Photobucket

Sunday, December 30, 2012

ගෝල්ඩන් කී පවුල් 9000ක් අනාථයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොවීම නිසා

ගෝල්ඩන් කී මූල්‍යායතනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නියෝග වසර හතරක් පුරා ක්‍රියාත්මක නොවීම නිසා එම ආයතනයේ තැන්පත්කරුවන්ගේ පවුල් 9000ක් පමණ අසරණ වී ඇතැයි ගෝල්ඩන් කී සියලු තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි දුෂාන්ති හපුගොඩ මහත්මිය පවසයි. 

මෙම මූල්‍යායතනය වසා දැමීමත් සමඟ ඇතිවූ කම්පනයත් ආර්ථික අපහසුතාත් නිසා සියදිවි නසාගත් පිරිස 23ක් වන අතර මානසික ආතතියට පත්වූ පිරිස 1000කට අධික බව ද උන්හිටිතැන් අහිමි වූවන් තැන්පත්කරුවන්ගෙන් තුනෙන් එකක පමණ වන බව ද අධ්‍යාපනය අහිමි වූ දරුවන් දහසකට අධික බව ද ඇය පෙන්වා දෙයි. 

ආසියාවේ විශාලතම මූල්‍ය වංචාව වන රුපියල් බිලියන 26.5ක මුදල් ගෝල්ඩන් කී ආයතනය මඟින් සිදු කර ඇති බැවින් මේ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස ද සියලු තැන්පත්කරුවන් වෙනුවෙන් ඇය ඉල්ලා සිටී. එසේම එම කොමිසම මඟින් සිදු කරන විමර්ශන මාස තුනකින් නිම කර වාර්තාව බාර දිය යුතු බව ද ඇය පෙන්වා දෙයි.

ගෝල්ඩන් කී ආයතනය වසා දැමූ 2008 දෙසැම්බර් 18 වැනිදා සිට මේ දක්වා වසර හතර තුළ දී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියෝග 20ක් පමණ නිකුත් කර ඇතත් එයින් ක්‍රියාත්මක වී ඇත්තේ කිහිපයක් පමණක් බව ද ශ්‍රේෂ්ඨාධිකරණයකින් ලබාදුන් නියෝග මෙලෙස ක්‍රියාවට නොනඟා සිටිනා එකම අවස්ථාව මෙය විය හැකි බව ද සභාපතිවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all