Photobucket

Monday, December 17, 2012

කඩුවෙල අනතුරින් මරණ 3යි දස දෙනකුට තුවාල

කඩුවෙල වැලිවිට මන්සන්ධියේදී ඊයේ (16 වැනිදා) රාත්‍රි 8.00 ට පමණ වෑන් රථයක්‌ සහ ලංගම බස්‌ රථයක්‌ මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස්‌ තිබේ.

කුඩා දරුවන් සිව් දෙනකු ඇතුළු තවත් දස දෙනකු බරපතළ තුවාල ලබා ඇත.

කොළඹ ඔරුගොඩවත්තේ පැවැති මංගල සාදයකට පැමිණි වෑන් රථයේ ගමන් ගත් පිරිස යළි නිවෙස්‌ බලා යමින් සිටියදී වැලිවිට මන්සන්ධියේදී වෑන් රථය කන්ටේනරයකට ඉස්‌සර කිරීමට යැමේදී හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්‌ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගිය හා තුවාල ලැබූවන් සියලු දෙනා යටියන්තොට හල්ගොල්ලවත්තේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

කන්ටේනරයට ඉස්‌සර කිරීමට යැමේදී බස්‌ රථයේ වැදුණු වෑන් රථය විසිවී ගොස්‌ යළි කන්ටේනරයේද ගැටී ඇත.

සිද්ධියෙන් මියගිය අය අතර කාන්තාවන් දෙදෙනකු හා එක්‌ පිරිමියකු වන බවද පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ ලෙස හානි සිදුවූ වෑන් රථයේ සිරවී සිටි පුද්ගලයන් වැල්ලම්පිටිය පොලිසිය හා ප්‍රදේශවාසීන් මැදිහත් වී මුලින්ම මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස්‌ ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ එක්‌ කාන්තාවක්‌ මුල්ලේරියාව රෝහලේදී මියගොස්‌ තිබෙන අතර අනෙක්‌ දෙදෙනා මුල්ලේරියාව රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවන අතරේ මරණයට පත්ව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් හය දෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවන් සිව්දෙනා ඊයේ (16 දා) රාත්‍රි මුල්ලේරියාව රෝහලේ සිට කොළඹ රිඡ්වේ ආර්යා රෝහලට මාරුකර යවා තිබිණි. එම කුඩා දරුවන් සිව් දෙනාගේ අත පය බිඳී ගොස්‌ තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙම අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන් සියලු දෙනා ද්‍රවිඩ ජාතිකයන් වන අතර අනතුර සිදුවන අවස්‌ථාවේ වෑන් රථයේ රියෑදුරු බීමතින් පසුවන්නට ඇති බව පොලිසිය සඳහන් කරයි.

වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all