Photobucket

Thursday, December 20, 2012

ක්‍රීඩාවෙන් ලොව දිනන්න ගුවන් හමුදාවෙන් මෙහෙයුමක්

ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අරමුණින් විශේෂ ක්‍රීඩා සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවට අන්තර් ජාතික කීර්තියක් අත්කරදීමට සමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම මෙහි අරමුණය.

ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මේ ක්‍රීඩා සැලැස්මට කෙටි කාලීන, මධ්‍ය සහ දීර්ඝ කාලීන වශයෙන් අදියර 3ක් ඇතුලත්ය.

කෙටි කාලීන සැලැස්ම යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇඳුම් පැළඳුම්, දිරි දීමනා ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙන අතර දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්වීම් ද ලබාදීමට නියමිතය‍. ‍දැනටමත් ගුවන් හමුදාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දැක්වූ චන්ද්‍රිකා සුභාෂිනී රස්නායක කෝප්‍රල් තනතුරටත්, පිහිනුම් ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් පෑ සමන්ත ප්‍රියදර්ශන සාජන්ට් තනතුරටත් උසස්වීම් ලබා සිටිති.

ගුවන් හමුදා සේවයේ නියුතු ක්‍රීඩාවෙන් දස්කම් පෑ පුහුණුකරුවන්ට විදේශ රටවල පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දී එමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඉස්මතු කරගැනීමේ වඩාත් නිවැරැදි ක්‍රමවේදය භාවිතා කිරීම ‍මධ්‍ය කාලීන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරේ. 

ක්‍රීඩා කුසලතාවට අමතරව විනය, අධිෂ්ඨානශීලිත්වය සාර්ථකව ඉස්මතු කරගැනීමට හමුදා සේවයේ පසුබිම සහිත පුහුණුකරුවන්ගෙන් ලැබෙන සහාය අන්තර් ජාතික ජයග්‍රහණ කෙරෙහි වැදගත් සාධකයක් වනු ඇත.
විශිෂ්ට ක්‍රීඩා හැකියාවන් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සඳහා යොමුකරවීමට පෙර පෝෂණවේදීන් සහ භෞතචිකිත්සකවේදීන්ගේ සහාය ලබාගැනීම දීර්ඝ කාලීන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක වන දීර්ඝ කාලීන සැලැස්ම යටතේ මෙරට සෙසු ක්‍රීඩා සංගම්වලින් පරිපාලන අත්දැකීම් ලබාගැනීමට ද නියමිතය.

 දැනට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබූ ක්‍රීඩා 34ක් සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායම් 54ක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් විවිධ ක්‍රීඩා සඳහා යොමුකොට තිබේ. මීට අමතරව මෙරට විවිධ ප්‍රදේශවල විසිරී සිටින ක්‍රීඩාවෙන් දස්කම් දක්වන සෙසු තරුණ තරුණියන්ටත් සිය ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීමට අතහිත දීමට ගුවන් හමුදාව සූදානමින් සිටියි. 

මේ වනවිට මෙරට විවිධ ජාතික ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරමින් දස්කම් දක්වන ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපමණය. එමෙන්ම ජාතික මට්ටමේ විවිධ ක්‍රීඩා ශූරතා සඳහා හිමිකම් කීමටත් ගුවන් හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමත්ව සිටිති. විශේෂයෙන් ‍හොකී, ජූඩෝ, මලල ක්‍රීඩා, පාපැදි, පිහිනුම් සහ මේසපන්දු ක්‍රීඩාවෙන් ජාතික ශූරතා අත්කර ගැනිමට ගුවන් හමුදාව සමත්වී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් ජාතික රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ගුවන් හමුදාවේ සිටිති. 

ගුවන් හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රය ක්‍රීඩා කවුන්සිලයක් මගින් පාලනය වන අතර එහි සභාපතිවරයා ලෙස ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා කටයුතු කරයි. රාජකීය විදුහලෙන් බිහිවූ විශිෂ්ට රගර් ක්‍රීඩකයකු වන ගුවන් හමුදාපතිවරයා කලක් ගුවන් හමුදා රගර් කණ්ඩායම ද නියෝජනය කළේය. 

ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ලෙස ගෲප් කපිතාන් රොෂාන් බියන්විල මහතා කටයුතු කරන අතර විධායක ක්‍රීඩා නිළධාරී ලෙස ගෲප් කපිතාන් චන්දන දීප්ති මහතා කටයුතු කරයි. හෙතෙම ගුවන් හමුදා රගර් කණ්ඩායමේ පුහුණුකරුද වේ. මීට අමතරව සෑම ක්‍රීඩාවක් සඳහාම සභාපතිවරයකු, ලේකම්වරයකු සහ කළමනාකරුවකු පත්වී සිටිති. හිටපු විශිෂ්ටතම බැඩ්මින්ටන් ශූරයකු වන ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් කෝලිත ගුණතිලක මහතා ද ගුවන් හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all