Photobucket

Sunday, December 30, 2012

ප්‍රශ්න පත්‍රය පිටවීම ආරක්ෂිත කැමරා පරීක්ෂා කර නැහැ

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියේ සුල මුළ හෙළිවීමත් සමඟම විභාග අංශවල පවත්නා දුර්වලතා පිළිබඳ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිදු කරගෙන යන අතර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ සුරක්ෂිතභාවය සඳහා වූ ආරක්ෂිත ක්‍රමවේදයන් ද හරියාකාරව ක්‍රියාත්මක වී නැතැයි වාර්තා වෙයි. 

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයට ඇතුළු විය හැක්කේ ඉතා සීමිත පිරිසකට වන අතර ඒ සියලු දෙනා වෙනුවෙන් දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු වුවත් මෙලෙස ප්‍රශ්න පත්‍ර සොරාගෙන තෙවැනි පාර්ශ්වයකට ලබාදීමෙන් පසුව විභාගය අවසන් වන තෙක් එය සොයා ගැනීමට නොහැකි වූයේ විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ පවත්නා ආරක්ෂක ක්‍රමවේදයේ දැඩි දුර්වලතා නිසා බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ගේ අදහස වී ඇත.

සී.සී.ටී.වී. කැමරා පද්ධති සවිකර තිබුණත් එය පරීක්ෂා නොකිරීම, ඇතුළට යන හා පිටතට එන අය පරීක්ෂා නොකිරීම, ජංගම දුරකථන ඇතුළු උපකරණ රහස්‍ය ඒකකයේදී භාවිතා කිරීමට ඉඩදී තිබීම නිසා දැඩි අනාරක්ෂිත බවක් ඇතිවී තිබූ බව කියන නිලධාරීන් විශේෂයෙන් මුද්‍රණාල සේවක මංගල ප්‍රියශාන්ත නැමැත්තා මෙම ප්‍රශ්න පත්‍රයට පිටතට ගෙන ගියේ ජංගම දුරකථන කවරයක් තුළ සඟවා ගෙන බව ද මේ වනවිටත් සොයාගෙන ඇත.

දැනට සිදු කැරෙන විමර්ශන වලින් අනතුරුව මීට කලින් අවස්ථාවල මෙවැනි අක්‍රමිකතා සිදුවී තිබේ දැයි පුළුල් අයුරින් සොයා බලන බව පරීක්ෂණ මෙහෙයවන නිලධාරියෙක් කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all