Photobucket

Sunday, December 16, 2012

ලයන් එයාර් යානය කලපුවට මිනිස්‌ සිරුරු පුනරීන් වැලි පොළවට!

සෝඩියම් මූලද්‍රව්‍ය බහුල වීමෙන් පුනරීන් කලපුවේ වැලි දිස්‌වන්නේ සුදුම සුදු පාටිනි. ගොඩ ගැසෙන වැලි ගොඩවල් දුර සිට බලන අයට පෙනෙන්නේ සුදු සීනි ගොඩ ගැසූ සීනි ගොඩවල් ලෙසිනි. වරෙක සවල් වලින්ද තවත් වරෙක යෝධ බැකෝ යන්ත්‍රයේ කුල්ලෙන්ද තැන් තැන්වලට ගොඩ ගැසෙන පුනරීන් කලපුවේ සුදෝ සුදු වැලි ගොඩවල් දෙස සියල්ලෝම නෙත් අයාගෙන බලා සිටියේ මිනිස්‌ සිරුරක ඇටකැබලි කුමන මොහොතේ සවලට හෝ බැකෝ කුල්ලට හසුවේද යන දෙගිඩියාවෙනි. දෙසේ විදෙස්‌ මාධ්‍යවේදියෝ ගිනිගහන අව්වේ ඔවුන්ගේ උකුසු ඇස්‌ හෑරෙන වළවල් කෙරේ යොමු කරමින් කැමරාවේ ෂටරයේ බොත්තමට දකුණතේ දබරැඟිල්ල රුවා ගෙන සීරුවෙන් සිටියහ.

පුනරීන් කලපුවෙන් ගොඩට එන මිනිස්‌ ඇටසැකිල්ලක ඡායාරූපය පළමුවෙන්ම ගැනීමට සෑම මාධ්‍යවේදියකුම සැදී පැහැදී සිටියත් දින තුනක්‌ තිස්‌සේ කිසිදු ගහක්‌ කොළක්‌ නොමැති පුනරීන් කලපුවේ ගෙවූ විඩාබර දින තුන අතීතයට එක්‌වූවා මිස හමුවූ ඇටකටුවක්‌ නැත.

මේ සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටියේ එක්‌ මිනිසකුගේ ඇටසැකිල්ලක්‌ දැක බලා ගැනීමට නොව මිනිසුන් තිස්‌ එක්‌ දෙනකුගේ ඇටසැකිලි දැක බලා ගැනීමටය. මිනිසුන් තිස්‌ එකක ඇටසැකිලි වළවල් තුනකට මිහිදන් වූයේ කෙසේද එයද යුද්ධය විසින් නිර්මාණය කරන ලද තවත් අනුවේදනීය කතා පුවතක මළ සිරුරු තිස්‌ එකකි.

යුද සමයේදී අද මෙන් යාපනය මහනුවර ඒ 9 මාර්ගය ඔස්‌සේ පවනට බඳු වේගයෙන් ගොඩබිමින් යාපනයට ළඟා වීමට නොහැකි විණි. යාපනයේ වැසියෝත් යාපනයට යැමට අවශ්‍යතාවක්‌ ඇති පුද්ගලයෝත් එදා එක්‌කෝ නැවක බෝට්‌ටුවක එසේත් නොමැතිනම් ගුවන් යානයක පිහිට පැතූහ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා මගින් කාලයක්‌ම යානයේ වැසියෝ යාපනයෙන් කොළඹටත් කොළඹින් යාපනයටත් රැගෙන යද්දී පෞද්ගලික සමාගම් දෙකක්‌ද කුලියට ගත් ගුවන් යානා උපයෝගී කරගෙන යාපනය - කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹූහ. ''ලයන් එයාර්'' ''සෙරන්ඩිබ්'' වැනි සමාගම් බිහි වී ගුවනින් වැසියන් එහා මෙහා කරන්නට වූහ.

1998 වර්ෂයේ සැප්තැම්බර් විසිනව වෙනිදා එයාර් ලංකා ගුවන් සමාගම සිය නවීනතම ගුවන් යානය පලාලි ගුවන් තොටුපළේ ගාල් කළේ පෙරවරු 9.20 ට රත්මලාන බලා පියාසර කරන්නටය. යැමටත් ඒමටත් රුපියල් 9000 බැගින් මුදල් ගෙවා ලබාගත් ගුවන් ටිකට්‌ පත අතැතිව මහීහු එකා දෙන්නා ගුවන් යානයට ගොඩවූහ. යුකේරේන ජාතික ගුවන් නියමුවන් දෙදෙනකු විසින් පදවන ලද එම ගුවන් යානයේ ඔවුන් දෙදෙනා සමග කාර්ය මණ්‌ඩලය 7 ක්‌ විණි. එදා සාඩම්බර ගුවන් ගමනට මගීහු 48 දෙනෙකු එක්‌ වී සිටියහ. සියල්ල සම්පූර්ණවීමෙන් පසුව යුක්‌රේන ජාතික ගුවන් නියමුවා වවුනියාව ගුවන් හමුදා කඳවුරත් රත්මලාන ගුවන් හමුදා කඳවුරත් අමතා සිය යානය ගුවන් ගත කිරීමට අවසර පැතීය.

පලාලි ගුවන් හමුදා කඳවුරෙන් ලද විධානයත් සමගම ලයන් එයාර් යෝධ කුරුල්ලා යාපනයේ තල්වැටට ඉහළින් උඩුගුවනට පිවිසියේ පැයකුත් විනාඩි දහතුනකින් රත්මලාන ගුවන් තොටුපළට ළඟා වීමේ අටියෙනි. එහෙත් ගුවන් යානය අහසට නැගී විනාඩි පහළොවක කාලයක්‌ ගතවන්නට ඇත. හදිසියේම ගුවන් යානය රේඩාර් තිරවලින් අතුරුදන් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් පාලන මධ්‍යස්‌ථානවල නිලධාරීන් දුටුවේය.

පලාලි ගුවන්හමුදා කඳවුරෙන් වවුනියාව ගුවන් හමුදා කඳවුරට ඇමතීමක්‌ ලැබිණි. ඒ ලයන් එයාර් යානය වවුනියාව පසු කළේ දැයි දැන ගැනීමටය. එහෙත් එවැන්නක්‌ සිදුවී නොතිබිණි. පැයකට පමණ පසුව ලැබුණු මුල්ම ප්‍රවෘත්තිය වූයේ ''ලයන් එයාර්'' යානය මුහුදට කඩා වැටී ඇති බවයි. එය කෙලෙස කෙසේ සිදුවූයේ දැයි සෙවීමට ලයන් එයාර් ගුවන් සමාගමට වඩා එදත් වෙහෙසුණේ මාධ්‍යවේදීහුය. දහවල් 11 ට පමණ එල්. ටී. ටී. ඊ. ගුවන් විදුලිය මගින් ලයන් එයාර් යානයක්‌ පුනරීන් මහ මුහුදට කඩා වැටුණු බව නිවේදනය කළේය. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානය කඩා වැටුණු බව ඔවුන් ප්‍රකාශ නොකළද ගුවන් හමුදාව දහවල් දොළහ පමණ වන විට ලයන් එයාර් ගුවන් යානය කඩා වැටී ඇත්තේ එල්. ටී. ටී. ඊ. මිසයිල ප්‍රහාරයකින් බව සනාථ කළේය.

දින තුනකට පසුව උදෑසනම පුනරීන් ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරක සඳහන් වූයේ මළසිරුරු 5 ක්‌ පුනරීන් කලපුවට ගොඩ ගසා ඇති බවය. කෙමෙන් කෙමෙන් ගොඩබිමට ගසා ගෙන ආ මළ සිරුරු සංඛ්‍යාව වැඩිවී දින පහක්‌ වන විට මළසිරුරු සංඛ්‍යාව තිස්‌ එකක්‌ දක්‌වා ඉහළ නැගුණි. මළ සිරුරු ගොඩගසා ඇති බව කනවැකෙත්ම එදා ''ලයන් එයාර්'' යානයේ පැමිණි පිරිසගේ ඥතීන් කුලියට ගත් වාහන වලින් පුනරීන් බලා යැමට වවුනියාවට පැමිණියහ. එදා මේ මුළු ප්‍රදේශයේම එල්. ටී. ටී. ඊ. ය විසින් පාලනය කරන ලද ප්‍රදේශයක්‌ වූ බැවින් දුර බැහැර සිට පැමිණි පිරිසට වවුනියාවෙන් ඔබ්බට යා නොහැකි වූයෙන් ඔවුන් විලාප තබමින් ආපසු ගියහ.

පුනරීන් මුහුදු වෙරළට ගොඩ ගැසූ මේ මළ සිරුරු තිස්‌ එක එල්. ටී. ටී. ඊ. ය විසින් පුනරීන් කවුදාරිමුනෙයි ප්‍රදේශයේදී මිහිදන් කලේ එම පළාතේ ග්‍රාමනිලධාරිවරයාගේද සහාය ඇතිවය. මළසිරුරු පිළිබඳ කතා පුවත මළසිරුරු මිහිදන් කිරීමත් සමගම මැකී ගියද ඊළඟ ප්‍ර්‍රශ්නය වූයේ ''ලයන් එයාර්'' ගුවන් යානයට එල්. ටී. ටී. ඊ. ය මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළෙ මන්දැයි යන ප්‍රශ්නයයි.

''ගුවන් යානයක්‌ ගන්න ඕනෙ නිසා තමයි එල්. ටී. ටී. ඊ. ය ඕක කළේ'' අයෙකු ගේ මතය එසේ වුවත් තවත් අය කිව්වේ. එල්. ටී. ටී. ඊ. යට ප්ලේන් හදන්න එන්ජිමක්‌ ඕනෙ හන්දා ඕක කළේ යනුවෙනි. හමුදාවෙ ප්ලේන් එකක්‌ කියලා වැරදිලා තමයි ඕකට ගහලා තියෙන්නෙ. අපේ රටේ බොහෝ දෙනකුගේ මතය එයම විය.

නමුත් එල්. ටී. ටී. ඊ. ''ලයන් එයාර්'' ගුවන් යානයට ප්‍රහාර එල්ල කොට එය විනාශ කළේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක්‌ මතය. එල්. ටී. ටී. ඊ. ය මුදල් උපයන සෑම අයෙක්‌ගෙන්ම කප්පම් ලබා ගත්තා. ''ලයන් එයාර්'' සමාගමෙන් එකවර විශාල මුදලක්‌ ඉල්ලා සිටීමත් එය ප්‍රතික්‍ෂේප වීමත් නිසා ඔවුන් නිතර නිතර ''ලයන් එයාර්'' සමාගමේ බලධාරීන්ට අනතුරු ඇඟවීය. අවසානයේදී ගුවන් යානයේ ගමන් කළ අහිංසක මිනිස්‌ ජීවිත 55 ක්‌ ගැන අබමල් රේණුවකද තැකීමක්‌ නොකළ එල්. ටී. ටී. ඊ. ය මුදල්මය ප්‍රශ්නය මත ගුවන් යානය විනාශ කොට ''ලයන් එයාර්'' ගුවන් ගමන්වලට තිත තැබුවේය.

1998 සැප්තැම්බර් 28 වෙනිදා යාපනයේ එක්‌තරා විදුහලක ළමයින් පිරිසකට කොළඹ යැමේ අවශ්‍යතාවක්‌ පැන නැගිණි. විදුහල්පතිවරයා ලයන් එයාර් සමාගම අමතා ආසන සංඛ්‍යවක්‌ පහසු මිලකට ඉල්ලා සිටියේය. එකවර එතරම් ආසන සංඛ්‍යාවක්‌ පහසු මිලකට ලබාදීම කළ නොහැකි නිසා මේ ගැන කතා කිරීමට යානයේ පිහිටි ''ලයන් එයාර්'' සමාගමේ ප්‍රාදේශීය කාර්යාලයට පැමිණෙන ලෙස විදුහල්පතිවරයාට කොළඹින් දුරකථන පණිවුඩයක්‌ ලැබිණි. ඔහු අදාළ කාර්යාලයට ගොස්‌ ගුවන් ගමන ගැන තොරතුරු කතා කරන අතර තුර ඔහුට දුරකතන ඇමතුමක්‌ ලැබිණි. ඒ, එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරිකයකු ගෙනි.

''පණට ආදරයක්‌ තියෙනවානම් ප්ලේන් එකේ යන්න එපා කරදර වෙයි'' හේතුවක්‌ ප්‍රත්‍යයක්‌ නොමැතිව ලැබුණු මේ විධානයෙන් කලබලයට පත්වූ විදුහල්පතිවරයා.

''අපි ළමයි එක්‌ක කතා කරලා පස්‌සෙ එන්නම්'' උදව් කළාට බොහොම ස්‌තූතියි යනුවෙන් පවසා විදුහලට පැමිණ කොළඹ ගමන අවලංගු කළේ සැප්තැම්බර් මස 26 වැනිදාය. සැප්තැම්බර් මස 29 වැනිදා ''ලයන් එයාර්'' යානයට ප්‍රහාර එල්ල විණි.

මින් ඉතාම පැහැදිලි වන්නේ එල්. ටී. ටී. ඊ. ය ලයන් එයාර් ගුවන් යානයට ප්‍රහාර එල්ල කළේ වැරදීමකින් නොවන බවය. එය හිතාමතාම කාලයක්‌ තිස්‌සේ සැලසුම් කළ ප්‍රහාරයක්‌ බව මනාව පැහැදිලි වන්නේ යානයට ප්‍රහාර එල්ල කිරීමට පෙර විදුහල්පතිවරයාට දුන් නියෝගය නිසාය.

කාලය ගෙවී ගොස්‌ 2011 ජුනි මස 13 වැනිදාට පහන් විය. යාපනයේ මනිපායි ප්‍රදේශයේදී යුදහමුදාව විසින් එක්‌ එල්. ටී. ටී. ඊ. සැකකරුවකු අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ නම කුමක්‌ වුවත් එල්. ටී. ටී. ඊ. ය ඔහුව හඳුන්වා තිබුණේ තිරුකුමරන් වශයෙනි. කෙටි හා සුරතල් නාමය වූයේ ''තිරු'' ය. අත්අඩංගුවට පත්වූ ''තිරු'' යුදහමුදාව විසින් ප්‍රශ්න කොට ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්‌ත මර්දන ඒකකයට (TID) බාර කරනු ලැබීය. එහිදී නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් වලදී ''ලයන් එයාර්'' යානයට පහරදීමේ සිට මළසිරුරු මිහිදන් කළ අවස්‌ථාව දක්‌වා වූ චිත්‍රපටයක මෙන් වූ කතාව ''තිරු'' විසින් ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන්ට පාපෝච්චාරණය කළේය.

තිරුගේ ප්‍රකාශය අනුව අදාළ ග්‍රාම නිලධාරිවරයාද සොයාගෙන පුනරීන් ප්‍රදේශයේ කවුදාරිමුනෙයි පළාතේ මළසිරුරු තිස්‌ එකක්‌ මිහිදන් කළ ඉසව්ව ත්‍රස්‌තමර්දන ඒකකයේ නිලධාරීන් විසින් හඳුනා ගත්හ. ත්‍රස්‌තමර්දන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ උපදෙස්‌ මත මළ සිරුරු ගොඩගැනීමේ කටයුතු ආරම්භ විණි. ඒ 2012 දෙසැම්බර් මස 09 වැනිදාය. කොළඹ සිට මාධ්‍යවේදීන් පිරිසක්‌ සමග මේ ගමනට සහභාගි වූයේ පොලිස්‌ පරීක්‍ෂක හුවාඩ් මහතාය. මුලින්ම අපට තොරතුරු ලැබුණේ මුහුදට කඩා වැටුණු ''ලයන් එයාර්'' යානය ගොඩ ගන්නා බවටය. ගමනට සූදානම් වූ අප ගුවන් යානයේ සැකිල්ලද ඒ ගුවන් යානය තුළ වාඩිවී බඳපටි දමාගෙන සිටි එක්‌ මගියකුගේ හෝ ඇටසැකිල්ලක්‌ අසුන මත ඇතැයි යන සංකල්පය ඔස්‌සේ බොහෝ හීන මැව්වෙමු. අපේ මිතුරන්ට ද ඒ ගැන කිව්වෙමු. මගීන් සතු බඩු මුට්‌ටු ගමන් බෑග් ගුවන් යානය තුළ තවමත් ගොඩ ගැසී ඇති ආකාරය ගැනද මනසින් චිත්‍ර ඇන්දේය. නමුත් අධිකරණ නියෝගයක්‌ මත ගුවන් හමුදාව නාවික හමුදාව හා ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් මහ මුහුදේ ඇති කඩා වැටුනු ගුවන් යානය පිළිබඳ ලබාගත් වීඩියෝ පටයේ අපේ මනසේ නැගූ චිත්‍ර කිසිවක්‌ නොමැත.

කිළිනොච්චිය දිසා විනිසුරු එම්. එල්. හල්වහබ්දීන් මහතාගේ අධීක්‍ෂණය යටතේ එල්. ටී. ටී. ඊ. යේ හිටපු ''තිරු'' හා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදුන් තොරතුරුවලට අනුව පුනරීන් කවුදාරිමුනෙයි ප්‍රදේශයේ මළසිරුරු මිහිදන් කළ ස්‌ථාන හාරමින් මළසිරුරු කොටස්‌ සෙවූහ. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්‌ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද තවත් අංශ ගණනාවක නිලධාරීන්ද පොලිස්‌ හා ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරින්ද සහභාගිවී දින තුනක්‌ තිස්‌සේ වළවල් හෑරූහ. එහෙත් මළ සිරුරු සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක්‌ නොමැත. මේ නිසා 11 වැනිදා සවස නිලධාරීන් තීරණය කළේ තාවකාලිකව මෙම කැණීම් කටයුතු නතර කොට අධිතාක්‌ෂණික උපකරණ භාවිත කොට යළි දිනක මළ සිරුරු සෙවීම් කටයුතු ආරම්භ කරන්නටය.

පුනරීන් වෙරළ තීරය යනු සෑම තැනක්‌ම එක හා සමාන වූ භූමි ප්‍රදේශයකි. මළසිරුරු වළලන ලද දිනයේ වළලන ලද ස්‌ථානය පිළිබඳව සලකුණක්‌ නොතැබුවේ නම් එය සෙවීම ඉතා දුෂ්කර කටයුත්තක්‌ වනු ඇත. අනෙක ග්‍රාමනිලධාරිවරයා මේ මළසිරුරු වළලන විට සිටින්නට ඇත්තේ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට බියේ මරබියකින් විය යුතුය. ඔහුට වසර දාහතරකට පෙර මළසිරුරු වළලන ලද තැන ස්‌ථිර වශයෙන්ම මතකයේ ඇති අයෙකු නම් ඔහුගේ මතක ශක්‌තිය හා බුද්ධිඵලය ඉතා ඉහළ මට්‌ටමක තිබෙන පුද්ගලයකු විය යුතුය. කාක්‌කන්ට හා බල්ලන්ට ආහාර ද්‍රව්‍ය සඟවා තබන්නට බුද්ධියක්‌ හා පුරුද්දක්‌ ඇති නමුත් එසේ සඟවන ලද ආහාර පසුව සොයාගෙන කෑමට බුද්ධියක්‌ නැත. කාක්‌කාට ඉවක්‌ නැතත් බල්ලාට හොඳ ඉවක්‌ තිබේ. හොඳ ඉවක්‌ ඇති බල්ලාටද සඟවන ලද ආහාර පසුව සොයාගැනීමට නොහැක්‌කේ මතකය හා බුද්ධිය පිළිබඳව වූ ප්‍රශ්නයක්‌ නිසාය. තත්ත්වය එසේ නම් එල්. ටී. ටී. ඊ. ය ට බියෙන් අවුල් වූ මනසකින් යුතුව සිටි මිනිසකුට මළසිරුරු සඟවන ලද තැන හරියටම පෙන්වීමට නොහැකිව අමතකවීම සාමාන්‍ය තත්ත්වයකි. පුනරීන් කවුදාරිමුනෙයි සමූහ මිනීවළවලටද සිදුවී ඇත්තේ මෙම ඉරණමම බව සැබෑය.

මේ රටේ සමූහ මිනීවළවල් පිළිබඳව කොරතම් කරුණු කතා බහ වුවද මාධ්‍යවේදීන් ලෙස අපට විශාල අත්දැකීම් සම්භාරයක්‌ ඇත්තේ සූරියකන්ද හා යාපනයේ චෙම්මනි සමූහ මිනීවළවල් සම්බන්ධයෙනි. 1988 භීක්‍ෂණ සමයේ වූ සිද්ධීන් මත සූරියකන්දේ සමූහ මිනීවලවල් හෑරීනි, උතුරු නැගෙනහිර යුද්ධයේ සිදුවීම් මත චෙච්මනි ප්‍රදේශයේ මිනීවළවල් හෑරිණි. මේ මිනීවලවල් හාරන අවස්‌ථාවන්ට මාධ්‍යවේදීන් වශයෙන් අපට සහභාගිවීමට අවස්‌ථාව ලැබුණා මෙන්ම එම ස්‌ථානවලින් මිනිස්‌ ඇටසැකිලිද පොහොර උර ගණන් හමුවිණි. වළෙන් එළියට එන මිනිස්‌ ඇටසැකිලි තුළ දැවටී තිබුණු ඇඳුම් කැබලි දකිත්ම නෑදැ වර්ගයා මහා විලාප තබමින් හැඬූ අයුරු අදත් අපට මතකය. හිස මත දෑත් තබාගෙන ඔවුන් හැඬූ අවස්‌ථාවලදී මරණය නිසා ඇතිවන දුකේ දෝංකාරය සූරියකන්දේ ගහ කොළ අතර රැව්පිළිරැව් දුන්හ. චෙම්මනියේද එසේම විය. පුනරීන් කවුදාරිමුනෙයි කලපුව සිසාරාද මේ ළතෝනි හඬ ඉදිරි කාලයේ ඉදිරි දිනක අපට අසන්නට ලැබෙනු ඇත. ඒ අතින් මාධ්‍යවේදීහු වන අපි මහා පව් කළ පිරිසක්‌ යෑයි සිතුණු වාර ගණන අනන්තය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all