දිවයිනේ ප්‍රසිද්ධ ලීසිං සමාගමකට අයත් ගම්පොළ ශාඛාවේ සේවය කළ ආරක්ෂක
නිලධාරියකුගේ හිසට පහර දී අමානුෂික ලෙස මරාදැමීම සම්බන්ධයෙන් සැකපිට
අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන කළමනාකාරවරයා ලබන ජනවාරි 3 දක්වා රක්ෂිත
බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නිලන්ත පිලපිටිය මහතා නියෝග
කෙළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි ඉමාෂ වාසල
සේනාධීර නැමති අයෙකි.
පසුගිය නොවැම්බර් මස 17 දින උදෑසන මේ ආරක්ෂක නිලධාරියාගේ මළ සිරුර එම
ආයතනය තුළ තිබී හමුවූ අතර මොට ආයුධයකින් හිසට පහර දීම නිසා අධික රුධිර වහනය
හා කම්පනය නිසා ඔහු මියගොස් තිබූ බව වාර්තා වී තිබුණි.
සිද්ධියෙන් මෙසේ මියගොස් තිබුණේ ගම්පොළ ගිරාඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි
ගාමිණිසේන රාජපක්ෂ නැමැති සිවුදරු පියෙකි.
ඝාතනයට ලක්වූ අය 16 දින උදෑසන සිට 17 දින උදෑසන දක්වා රාජකාරියේ නිරතව සිටිය
අතර, 17 උදෑසන වැඩ බාර ගැනීමට පැමිණි අනෙක් ආරක්ෂක නිලධාරියා මොහු මියගොස්
සිටි අන්දම දැක පොලිසියට දැනුම් දී තිබුණි.
පොලිස් පරීක්ෂණවලදී මේ ආයතනයේ මුදල් සේප්පුව කොල්ලකෑමට උත්සාහ දරා තිබූ
අයුරු දැක ගැනීමට හැකි වූ අතර ඒ සඳහා කොල්ලකරුවන් සේප්පුව විවෘත කිරීමට දමා
තිබූ කියතක් හා අනෙකුත් උපකරණ මෙන්ම අත්වැස්මක් ද සොයා ගනු ලැබීය.
ආරක්ෂක නිලධාරියා මරාදමා ආයතනය කොල්ලකෑමට උත්සහ දරා ඇති බවට තිබූ ලකුණු
අනුව පරීක්ෂණ පැවැත් වූ ගම්පොළ පොලිසිය මෙහි පරීක්ෂණ පුළුල් කර නිල සුනඛ අංශය හා
ඇඟිලි සටහන් අංශයද කැඳවා තිබුණි.
ඇඟිලි සටහන් අංශය සොයාගත් ලේ සහිත ඇඟිලි සටහන් මේ ශාඛා කළමනාකරුගේ ඇඟිලි
සලකුණු සමඟ සැසදී තිබීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබුණි.
මේ ඝාතනය සම්බන්ධයෙන් තවත් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර,
පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය මේ සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ පරීක්ෂණ
ආරම්භ කොට තිබේ.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොළ, ස.පො.අ. චුලනී
වීරරත්න, ස.පො.අ. කපිල සෙනෙවිරත්න, මූලස්ථාන පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා
ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඩී. එන්. කාන්ගර,
උ.පො.ප. සුමනවීර යන නිලධාරීහු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
0 comments:
Post a Comment