Photobucket

Friday, December 28, 2012

අක්මාවේ කොටසක් දන් දෙන්න ඉන්දියාවට ගිය සංගීතාගේ මුළු අක්මාවම ගලවාගෙන

ඉනෝකාගේ සැත්කමින් පැය දෙකකට පස්සේ සිහිය ආවා ජූස් එකක් ද බිව්වා. හොඳ සනීපයෙන් සිටියේ මේ ගැන නීත්‍යානුකූලව කටයුතු කරන්න යන්න අවශ්‍ය නැහැ. අපි මුදල් අවශ්‍ය තරම් දෙන්නම් අපි කෙළින්ම මල් ශාලාවට ගෙන යමු යැයි මෘත ශරීරය සමඟ ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව අප සමඟ පැවසුවායැයි ඉනෝකා දමයන්තිගේ මෘත ශරීරය භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපලට ගිය මියගිය ඉනෝකා දමයන්තිගේ ඥාති සහෝදරයෙකු වූ නන්දන වසන්ත කුමාර මහතා පැවසීය.

මීගමුවේ රෝගියෙකුට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවට ගෙන ගොස් එහිදී කරන ලද ශල්‍යකර්මයකින් මිය ගිය කෑගල්ල මොළගොඩ මංගලගම පදිංචිව සිටි ඉනෝකා දමයන්ති විජේරත්න (සංගීතා) 36 කාන්තාව මෙසේ මරණයට පත්ව ඇත. ඇය එක්දරු මවකි.

මේ සම්බන්ධව අපට තවදුරටත් කරුණු පැහැදිළි කළ වසන්ත මහතා අපි කියපු දේ නොවෙයි කරලා තිබෙන්නේ. අක්මාවේ කොටසක් ගන්නයි කීවේ. එය ගත්තාට පසුව හොඳට සිටියා. 24 වැනිදා උදේ 10 පමණ ඇය මියගියා යයිද එම කාන්තාව පැවසූ බවද පැවසීය.

දිවුරුම් ප්‍රකාශයක්
අක්මාවේ කොටසක් දීමට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ගිවිසුම් අත්සන් කර ඇති අතර එහි සඳහන් වන්නේ උළු අම්බලම වත්ත කුලරත්න මාවතේ පදිංචි එස්. පී. පියප්‍රේමද සිල්වා එදිරිසිංහ යන අය විසින් නොවැම්බර් මස 07 වෙනි දින ජාතික පුවත් පතක පළ කරන ලද අක්මාවේ කොටසක් බද්ධ කිරීම සඳහා පරිත්‍යාගශීලි අයෙකුට ඉදිරිපත් වන ලෙසටයි. එහි සඳහන් වූ දුරකතන අංකයට කතා කර එම නිවෙසට ගොස් අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට මේ මියගිය ඉනෝකා කැමැත්ත පළ කර ඇත.

ඉන්පසු 2012.11.10 දින කොළඹ ආසිරි රෝහලේ දීද 2012.11.22 දින සිට 2012.11. 28 දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර ග්‍රෝබල් රෝහලේ ද පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වී 2012.11.28 දින ලංකාවට පැමිණ ඇත.

මේ දායකත්වය ලබා දෙනු ලබන්නේ රෝගියෙකුගේ ජීවිතයක් බේරා ගැනීමේ උතුම් කාර්යයක් සඳහා බවත් ඒ සඳහා කෘතගුණ සැළකීමක් වශයෙන් ලක්‍ෂ 03 ක මුදලක් ලබා දෙන බවත් ඒ මුදල ඉනෝකා ලංකාවට පැමිණි පසු ගෙවන බවට එම රෝගියාගේ බිරිඳ වන වීරක්කොඩි අයිරින් ද සිල්වා යන කාන්තාව ගිවිසුමෙන් පොරොන්දු වී ඇත. මේ දිවුරුම් පෙත්සම මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක් විසින් සහතික කර ඇත. ඒ මියගිය කාන්තාව පරීක්‍ෂණ කර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දිනයේදීමය.

හොර ගිවිසුමක්
මේ දිවුරුම් පෙත්සමේ මියගිය අම්මාගේ අත්සන නොවන බවත් දිව්රුම් පෙත්සම හා ගිවිසුම හොර එකක් බවත් ව්‍යාජ අත්සනක් යොදා ඇති බව මිය ගිය කාන්තාවගේ එකම දියණිය වූ කෑගල්ල බාලිකා විදුහලක ඉගෙන ගන්නා (12 වසරේ) ඩිල්ෂානි සඳරේඛා රත්නසිරි (17) දැරිය පැවසුවාය.

මෙය අම්මාගේ අත්සන නොවේ. අකුරුත් අම්මාගේ නොවේ. හරි අත්සන මේකයි. ගිවිසුමේ සාක්ෂි අත්සන් දෙකක් තිබෙනවා. ඔවුන්ගේ නම් නැහැ. මේක මහා අපරාධයක් බව ඇය පැවසුවාය.

මියගිය මගේ අම්මා 12 වෙනිදා ගියදා සිට 17 වනදා තෙක් මට කතා කළා. මම හොඳීන් ඉන්නවා කීවා. අඳුනන අයෙක් ළඟ ඉන්නේ බය වෙන්න එපා කිව්වා. ඉන්දියාවේ සිට කතා කරන බවත් මැඩම්ගේ මහත්තයා අසනීපයෙන් ඉන්නේ එයාට සාත්තු සප්පායම් කරගෙන ඉන්නවා. මැඩම්ටත් එතරම් සනීපයක් නැහැයි ද ඉක්මනට එන බවද පැවසුවා. නමුත් මේ සම්බන්ධව කිසිම දෙයක් අපි දන්නේ නැති බවද ඕ වැඩිදුරටත් පැවසුවාය.

මැඩම්ගේ වංචාව
එතනදි මොවුන් මෙතෙක් නොදන්නා මැඩම් කියන අය ගිවිසුමෙන් එළියට පැමිණ ඇති අතර මෙතෙක් ඔවුන් කර ඇත්තේ වංචා සහගත කරුණුයි.

ඒ සමඟම මියගිය අයගේ දියණිය වූ ඩිල්ෂානි විදේශ ගමන් බලපත්‍රය ගැන ද කරුණු දැක්වීය. එයද වංචාසහගතව සාදා ඇති බව ඇය ඔප්පු කළේ මෙසේය. අම්මාගේ උපන් දිනය වන 1975.09.23 ගමන් බලපත්‍රයේ 1983.09.23 සඳහන් කර අති අතර ජාතික හැඳුනුම්පත 757671379v නමුදු ගමන් බලපත්‍රයේ සඳහන් කර ඇත්තේ 837675235 v යන අංකයයි. ඒ අනුව ජාතික හැඳුනුම් පතද වංචා සහගතව වෙනස් කර වයස අඩු කර ගෙන ඇත. මෙය කාගේ වැඩක්ද? අම්මා දැනුවත්ව කරගත්තා ද? එහෙම නොමැතිව ඔවුන් විසින් කළ ඒවාද කියා සොයා ගැනීමට නොහැකි බව ද ඇය පැවසුවාය.

මියගිය ඉනෝකාගේ පියාවන කේ.ජී. විජේරත්න මහතා පැවසුයේ 21 වන දින මගේ දුරකතනයට රාත්‍රී 11 ට පමණ පණිවුඩයකින් කතාකර ඔය සංගීතාගේ තාත්තාද කියා ඇහුවා. මම ඔව් කීවා. සංගීතා කියන නම පිට අය දන්නේ නැහැ . ගමේ අය පමණයි සංගීතා කියන නම දන්නේ. ඒ නිසා මම උත්තර දුන්නා. ඊට පස්සේ සංගීතා ඉන්දියාවේ ගියාද කියා ඇහුවා. ඔව් කීවා. සංගීතා ඉන්දියාවේදී මිය ගොස් තිබෙනවා. බොඩි එක ගන්න හෙට උදේ 5 ට කටුනායකට එන්න කියා කිව්වා. මම කීවා බොරු කියන්න එපා කියා. නැහැ ඇත්තමයි කියා කීවා. මට මේ කතාව විශ්වාස කරන්න බැරි නිසා කෑගල්ල පොලිසියට ගිහින් විස්තරය කියලා පැමිණිල්ලක් දමන්න ඕනෑ කිව්වා. පොලිසියෙන් ඇහුවා කාටද පැමිණිල්ල දමන්නේ කියා. උදේ කටුනායක ගිහින් බලන්න කියා පොලිසියෙන් කීවා. මම එතනදි මගේ ෆෝන් එක පොලිසියට දීලා කතා කරන අයගේ නම අහගත්තා.

මල් ශාලාවට
දියණිය සහ මව අවසාන ගෞරව දක්වමින්...

දුරකතනයට කතාකර තිබෙන්නේ මීගමුව කුලරත්න මාවතේ පදිංචි ජේ.ඒ.එම්. වීරසූරිය කියලා කෙනෙක් බව දැනගත්තා. අපි ඔවුන් කිසිවෙක් හඳුනන්නේ නැහැ. මේ සේරම අය මේකට සම්බන්ධයි.

පසුව අපි කටුනායකට ගියාට පසු ඔවුන් නැවත කතා කරලා ගුවන්තොටුපළ ළඟට එන්න කිව්වා. එතනට ගියාට පස්සේ මෘතශරීරය මල් ශාලාවට ගෙන යමු කීවා. එතන කාන්තාවක් සිටියා. එයා ඔය මැඩම් කියන අය වෙන්න පුළුවන් කියා අපි සිතුවා.

ඇය කීවා මගේ මහත්තයා අසනීප වෙලා ඉන්දියාවේ ඉන්නේ. එයාට අවශ්‍ය වෙලා තමයි ඉනෝකාගේ අක්මාවේ කොටසක් ගත්තේ. එයා කැමැත්තෙන්මයි දුන්නේ. මුදල් දෙන්නම් කීවා. 60 දෙනෙක් විතර ආවා. අක්මාව දෙන්න තෝරාගත්තේ ඉනෝකාවයි. ඒත් හොඳම එකක් වශයෙන් අපි ඉනෝකාගේ අක්මාවෙන් කොටසක් ගත්තා කීවා. මේ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. අපි මුදල් දෙන්නම් ඕන තරම්, ඒ වාගේම දුවටත් සලකන්නම් කියා කීවා.

මේ ගැන අපට සැක සිතුන නිසා සිද්ධිය කටුනායක පොලිසියට පැමිණිලි කළා. එහිදී පොලිසිය විසින් මෘත ශරීරය මීගමුව රෝහලට භාර දුන්නා. එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා ශරීරයේ කොටස් රස පරීක්‍ෂක වෙත යැවීමට කටයුතු කර ලබන මස 11 වෙනිදාට නැවත පරීක්‍ෂණ පවත්වන බව පැවසුවා. මරණයට හේතුවක් කීවේ නැහැ.

එහෙත් පරීක්‍ෂා කරන ලද අධිකරණ වෛද්‍යවරයා මට කීවා අක්මාවේ කොටසක් නොවේ මුළු අක්මාවම නොමැති බවට සැක සහිත බව. ඒ අනුව මෘත ශරීරය කපා මැහුම් දමා තිබූ ආකාරයට ශරීරයේ වැදගත් කොටස් සියල්ලම ගෙන ඇතැයි අපට සැක සිතෙනවා යැයි ද ඔහු පැවසීය.

ශල්‍යකර්මය
ඉන්දියාවේ චෙන්නායි නුවර ග්‍රෝබල් නම් ආරෝග්‍ය ශාලාවේදී මේ ශල්‍යකර්මය කර ඇති අතර, එම රෝහලින් නිකුත් කරන ලද මරණයට හේතු සඳහන් වූ ලිපියේ සඳහන්ව ඇත්තේ අවයවවල දුර්වලතාවය නිසා මියගොස් අති බවයි. මේ සහතිකය චෙන්නායි (වෛද්‍යවරයකුගෙන් අසා දැනගත් පරිදි) ග්‍රෝබල් රෝහලේ වෛද්‍යවරයකු වූ ගෝපති නරසිවම් අත්සන් කර ඇත.

මෘත ශරීරය මුද්‍රා තබා වසා තබා ඇති අතර, මෘත ශරීරය හඳුනා ගැනීමට නොහැකිවනසේ ඉදිමී නරක් වී ඇති බවත් පැවසීය. පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වූ වෛද්‍යවරයා අප සමඟ පැවසුවේ දින ගණනාවකට පෙර මිය ගොස් ඇති බවයි.

මියගිය ඉනෝකා දමයන්ති විජේරත්නගේ අවසන් කටයුතු 26 වන දින පල්පාන සුසානභූමියේදී සිදු කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all