Photobucket

Thursday, December 6, 2012

රටට ගැළපෙන නිවාස වැඩසටහනකට ආණ්ඩුවට නොමි‍ලේ උපදෙස් දීමට සූදානම්

ජනතාවගේ නිවාස අවශ්‍යතාවය ඉටු කරන බව පවසමින් ආණ්ඩුව ‍පොරොන්දු වූ පරිදි නිවාස ඉදිකර නොමැති බවත් රටට ගැලපෙන නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට නොමි‍ලේ උපදෙස් ලබාදීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේය.
 
නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අංක විජ්ජාවක් මවා පෙන්වන නමුත් ආණ්ඩුව ‍පොරොන්දුවූ නිවාස ප්‍රමාණය මේ වන තෙක් ඉදිකර නොමැති බවද කොළඹදී ඊයේ (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

2005 වසරේදී ඉදිරිපත් කළ මහින්ද චින්තනයෙන් හා 2010 වසරේදී ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් මේ ආණ්ඩුව ජනතාවට නිවාස සම්බන්ධව ‍පොරොන්දු රාශියක් ලබාදුන්නා. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට තට්ටු නිවාස ඉදිකරන බව පැවැසුවා. සෑම ගමකටම එක් වසරකට නිවාස විසිපහක් ඉදිකරන බව පැවැසුවා. ගම්වල ජීවත්වන ජනතාවට නිවාස ඉදිවෙතැයි යන බලා‍පොරොත්තුව තිබුණා.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව 2010 වසරේ සිට ඉදිරි වසර හය ඇතුළත නිවාස ලක්ෂ හයක් ඉදිකරන බවට ‍පොරොන්දු ලබාදුන්නා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස එක්ලක්ෂ පනස්දහසක් ඉදිකරනවා කීවා. රාජ්‍ය සේව නිවාස යෝජනා ක්‍රම අනුව සෑම දිස්ත්‍රික්කයකටම නිවාස විසිදහසක් ඉදිකරන බවටත් විශ්වවිද්‍යාල ප්‍රජාව සඳහා නිවාස පන්දහසක් ඉදිකරන බවත් ආණ්ඩුව පැවැසුවා.

කොළඹ නගරයේ පැල්පත් නිවාස ගැටලුව විසඳීමට තට්ටු නිවාස ඉදිකරන බව පැවැසුවා. ඒත් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ආමාත්‍ය විමල් වීරවංශ ඉන් පසුව පැවැසුවේ නිවාස ලක්ෂ දහයක් ඉදිකරන බවයි. එම ඉලක්කය සපුරාගැනීමට වසරකට නිවාස එක්ලක්ෂ හැට හයදහසක් ඉදිකළ යුතුයි. එක් දිනකට නිවාස 462ක් ඉදිකළ යුතුයි. නමුත් නිවාස සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කරන සංඛ්‍යා ‍ලේඛන අනුව 2010 වසරේදී ඉදිකර ඇත්තේ නිවාස 6547ක් පමණයි. 2011 වසරේදී ඉදිවී ඇත්තේ නිවාස 11027ක් පමණයි. ඒත් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මෙවර වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා‍ලේඛන අතර පරස්පරයක් තිබෙනවා. ඉලක්කම් නූල් සූත්තරයක් ඉදිරිපත් කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ නිවාස විසිපන්දහසක් ඉදිකර ඇති බවයි.

කවුරු මොනවා කිව්වත් නිවාස දස ලක්ෂයේ ඉලක්කයට ගව් ගණනක් පිටුපසින් තමයි දැන් සිටින්නේ. නිවාස ඉදිකිරීම් පිළිබඳ ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා ‍ලේඛන ගණිත ජිල්මාට් එකක් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ‍ලේකම් බැංකි මූන් පරිගණක වෛරසයක් ඉදිරිපත් කරලා සංඛ්‍යා‍ලේඛන වෙනස් කළා කියලා මේ අය කියන්න පුළුවන්. ‍පොරොන්දුවූ පරිදි නිවාස ඉදි නොකළේ විජාතික ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසාද?

දැන් නිවාස විෂය භාර ඇමැතිවරයා දහතුනද දහතුනට එහා යාමද, දහතුනෙන් මෙහා සිටීමද කියලා කතා කරනවා. මේවා ප්‍රකාශ කරමින් ජනතාව රවටමින් සිටිනවා. ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා වෙනුවට නොයෙක් ප්‍රකාශ කරමින් සිටිනවා. නිවාස ඇමැතිවරයාට ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කරන්න බැරිනම් රටට අවශ්‍ය නිවාස වැඩපිළිවෙළ සකස් කරන ආකාරය ගැන ඇමැතිවරයාට නොමි‍ලේම උපදෙස් ලබාදීමට සජිත් ප්‍රේමදාස සූදානමින් සිටිනවා.
 
සංජය නල්ලපෙරුම 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all