සැමියා බිරිඳගේ දෙවියාය
යනුවෙන් කියමනක් තිබේ. එහෙත් එය යථාර්ථයක් වීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ
විය යුතුය. බිරිඳගේ පූර්ණ ගෞරවාදරයට ලක්වීමට සුදුසු ඇවතුම් පැවතුම් රටාවක්
සැමියා සතුවීම ඉන් පළමු වැන්නය.
දෙවැන්න සැමියාට හිමිකොට ඇති දේවත්වය අන් කිසිවකුට කිසි අයුරකින්
නොපැවැරීමට බිරිඳ මුළුමනින්ම වගබලා ගැනීමය.
ඉහත සඳහන් කරුණු දෙක සම්පූර්ණ නොවීම මත සැමියා බිරිඳගේ දෙවියාය ; යන්න සැමියා බිරිඳගේ යක්ෂයාය යන්න බවට පෙරැළුණු සත්‍ය කතා ප්‍රවෘත්තියක් පසුගිය දිනවල අසන්නට ලැබිණ. ඒ දංකොටුව ප්‍රදේශයෙනි.
දංකොටුව, මැටිකොටුව පීතරවත්තේ පදිංචි දිනේෂ් ප්‍රියංකර විවාහක දෙදරු පියෙකි. ඔහුගේ වැඩිමල් පුතු දසහැවිරිදිය. බාල පුතුගේ වයස යන්තම් අවුරුදු හතරක් සපිරුණා පමණි. ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොවූ දිනේෂ් තම දරු පවුල පෝෂණය කළේ ගඩොල් කැපීමෙනි. එහෙත් ඉන් යහපත් දිවි පවෛතකට සරිලන ආදායමක් ඔහුට හිමි නොවිණි. එමෙන්ම සිය බිරිය හා දරු දෙදෙනා සමග ජීවත් වීමට ස්ථිර නිවසක් ද දිනේෂ්ට නොවීය.
කෙසේ
හෝ ටිකක් ලොකුවට ගෙයක් සාදා ගැනීමේ අහිංසක ආශාවක් මුල සිටම ජනිත වී තිබුණේ
දිනේෂ්ගේ බිරිඳ තුළය. තම දරු දෙදෙනාට මදි පුංචිකමක් නොවන අයුරින් ඒ නිවස
තනා ගත යුතුයැයි ඇය කල්පනා කළාය. තමන් තුළ පවත්නා මේ ආශාව නිසාම දිනේෂ්
කපන ගඩොල්වලින් යම් ප්‍රමාණයක් යොදා ගනිමින් තරමක නිවසක අත්තිවාරම දමා
බිත්ති ඉහළට නංවා ගැනීමටත් ඇයට හැකි විය. එහෙත් ගඩොල් තිබූ පමණින් නිවසක්
ඉදිකළ නොහැකිය. එහි උළුවහු දොර ජනෙල් සහ වහලය තනා ගැනීම සඳහා දැව සෑහෙන පමණ
අවශ්‍ය වේ. වඩු කාර්මිකයන් සඳහා ද ලොකු
කුලියක් ගෙවිය යුතුය. එමෙන්ම බිත්ති කපරාරුවට සහ පොළවට යෙදීමට වැලි,
සිමෙන්ති ද අවශ්‍යය; පෙදරේරුවන්ට ද සෑහෙන කුලියක් ගෙවීමට සිදුවනු ඇත. එහෙත්
දිනේෂ් ගඩොල් කපා ගන්නා සොච්චම් මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගනු මිස
එවැන්නක් සිදු කිරීම හුදු සිහිනයක් පමණක් විය.
“අනේ දිනේෂ් මේ ගන්න තුට්ටු දෙකෙන් නම් අපිට මේ කපේ දී මේ ගෙදර හදලා ඉවරයක් කරන්න බෑ ; මං දන්න විදිහට අපිට මේ ගේ හදලා ඉවර කරන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නේ”.
දිනක් අඩක් ඉදිවුණු නිවසේ ගඩොල් බිත්ති දෙස බලා සුසුම් හෙළන අතරේ ඔහුගේ බිරිඳ කීවාය.
“ඒ මොකක්ද ඒ ක්‍රමේ ?” දිනේෂ් ඇසුවේ කුතුහලයෙන් යුතුවය.
“මං රට යන එක තමයි ඉතින්” බිරිඳ කීවාය. එහෙත් ඇගේ ඒ පිළිතුරින් දිනේෂ් දණ්ඩෙන් පහර කෑ සර්පයකු මෙන් කිපුණි.
“ඔය රට යන ගෑනුන්ට සිද්ද වෙන දේ මං දන්නවා. මීට පස්සේ උඹ මට ඇහෙන්න ඔය වචනේ කියලා තිබුණොත් දැන ගනින් උඹට කරන දේ; උඹ රට යනවා නම් මකබෑවිලාම පලයන් ආයිත් උඹේ හුළඟක්වත් මට එපා” ඔහු කෝපයෙන් ගුගුරන්නට විය. ඒ අනුව ඔහු හා යළි එක වදනක්වත් දොඩන්නට ඇය බිය වූවාය.
විදේශ රැකියාවට යන කාන්තාවන් අනාචාරයේ යෙදෙන බව ලිංගික අතවරවලට සහ අපයෝජනවලට ලක්වන බව අර්ධ සත්‍යයක් පමණි. තම ආත්ම ගෞරවය රැක ගනිමින් අතවරවලට ලක් නොවී ඉතා යහපත් ලෙසින් විදේශ රැකියාවල යෙදී විදෙස් ඉසුරු ද රැගෙන මව්බිම කරා එන අපේ රටේ කතුන් ද නැත්තේම නොවේ. නමුත් දිනේෂ්ට මේ යථාර්ථය වටහා ගත නොහැක්කේ ඇයි ? ඔහු කිනම් හෝ අද්භූත මානසික විපර්යාසයකට පත්ව හිඳින නිසා විය යුතුය ; බිරිඳට එසේ සිතිණ.
ඒ අනුව බිරිඳගේ ඊළඟ අභිප්‍රාය වූයේ මන්ත්‍ර ගුරුකම් බලයකින් හෝ දිනේෂ්ගේ සිත වෙනස් කර ගැනීමටය. ඒ අනුව ඇය දේවාල ගානේ ගොස් ඒවායේ කපුවන්ට තම අවශ්‍යතාවය කීවාය. ඒ ඇය තුළ වූ අසරණ අහිංසකකම නිසාය.
“ඕක අපිට බොහොම සුළු දෙයක් ; වරු හතෙන් ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. පුරුෂයාගේ හිත ගිතෙල් වගේ උණුවෙන බලගතු ගුරුකම් අපි ළඟ තියෙනවා. ඒ වගේම රට රස්සාවල් සීයට සීයක් නෙවෙයි සීයට දාහක්ම සාර්ථක කරවන යන්ත්‍ර මන්ත්‍ර හදලා දෙන්න අපිට පුළුවන්. ඒවා කරවා ගෙන ගියොත් එක ගෙට ගෙවල් හත අටක් වුණත් හදා ගන්න පුළුවන්. ‘එම’ දේවාලවල කපුවන් දිනේෂ්ගේ බිරිඳ ගේ සිතට අස්වැසුමක් හිමිකර දුන්නේ එලෙසිනි. ඒ අනුව ඇය ඔවුන්ට පුද පඬුරු දෙමින් ඒ ශාන්තිකර්මවල යෙදුණාය. ඒ අනුව මතුපිටින් නොපෙනුණ ද තම විදේශ ගත වීම සම්බන්ධයෙන් දිනේෂ්ගේ යටි සිත තුළ කැමැත්තක් ඇතැයි බිරිඳට සිතිණ. තම දිවියේ දෙවිඳුන්ගේ කැමැත්තට පටහැනිව නොපෙනෙන දෙවිවරුන්ගේ ආශීර්වාදය හිමිව ඇතැයි වටහා ගත් ඇය විදෙස් ගත වූයේ ඒ අනුවය. නමුදු තම බිරිඳ එලෙස හදිසියේ තමන්ට ද නොදන්වා විදෙස් ගත වීම දිනේෂ්ට කෙසේවත් ඉහිලුම් දෙන්නක් නොවීය.
“ඒකි කොහොමද මගේ කීමට ඉහළින් හිටපු ගමන් රට ගියේ. කවුද ඒකිට රට යන්න අවසර දුන්නේ ; මට ඔය ගමන ගැන සැකයි.
දිනේෂ්
තම ඥාති මිත්‍රාදීන් ගෙන් එලෙස අසමින් ගෙන්ගෙට ඇවිදින්නට විය. එමෙන්ම තම
බිරිඳගේ යුග දිවියේ දේවත්වයෙන් පිටමංව සිටි දිනේෂ් ඉන්පසු මුළු දවස පුරාම
සුරා යක්ෂයාගේ නරකාදියේ පැලපදියම් වීමට ද පුරුදු විය. මේ අතර දිනේෂ්ගේ මෙම
වියරු හැසිරීම් රටාව ඔස්සේ ඔහු සතු පිය ගුණය ශීඝ්‍රයෙන් ගිලිහී යන බව
තේරුම් ගැනීමට ද සෙස්සන්ට හැකිවිය. ඒ අනුව ඔහුගේ සොයුරියක පැමිණ දිනේෂ්ගේ
දස හැවිරිදි පුතු තම භාරයට ගත්තේ මෙම කුඩා දරුවා තවදුරටත් දිනේෂ් සමීපයේ
රඳවා ගැනීම එතරම් ගුණ නැති බව වටහා ගනිමිනි. නමුදු මෙලොව පිළිබඳ හයක් හතරක්
නොදත් සිව් හැවිරිදි ‘කිරි සප්පයාට’ දිනේෂ් ගෙන් නපුරක් අයහපතක් සිදු
නොවෙතැයි ඇය විශ්වාස කළාය.
මේ අතර හොඳින් හෝ නරකින් තම බිරිඳ නැවත නිවසට ගෙන්වා ගැනීමට තීරණය කළ දිනේෂ් විදේශ ගතව සිටින ඇයගේ දුරකථන අංකය සොයා ඇයට ඇමතුමක් ගත්තේය. එහෙත් කුමන හෝ හේතුවක් මත එම ඇමතුමට පිළිතුරු දී ඇත්තේ පිරිමියෙකි. විදේශ රටක සේවයේ යෙදී සිටින කාන්තාවකට දෙන දුරකථන ඇමතුමකට පිරිමියකු පිළිතුරු දීම අතිශය සුලබ සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් දිනේෂ් එය වටහා ගත්තේ අතිශය අන්තගාමී ආකාරයකටය. ඇතැම් විට එය ඔහු තේ කෝප්පයේ කිඹුලන් දුටු අවස්ථාවක් ද විය හැක. එම දුරකථන ඇමතුමින් පසු තම බිරිඳ සමග බලවත් ක්‍රෝධයකින් පසු වූ ඔහු ක්‍රියාකොට ඇත්තේ තිරිසනකු මෙනි. ඒ තම බිරිඳගෙන් පළිගැනීමට ක්‍රමයක් නොමැති බැවින් සිව් හැවිරිදි කුඩා පුතුට කුරිරු සාහසිකකම් කිරීමට පෙළඹීමෙනි.
පසුගිය නොවැම්බර් තිස් වන දා වන විට සුරාවෙන් සිත් විකල් කරගත් දිනේෂ් මුළුමනින් උන්මන්තකයකු බවට පත්ව සිටියේය. එදින පෙරවරුවේ සිට ඔහු තම සිව්හැවිරිදි දරු සිඟිත්තාට අමානුෂික ලෙස වධ හිංසා පමුණුවන අයුරක් අසල් වැසියනට වැටහුණි. ඒ සිඟිත්තාගේ මරලතෝනි හ¾ඩිනි. මේ අතර සිඟිත්තාගේ ලතෝනියේ කිසියම් අමුත්තක් ඇති බව වටහා ගත්
දිනේෂ්ගේ සොයුරියගේ දියණියන් දෙදෙනා හනික එම නිවස දෙසට දුවන්නට වූහ. එවිට ඔවුන්ට දැකගත හැකි වූයේ දිනේෂ්ගේ නිවසේ බාල්කයක වයරයකින් එල්ලී පුංචි හා පැටවකු මෙන් පණ ගැහෙමින් හිඳින අහිංසක හේෂාන් පුතුය. එය දුටු එම යුවතියන් දෙදෙනාට දෙලොව රත් විය. යටි ගිරියෙන් විලාප නගමින් එම වයරය කපා දමා සිඟිත්තා තමන් අතට ගත්හ. මෙම යුවතියන්ගේ කෑගැසීමට
දිනේෂ්ගේ නිවසට වටින් ගොඩින් සෙනඟ පිරෙන්නට පටන් ගත්හ. ඒ වන විට මරුවාගේ දත් අතරේ සිරව සිටි හේෂාන් සිඟිත්තා වහාම දංකොටුව දිසා රෝහල වෙත ගෙන යන ලදී. මේ අතර ඒ මොහොතේම නිවසින් පලාගිය දිනේෂ් කොහේදැයි ඥාතීන් සහ අසල් වැසියෝ විමසන්නට වූහ. එවිට ඔවුන්ට දැකගත හැකි වූයේ අද්දර පාළු ළිඳක හරස් පොල්ලෙහි එහිම කඹයකින් එල්ලී ඇති දිනේෂ්ගේ උණුසුමවත් නොගිය මළ සිරුරය.
තත්ත්වය බරපතළ බැවින් පසුව මීගමුව මහ රෝහලටත් එතැනින් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලටත් හේෂාන් මාරු කොට යැවිණි.
ඒ කෙසේ හෝ තම බිරිඳගේ පති භක්තිය ලැබිමට නොසුදුසු සැමියන් සහ තම සැමියාගේ අභිමතයට වඩා අද්භූත බලවේගයන් කෙරෙහි විශ්වාස කරන බිරියන් අප සමාජයේ හිඳින තාක් මෙබඳු ඛිෙදනීය කතා පුවත් මෙරට සාමාන්‍ය ජන සමාජයට වෙනින් කිසිදු අයුරකින් ආගන්තුක නොවනු ඇත.
0 comments:
Post a Comment