Photobucket

Saturday, December 22, 2012

දැල්පන්දු නිලවරණය ජනවාරියේ පැවැත්වීමේ සූදානමක්

හිටපු සභාපතිනියක් යළිත් තරග බිමට

වසර දෙකකට ආසන්න කාලයක් අතුරු කමිටු හා පරිපාලන කමිටුවලට මාරු වෙමින් තිබූ දැල්පන්දු පරිපාලනය සඳහා සම්මේලනයක් පත් කර ගැනීමේ නිලවරණය ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එහි අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජනවාරි 4 දින බැව් වාර්තා වන අතර, අදාළ දිස්ත්‍රික් සංගම් ‍ලේකම්වරුන්ට මේ සඳහා ලිඛිතව දැනුම්දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

වර්ෂ 2010 දී ‍ලේෂා ද සිල්වා මහත්මියගේ සභාපතිත්වයෙන් පැවැති දැල්පන්දු සම්මේලනයෙන් පසු දැල්පන්දුවට එකතු වූයේ අතුරු කමිටු හා පරිපාලන කමිටුයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය සී.බි. රත්නායක මහතා විසින් පද්මා බැද්දවෙල මහත්මිය ප්‍රමුඛ පරිපාලන කමිටුවක් පත් කළ අතර, 2010 දැල්පන්දු සම්මේලනයෙන් අනතුරුව වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සම්ප්‍රාප්තියෙන් පසු තමාරා

ධර්ම කීර්ති මහත්මියගේ සභාපතිත්වයෙන් පරිපාලන කමිටුව අතුරු කමිටුවක් ලෙස වෙනස් විය.

එහෙත් වර්ෂ 2012දී අගෝස්තු මස පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේ පරාජයත් සමග එහි අවනම්බුවට අමතරව වෙනත් චෝදනා රැසක් අතුරු කමිටුවට ගොඩ ගසා එකී අතුරු කමිටුවද විසුරුවා එන්.කේ. අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පරිපාලන කමිටුවක් එක් විය. අද දක්වාද ක්‍රියාත්මක වන්නේ එකී පරිපාලන කමිටුවයි.

පසුගිය වකවානු තුළ දැල්පන්දුවට ස්ථාවර පරිපාලනයක් නොතිබිම හේතුවෙන් අන්තර් ජාතිකව ප්‍රධාන අවාසි සහගත තත්ත්වයන් රැසකට මුහුණ දුන් අතර, එළැඹෙන වසරේ පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවට නිසි පරිදි ඇයැදුම්පත් යොමු නොකිරීම හේතුවෙන් එම තරගාවලියට ශ්‍රී ලංකා නියෝජනය අහිමි වීම ඉන් ප්‍රධානය.

මෙවර දැල්පන්දු නිලවරණය සඳහා තරුණ පාර්ශ්වයන් රැසකගේ සුබවාදී සූදානමක් පවතින බව වාර්තා වන අතර, ඉන් හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසක් සන්ධානගතව ඇති බව වාර්තා වේ.
එසේම හිටපු සභාපතිනියක්ද නැවතත් දැල්පන්දු නිලවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වන අතර, බොහෝ පිරිසක් මෙවර කණ්ඩායමක් වශයෙන් නොව ස්වාධීනව ඉදිරිපත් වීමට නියමිත බවද වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all