Photobucket

Wednesday, December 12, 2012

වසර 5කට පසුව පාකිස්තාන ක්‍රිකට් පිල ඉන්දියාවට

වසර 5කට පසුව පළමු වතාවට පාකිස්තාන ක්‍රිකට් පිල මේ මස 22වැනිදා ඉන්දියා සංචාරයක නිරත වෙයි. අන්තර් ජාතික ක්‍රිකට් බිමේ සම්ප්‍රදායික ප්‍රතිවාදීන් ලෙස ප්‍රකට පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ සංචාරයේ දී එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 2ක් පැවැත්වීමට නියමිතය. 

මේ සංචාරය සඳහා සත්කාරක ඉන්දියාවේ සංවිධාන කටයුතු සම්බන්ධව සෑහීමකට පත්වන බව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ නිරික්ෂණය කිරීම සඳහා පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ පාකිස්තාන ක්‍රිකට් බලධාරීහූ ප්‍රකාශ කළේය.

'පාකිස්තාන කණ්ඩායම පිළිගැනීමට ඉන්දියාව මහත් ආසාවෙනුයි පසුවෙන්නේ. ඔවුන්ගේ පෙර සූදානමත් ඉතා ඉහළයි. අපි ඒ ගැන සතුටට පත්වුණා. මේ තරගාවලිය ඉතා අනර්ඝ තරගාවලියක් වේවි.' පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නදීම් ෂර්වාන් පැවැසීය.

දෙපිල අතර පළමු විස්සයි20 තරගය බැංග්ලෝර් නුවරදීත්, දෙවැනි තරගය අහමදාබාද් නුවරදීත් පැවැත්වේ. එක්දින තරගාවලිය මේ මස 30 වැනිදා චෙන්නායි නුවරින් ආරම්භ වේ. දෙවැනි එක්දින තරගය කල්කටා හිදිත්, අවසන් එක්දින තරගය නවදිල්ලියේ දිත් පැවැත්වීමට නියමිතය. 

එක්දින තරගාවලිය‍ට නම්කළ මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන කණ්ඩායමට ප්‍රවීණ තුන්ඉරියව් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි ඇතුලත් නොවන අතර ඔහු මො‍හොමඩ් හෆීස්ගේ නායකත්වයෙන් යුතු විස්සයි20 තරගාවලියට පමණක් එක් කොට තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all