Photobucket

Friday, December 28, 2012

නෑම පිළිබඳ වැරදි මත

අද අපි නෑම සමට ඇති කරන බලපෑම සේම නෑම හා සම්බන්ධයෙන් සමාජයේ පවතින වැරදි මත ගැන සාකච්ඡා කරමු. 

නෑමට වඩා හොඳ උණු වතුරය
මෙය මුළුමනින්ම වැරදි විශ්වාසයකි. නෑම සඳහා වතුර භාවිතා කිරීමේදී උණු වතුරෙන් නෑම මගින් සමට විශේෂිත වූ වාසි අත්වේය යන මතයේ සිටින්නන් අපට හමුවේ. අධික ශීතල දේශගුණයක දී හැරුනුකොට නෑම සඳහා උණු වතුර භාවිතා කළ යුතු නැත. නමුත් උණු වතුර භාවිතා කළ යුතුවූ විශේෂිත වූ රෝගාබාධ, ඇල්වතුර භාවිතයේ දී අධික ලෙස ශීතල දැනෙන වයේවෘද්ධ වූවන්ට හැර උණු වතුර භාවිතයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නැත. සමට ඉතාම හිතකර වන්නේත් නෑම සඳහා සුදුසුම වන්නේ ඇල් වතුරය. උණුවතුරින් බිලිඳුන් දරුවන් නෑවීමට හුරුපුරුදු වූවෝ සමාජයේ වෙති. නමුත් මෙසේ භාවිතා කරන උණු වතුරවල රස්නය අධික වීම නිසා බිලිඳුන්ගේ සමට හානි සිදුවිය හැකිය. විශේෂයෙන්ම දහඩිය බිබිලි පවතින විටක රස්නය සහිත වතුරෙන් නෑවීම මගින් දහදිය ගඩු වැඩිවී ඒවා කැසීම ද ඇතිවිය හැකිය. එසේම උණු වතුර භාවිතා කරමින් නාන විට සම වියළි විය හැකිය. එබැවින් සැලකිය යුතු රෝගී තත්ත්වයකින් නොපෙළේ නම් නෑම සඳහා හොඳම ඇල් වතුරයි. බිලිඳුන් උණු වතුරෙන් නාවන්නේ නම් එම වතුර හොඳහැටි නිවා ගැනීම ද ඉතාම වැදගත් වෙයි.

සමට වඩාත් හිතකර ළිං වතුරය
මෙය ද වැරදි විශ්වාසයකි. එසේම නෑමට භාවිතා කරන වතුර ලිං වතුර වීම හරහා සමට විශේෂිත වූ වාසි අත්වේය යන මතය බොහෝ දෙනකු තුළ තිබේ.  ළිං වතුර නෑම මගින් කොණ්ඩය හොඳින් වැවී දිගු කෙස් කළඹක් හිමිවේය යන්න තවත් වැරදි මතයකි. නෑම සඳහා භාවිතා කරන වතුර ළිං ජලය හෝ නළ ජලය හෝ ඒවා පිරිසිදු ඒවා වීම පමණි වැදගත් වන්නේ. සමහර විට අපිරිසිදු ළිඳක වතුර නෑමට ගැනීම හරහා සමට හානි සිදුවිය හැකිය. මී උණ වැනි රෝග හටගත හැකිය. එබැවින් ක්ලෝරීන් භාවිත කර හෝ ප්‍රමිතියකට අනුව පිරිසිදු කර නළ හරහා අපට ලැබෙන ජලය පිරිසිදු බැවින් නෑමට සුදුසුය.

එසේම විනෝද චාරිකාවල යෙදෙන විට සේම ඈත ගම් පළාත්වල වෙසෙන්නන්ට නෑමට සිදුවන්නේ වැව් ජලයයි. අවට පරිසරයේ තිබෙන අපද්‍රව්‍ය, විෂ රසායනිකයන්, කෘමිනාශක ආදිය සේදී වැව් ජලයට එකතුවේ. එබැවින් වැව් ජලයේ විෂ සාන්ද්‍රණය ඉහළ අගයක් ගනී. මෙවැනි වතුරක් නෑම සඳහා භාවිතයට සුදුසු  නැත. මී උණ වැනි රෝග සේම වැව් ජලයේ පවතින මඩ, සම මත තැන්පත්වීම නිසා සමේ ආසාදන කැසීම් වැනි රෝග හටගත හැකිය. එබැවින් හැකි සෑම විටම නෑමට වැව් ජලය භාවිතා කිරීමෙන් වැළකී සිටීම සමට සේම සෞඛ්‍යයටද හිතකර වෙයි.

කෙසේ නෑවත් ප්‍රතිඵල එක සමානය
මෙය ද වැරදි මතයකි.

නෑමෙන් සමට උපරිම ඵල ලැබිය හැකි ක්‍රමය නම් පුරවා ගත් ජලයක (Bath Tub එකක) බැස නෑමය. එහිදී අවශ්‍ය නම් සමට හිතකර තෙල් වර්ගයක් (Bath Oil) එම වතුරට මුසු කළ හැකිය. වැඩි වේලාවක් සම මත ජලය ස්පර්ශ වන මෙම ක්‍රමය මගින් වැඩි වාසි අත්කරගත හැකිය. එසේම වතුරක බැස සිටීම මගින් ගතට සිතට ඇතිවන සහනශීලී හැඟීම මෙමගින් ලබාගත හැකිය. අප වතුර මලකින් (Shower) නාන විටෙක වැඩි වේලාවක් ඒ සඳහා ගත නොකරන අතර සමේ ජලය ස්පර්ශ වන කාලය ද අඩුය. නමුදු සමහර විටෙක පිහිනුම් තටාක (Swimming Pool) වල මුහුදු ජලයේ (Sea - bath) නාන්නට සිදුවූ විට අනිවාර්යයෙන්ම පිරිසිදු වතුරෙන් හොඳින් නැවත නෑම ද ඉතාම ඉතාම වැදගත්වෙයි. එසේ නොමැති වූ විට විෂබිජ, ලවණ ගතිය නිසා සම කැසීම් ආසාදන හටගත හැකිය. මෙය ද අවධානයට යොමු කළ යුත්තකි.

ස්වභාවික දේ හිසේ ගා නෑම ගුණදායකය
මෙයද සෑම විටම නිවැරදි නොවේ. සමහර අය හිස්සොරි සඳහා සේම කෙස්වල නිරෝගී බව අපේක්ෂාවෙන් විවිධ ද්‍රව්‍ය හිසේ ගා නෑමට හුරුවී සිටිති. දෙහි, උළුහාල්, ගොඩපර ආදී විවිධ ස්වභාවික ද්‍රව්‍ය හිසේ අතුල්ලා නෑම සමාජයේදී දැකිය හැකිය. නමුත් මෙවැනි ක්‍රමවලින් ඵල ලබා ගැනීමට ඒවා භාවිතා කළ යුතු ප්‍රමාණයන් ගැන සමහරුන් දැනුවත් නැත. එසේම දෙහි වැනි දෑ හිසේ අතුල්ලා අව්වේ සිටීම මගින් සමේ කළු ලප මතුවිය හැකි ය. මෙම ද්‍රව්‍ය හිරු එළිය සමග ප්‍රතික්‍රියා කිරීම ඊට හේතුවයි. එබැවින් නෑමේදී හිසකෙස් පිරිසිදු කර ගැනීමට හොඳම ක්‍රමය නම් සුදුසු ෂැම්පු වර්ගයක් භාවිත කිරීමය. එසේම ෂැම්පු යොදා ඒවා හොඳින් ඉවතට යන ලෙස සේදීම ද ඉතාම වැදගත් වෙයි. ඉන්පසු සුදුසු ‘කන්ඩිෂනර්’ වර්ගයක් යෙදීම ද කළ යුතුය. නෑමෙන් පසු හොඳින් කොණ්ඩය වියළා ගැනීමද සුදුසු තෙල් වර්ගයක් යෙදීමද කළ යුතුය.

නානවිට තදින් කුණු ඇතිල්ලිය යුතුය
මෙයද මිථ්‍යා මතයකි. නාන විට ඇඟේ කුණු ඇතිල්ලීම සඳහා සමහරුන් දොලගල්, ‍පොල්මුඩු, ලණු ආදිය භාවිතා කරනු දැකිය හැකිය. එසේම සමහරු බිත්තිවල ගස්වල පිට අතුල්ලමින් නාන අයුරුද දැකගත හැකිය. මේ ආකාරයට තදින් සම ඇතිල්ලීමේ අවශ්‍යතාවයක් නැත. අපේ සම මත කුණු තට්ටු ලෙස තැන්පත් වීමක් සිදුවන්නේ නැත. එදිනෙදා නෑමේදී අතින් ඇඟ අතුල්ලා පිරිසිදු කාරකයක් (Body Wash) යොදාගෙන සේදීම ප්‍රමාණවත්ය.

මේ ආකාරවලට විවිධ ද්‍රව්‍ය යොදාගෙන සම තදින් ඇතිල්ලීම මගින් සමේ රළු ගතියක් ඇතිවීමට සේම එම තැන් අවපැහැගැන්වීමක් ඇතිවිය හැකිය. ශරීරයේ සමහර තැන් කළුවීම නිසා එම තැන් තදින් අතුල්ලමින් නාන අවස්ථා අපට හමුවේ. එවිට සිදුවන්නේ එම තැන් තවත් අවපැහැයට හැරීමය. එවැනි ස්ථාන සඳහා කළ යුත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමය. සමහර විට විවිධ සමේ රෝග, පුස් රෝග නිසා සේම ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයේ ගැටලුකාරී තත්ත්ව නිසා මෙසේ සම අවපැහැ ගැන්විය හැකිය.

නෑමේදී දණහිසෙන් පහළ කොටසට විශේෂත්වයක් දැක්විය යුතු නැත
මෙයද බොහෝ දෙනා තුළ ඇති වැරදි විශ්වාසයක් බව පෙනේ. බොහෝ කාන්තාවන් තමන්ගේ දණහිසෙන් පහළ කොටස පිළිබඳව නෑමේදී එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. යටි පතු‍ලේ පැලී කුණු එකතු වුණු තැන් ‘පියුමික්’ ගලක් මගින් අතුල්ලා සෝදා හැරීම හොඳය. එසේම ෂැම්පු ස්වල්පයක් වතුරට දමා දෙපා එහි දමා ටික වේලාවක් තබා එය බුරුසුවකින් කකු‍ලේ පැළුණු තැන්වල ඇති කුණු අතුල්ලා හැර සෝදා දැමීම මගින් සුන්දර දෙපා යුවළක් හිමිකර ගත හැකිය. එසේම දෙපාවල යටි පතුල්ද පියුමික් ගලකින් අතුල්ලා සෝදා හැරීම මගින් එහි කුණු සහිත ගතිය ඉවත් කරගත හැකිය. තවද නෑමෙන් පසු නිය‍පොතු මෘදු වී ඇති බැවින් ඉදිරිපස හතරැස් හැඩයක් එන ලෙස නිය‍පොතු කපා හැඩකර ගැනීම ද ඉතා වැදගත්වෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all