත යුතුයි." තිස්‌ස අත්තනායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. එය බීබීසිය ඇතුළු මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

මීට පිළිතුරු දුන් ඩලස්‌ අලහප්පෙරුම කියා සිටියේ මෙය කිසිසේත්ම මහජන මුදල් යොදාගෙන කරනා ව්‍යාපෘතියක්‌ නොවන වගත් රටේ තීරණාත්මක සංවර්ධන සංධිස්‌ථාන සලකුණු වන ව්‍යාපෘති පිළිබඳව දේශපාලන කණ්‌නාඩි වලින් නොබලන ලෙසත්ය. ඔහුට අනුව මේ ප්‍රශ්න කිරීම්වලට හේතුව රෝහිත රාජපක්‌ෂ නැමැති තරුණයාය.

"සුප්‍රීම් සැට්‌" ආයතනයේ කළමනාකාර අධ්‍යක්‌ෂ ආර්.එම් මනිවන්නන් මාධ්‍යයට ප්‍රකාශයක්‌ කරමින් මේ ප්‍රශ්න කිරීම ගැන සැරට කතා කළේය. එම කතාව මෙසේ සාරාංශ කළ හැකිය.

ඔහුට අනුව වැදගත් නිලතල දරන වගකීමකින් කටයුතු කළයුතු පුද්ගලයින් පුද්ගලික අංශයේ ව්‍යාපාර ගැන වගකීමකින් තොර ප්‍රකාශ නොකළ යුතුය. මෙම චන්ද්‍රිකාව ගැන දේශපාලන බංකොලොත්භාවයට පත් ඇතැමුන්ගේ ප්‍රකාශ නූගත්, අද්භූද, ද්වේශ සහගත ඒවාය.

මේ ඓතිහාසික ව්‍යපෘතිය සම්බන්ධව ළදරු ප්‍රකාශ කිරීමට පෙර දෙවරක්‌ සිතා බැලිය යුතුය. ඉන් ඔවුන්ට මෙන්ම චීන සමූහාණ්‌ඩුවටත් අපහාස වේ.

මෙම ව්‍යාපෘති සංකල්පය, මූලික ප්‍රතිපාදන හා පූර්ණ ප්‍රතිපාදන පුද්ගලික අංශයේය. ලෝකය තුළ ආයෝජන සලකා බලනවිට මේ මුදල මුල්ලකට වී කල්පනා කරමින් සිටියයුතු මුදලක්‌ නොවේ. මේ ව්‍යාපෘතියේ මුල් අéරය වන ඩොලර් මිලියන සියයක මුදල දැනටමත් සොයාගෙන හමාරය. ඊට පුද්ගලික අංශයෙන් හෝ රජයෙන් යෑපෙන්නේ නැත. මෙම සුවිශේෂී ව්‍යාපෘතියට රජයේ සම්බන්ධයක්‌ ඇතැයි අභූත චෝදනා නගන උදවියට ඉතිහාසයෙන් සමාවක්‌ නොලැබෙනු ඇත.

සමාගමේ ලාංඡනය වෙනුවට රටේ ජාතික ධජය අභ්‍යාවකාශයට යෑව්වේ ඔවුන් තුන් හිතින්ම දේශයේ දරුවන් නිසාය. මෙම ඓතිහාසික අවස්‌ථාව විඳින්නට බැරි මානසික ව්‍යාකුළතාවයක්‌ සහිත අය දේශප්‍රේමීන් වන්නේ නැත.

අපට කියන්නට ඇති කතාව

මෙවැනි ප්‍රතිරූප ආයතනයක්‌ රටේ තිබෙන බව අහන්නට ලැබීමත් වාසනාවය. අපට දුක ඒ පිළිබ`ද ශ්‍රවණය කිරීමට ලැබීමේ භාග්‍ය මෙපමණ පමාවීම ගැනය. තවත් දෙයක්‌ කියන්නට තිබේ. ඉස්‌සර වගේ නොවේ. ගමේ අප්පුහාමිලාත් ලෝකයේ වෙන දේවල් දැනගන්නේය. සිද්ධිවල නොගැලපීම් ගැන කල්පනා කරන්නේය. පසුව වෙබ් සයිට්‌ වලට ගොස්‌ තමුන්ගේ අදහස්‌ ලෝකයට කියන්නේය. රෙද්ද දුන් පමණින් කපා හැඩ දමා මසා ඇ`දගන්නා මිනිස්‌සු අඩුවෙමින් යන්නේය. කරුමයට මෙන් ලෝකය ඒ තරම්ම පුංචිය.

ජානක ලියනආරච්චි - උදේශ සංජීව ගමගේ
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all