Photobucket

Sunday, December 23, 2012

ගොඩබිම කිට්ටුවට එද්දී බෝට්ටුව ‘වෙට්ටුවක්’ දාලා

- තිස්සමහාරාම වැවේ සවාරියෙන් හතක් මරුට

තිස්සමහාරාම වැවේ (අකුරුගොඩවැව) බෝට්ටුව පෙරළී හත්‍ දෙනෙක් මිය යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අට දෙනෙකු ගමන් කළ හැකි බෝට්ටුවක විසි දෙදෙනෙක් ගමන් කිරීම බව අනාවරණය වෙයි. එම විසි දෙදෙනා ඇතුළු බෝට්ටුව පැද වූ  පුද්ගලයාද අධික ලෙස බීමතින් පසුවී සිට ඇති බව පොලිසිය කියයි. ඉංගිරිය බොරළුගොඩ පිහිටි ආවරණ කම්බි දැල් නිෂ්පාදන ආයතනයක සේවකයින් විසි දෙදෙනෙක් වර්ෂ අවසානයේ කතරගම සංචාරයට සහභාගී වී සිටියහ.  

මොවුන් සියලු දෙනා ඉංගිරිය, ශාන්ත පීතර ජනපදයේ පදිංචිකරුවන් වෙති. කතරගම වන්දනාවේ යෙදී දේවාලයේ පූජාව පවත්වා පිරිස තිස්සමහාරාම වැව වෙත පැමිණ ඇත. තිස්සමහාරාම වැව් තාවුල්ලේ නවතා තිබූ බෝට්ටුවක් වැවේ සවාරියක් සඳහා කුලියට ලබා ගෙන ඇති අතර එම අවස්ථාවේ බෝට්ටු පදවන්නා බීමතින් සිට ඇත. විනෝද සවාරියට පැමිණ සිටි තරුණයින් විසි දෙ‍දෙනාද බීමතින් පසුවී සිට ඇති බව අනාවරණය වෙයි. මෙම බෝට්ටුවේ බලපත්‍රය අනුව එහි ගමන් කළ හැක්කේ අට දෙනෙකුට පමණි. අට දෙනෙක් සඳහා ජීවිත ආරක්ෂක කබා බෝට්ටුවේ තිබී ඇත. නමුත් ඒවා මෙම තරුණයින් පැළද ගෙන නැත. විසි දෙදෙනාම බෝට්ටුවට නැග තිබේ. වැව මැද්දේ සංචාරය කිරීමෙන් පසු පෙරළා පිරිස රැගත් බෝට්ටුව ගොඩ බිම දෙසට පැමිණ තිබේ.  

ගොඩබිමට මීටර් 10 ක් පමණ තිබිය දී බෝට්ටුව වෙට්ටුවක්දමනු දුටු බවට සාක්ෂි ලැබී ඇත. සමහර විට එසේ වන්නට ඇත්තේ බීමතින් සිටි තරුණයින්ගේ කලබලකාරි ස්වභාවය නිසා වන්නට ඇතැයි ද සැක කෙරේ. ඒ සමඟ බෝට්ටුව පෙරළී ඇත. බෝට්ටුව පෙරළෙන ආකාරය තිස්සමහාරාම වැව් බැම්ම මත නවතා තිබූ වෙනත් සංචාරක බස්, වෑන් රථවලින් පැමිණ සිටි පිරිස් දැක ඇති අතර ඔවුන් කිහිප දෙනෙක් වැවට පැන පිහිනා ගොස් විපතට පත් වූවන් ගලවා ගත්හ. පෙරලුන බෝට්ටුවේ සිටි පිහිනන්නට දන්නා තරුණයන් වැව් බැම්ම වෙත පිහිනා ඇවිත් තිබේ. පසුව පිරිස ගණන් බැලීමේ දී හත් දෙනෙකු අඩු බව පෙනී ගොස් ඇත. තිස්සමහාරාම පොලිසිය සහ නාවික හමුදාව අතුරුදන් වූවන් සොයා පරික්ෂණ අාරම්භ කළ අතර ඊයේ (22) සවස 4.00 ට පමණ මළ සිරුරු පහක් සොයා ගෙන තිබේ. අනතුරුව සවස 6.00 ට පමණ ඉතිරි දෙදෙනාගේ සිරුරුද සොයා ගෙන ඇත. මෘත දේහ හත දෙබරවැව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.  

බෝට්ටුව පැදවූ සැකකාර පුද්ගලයා සහ එම බෝට්ටුව, ජීවිතාරක්ෂක කබා තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බෝට්ටුව පැද වූ සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර තිස්සමහාරාම වැවේ බෝට්ටු සවාරි ඊයේ (22) දහවල් සිට තිස්සමහාරාම පොලිසිය විසින් තහනම් කර තිබේ
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all