Photobucket

Thursday, December 20, 2012

රුපියල් ලක්ෂයක් තෑගි ලැබෙන ජාතික අයෝමය ශූරයා 23දා තෝරයි

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික‍ යෝග්‍යතා සම්මේලනය සංවිධානය කරන 65වැනි ජාතික ශූරතාවලියේ Mr. Sri Lanka අයෝමය ශූරයා තරගය මේ මස 23වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙවර තරගාවලියේ දී අවුරුදු 21න් පහළ කනිෂ්ඨ අංශය සහ අවුරුදු 45න් ඉහළ මාස්ටර්ස් ලෙස අංශ දෙකක්ද කි.ග්‍රෑ 55, 60, 65, 70,75, 80, 85 සහ 85ට වැඩි ලෙස බර පංති 10ක් යටතේ ද පැවැත්වීමට නියමිත බව එම සම්මෙලනයේ සභාපති කපිල කුමාර මහතා ඔටර්ස් ක්‍රීඩා සමාජයේ දී පසුගියදා පැවැති තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී පැවැසීය.

විදේශීය පුහුණුවලත් ක්‍රීඩකයන් සිවුදෙනෙකු සමගින් ක්‍රීඩකයන් 137 දෙනෙකු සහභාගිවන මේ තරගාවලියේ Mr. Sri Lanka ලෙස ජයගන්නා ක්‍රීඩකයාට රු.100,000ක් ද දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රු.50,000ක් සහ 25,000ක් මුදල් තෑගි සමගින් රු68,000ක් වටිනා කායවර්ධන කට්ටල පිරිනැමෙන බවත් සිවුවැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා රු.5000 බැගින් මුදල් ත්‍යාග, සහතිකපත් සහ කුසලාන හිමිවන බවත් සභාපතිවරයා පැවැසීය.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ බයෝනා ආයතනයේ අනුග්‍රහයෙන් ‘බෙස්ට් ප්‍රොෂර්’ ලෙසින් නව සම්මානයක් පිරිනැමීමට කටයුතු කිරීමයි.

ලබන වස‍රේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීම, රු.මිලියන 4ක වියදමින් 2014 වසරේදී මෙරට පැවැත්වීමට නියමිත ආසියාතික අයෝමය ශූරතා කරගාවලිය සඳහා සුදානම් විම සහ පාසල් හා ක්‍රීඩා සමාජ අතර ‍මේ තරග ජනප්‍රිය කිරීම මෙවර තරගාවලියේ අරමුණු බවද එහිදී ප්‍රකාශ විය.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා මහ ඇමැති ප්‍රසන්න රණතුංග කොළඹ හා දෙහිවල ගල්කිස්ස නගරාධිපතිවරුන් ඇතුළු අමුත්තන් රැසක‍‍ගේ සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ. 

කායවර්ධන සම්මේලනයේ ලේකම් එන්.එස්.ජයවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වු අතර නීති උපදේශක රසාංග හරිස්චන්ද්‍ර, භාණ්ඩාගාරික ඉන්දික ප්‍රනාන්දු, උප සභාපති එච්.එම්.ආර්.කේ.ජයසුන්දර මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් ද මාධ්‍ය හමුවට එක්වුහ.
.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all