Photobucket

Wednesday, December 5, 2012

අලුත්කඩේ ගිනියම් වෙයි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර එය විභාග කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මඟින් ආරම්භ කිරීමත් සමඟ අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර හටගත් ගැටුම දිනෙන් දින උග්‍ර අතට පත්වෙමින් තිබේ. තේරීම් කාරක සභාවේ විමර්ශනය සඳහා ඊයේ දිනටත් පාර්ලිමේන්තු සංකීර්ණයට ගිය අගවිනිසුරුවරියට ආශිංසනය කිරීමට මහ සඟරුවනද, විද්වතුන් සහ නීතිඥයෝද, අලුත්කඩේ උපරිමාධිකරණයට රැස්ව සිටියහ.

උදේ 10.30 ට ආරම්භ වීමට නියමිත තේරීම් කාරක සභා විමර්ශනයට යෑම සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ප්‍රධාන ‍ෙදාරටුව වෙත පැමිණි අගවිනිසුරුවරියට සෙත්පතා මාදුළුවාවේ ශෝභිත හිමි ප්‍රධාන මහා සංඝයා වහන්සේ පිරිත් සජ්ජායනා කළහ.
 අනතුරුව නීතිඥවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු පහළ අධිකරණ විනිශ්චයකාරවරු ඇතුළු විශාල පිරිසක් අත්පොළොසන් දෙමින් අගවිනිසුරුවරියට සුබ පැතූහ.

මේ අතරේ අධිකරණ පරිශ්‍රයට පිටතින් සෑහෙන පිරිසක් එක සමාන සටන්පාඨ පුවරු රැගෙන රජයට ජයවේවා යනුවෙන් ඝෝසා නඟමින් ඔවුන් හැමදෙනා ඒවා ප්‍රදර්ශනය කළ අතර ඔවුන් අතර සිටි බොහෝ දෙනෙක් අධිකරණ පරිශ්‍රයේ යකඩ වැට අස්සෙන් අගවිනිසුරුවරියට ආශිංසන කරනු බලා සිටියහ.

එම යකඩ වැට ආරම්භ වන තැන සිට අලුත්කඩේ බෝමළුව ළඟ ඇති ගේට්ටුව දක්වා තරුණ ගැහැනු පිරිමි සිටි අතර පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් එම පිරිසේ ආරක්‍ෂාවට මෙන් යොදා සිටියහ.

අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුව බලා පිටත්වීමේදී මේ පිරිස පසුකරද්දී කලබලකාරී තත්ත්වයක් ඇතිවෙනු ඇතැයි පොලිසිය සැකපහළ කළත් ඇය අධිකරණ පරිශ්‍රයේ පංචිකාවත්ත පැත්තට ඇති ගේට්ටුවෙන් සිය නීතිඥයන් සමඟ පිටත් වූවාය.

ඉන් ටික වේලාවක් යනතුරු සංඝයා වහන්සේ සහ රැස්ව සිටි පිරිස් සත්‍යක්‍රියාවක නිරත වූහ.
මෙහි විශේෂ සිද්ධිය වනුයේ එක් නීතිඥවරයෙක් සුදු ඇඳුමෙන් සැරැසී අධිකරණයේ ආලින්දයේ එරමිණියා ගොතාගෙන වාඩිවී 'රාජා භවතු ධම්මිකෝ' යනුවෙන් ලියන ලද පුවරුවක් ඉදිරියෙන් තබාගෙන පැය 1 1/2 භාවනානුයෝගීව සිටීමයි.

මේ අතර අධිකරණ පරිශ්‍රයේ යකඩ වැට පිටතින් සිටි බොහෝ දෙනා ටික වේලාවකින් ඔවුන් අත තිබූ සටන් පුවරු එතැනම දමා පිටත්ව ගොස් තිබිණි.

පොලිසිය පැවැසුවේ ඔවුනට දහවල් ආහාරය සඳහා බත් පැකට් ගෙනැවිත් පිරිසක් ඒවා බෙදාදීමෙන් පසු ඔවුන් නිවෙස් බලා යන්නට ඇති බවයි.

මේ ගැටීම පිළිබඳ වාර්තා කිරීමට මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර බී.බී.සී., අල්ජසිරා, රොයිටර් වැනි මෙරට සිටින විදේශ මාධ්‍යවේදීන්ද සිටිනු දක්නට ලැබිණි.

උපරිමාධිකරණයට රැස්ව සිටි නීතිඥයන් ඇතුළු පිරිස තේරීම් කාරක සභාවේ විමර්ශනය අවසන් වී අගවිනිසුරුවරිය නැවත එනතුරු බලා සිටියහ.

දවල් 1.45ට පමණ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නිල මැදිරිය වෙත පැමිණි අගවිනිසුරුවරිය දිවා භෝජනය සඳහා පැමිණ යළිත් විමර්ශන විභාගය සඳහා සියලු දෙනාගේ අත්පොළොසන් මධ්‍යයේ පාර්ලිමේන්තුව බලා පිටත් වූවාය.

බී.බී.සී. ආයතනයෙන් පැමිණි බි්‍රතාන්‍ය ජාතිකයා දෙපාර්ශ්වයේම අය සමඟ සාකච්ඡා කරනු දක්නට ලැබිණි. ඔහු පළමුවෙන්ම සාකච්ඡා කෙළේ නීතිඥවරයකු සමඟය.
බී.බී.සී. මාධ්‍යවේදියා නීතිඥවරයාගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔහු පැවැසුවේ මේ රටේ සෑම ක්‍ෂේත්‍රයක්ම දේශපාලනීකරණය වන බව අපට දැනුණා.

එහෙත් අධිකරණයත් දේශපාලනීකරණය වීම අරඹා තිබෙන බව අප මේ සිද්ධියෙන් දුටුවා. අපි මීට විරුද්ධවන්නේ පුද්ගලයකු බේරා ගැනීමට නොව අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමටයි, නීතියේ ආධිපත්‍යය සඳහායි.

අනිත් පාර්ශ්වයේ පුද්ගලයකුගෙන් බී.බී.සී. මාධ්‍යවේදියා කළ සාකච්ඡාවේදී ඔහු කීවේ අපේ රජතුමා නිසා මීට සහභාගි වූ බවයි.

ඔබ රජතුමා කියන්නේ කාටද? ජනාධිපතිතුමාටය.. ඇයි ඔබ ඔහුට රජතුමා කියන්නේ? ඔහු අපව ආරක්‍ෂා කළා. තවත් ආරක්‍ෂා කරනවා.

අගවිනිසුරුවරිය ගැන ඔබේ අදහස කුමක්ද? එයාව අයින් කරන්න ඕනෑ. ඇයට එරෙහිව නඟා ඇති චෝදනාවලට ඇය වැරැදිකාරිය බව ඔබ පිළිගන්නවාද? ඔව්. ඇය වැරැදිකාරිය. බව ඔබ කියන්නේ කොහොමද? අෑට ඇති චෝදනා ගැන මා මාධ්‍ය මඟින් දැනගත්තා.

ස්ටැන්ලි සමරසිංහ
මවුබිම ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all