Photobucket

Monday, December 31, 2012

2012 කෙළිබිමෙන්....

2012 වසර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට එතරම් යහපත් වසරක් ලෙස හැඳින්විය නොහැකි අතර ජයග්‍රහණ කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස බොහෝ ක්‍රීඩාවලින් ජාත්‍යන්තර ජයග්‍රහණ අවමවූ වසරක් විය.
ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අයි.සී.සී. සම්මාන උළෙ‍ලේදී සම්මාන තුනක් දිනා ගැනීම වසරේ ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය විය. වසරේ 
 
විශිෂ්ටතම ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් පිතිකරු සහ ජනප්‍රියතම ක්‍රීඩකයා සම්මාන සංගාට හිමිවිය. කැරම් ලෝක ශූරයා ලෙස ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු අභිෂේක ලැබිම තවත්

විශිෂ්ට ජයග්‍රහණයක්වූ අතර පැරා ඔලිම්පික් උළෙ‍ලේදී ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කමක් දිනා ගැනීමද විශිෂ්ට ජයග්‍රහණයක් විය.

අයි.සී.සී. ක්‍රිකට් සම්මාන උළෙ‍ලේදී ලොව හොඳම විනිසුරුවරයා ලෙස කුමාර ධර්මසේන සම්මාන ලැබිම ශ්‍රී ලංකාව 2012 දී ලැබූ ජයක් විය.

සමස්තයක් වශයෙන් ගත් කළ මලල ක්‍රීඩා, රග්බි, පාපන්දු, වොලිබෝල්, දැල්පන්දු වැනි ජාත්‍යන්තර ජයග්‍රහණ බලා‍පොරොත්තුවූ ක්‍රීඩාවලින් අත්වූ ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැක.

2012 වසරේදී ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම විශේෂ සිදුවීමක්වූ අතර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල, ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සහ ආසියානු දැල්පන්දු තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුණි.

ක්‍රිකට්
2012 වසර ආරම්භයේදීම ටී.එම්. ඩිල්ෂාන් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීම නිසා මහේල ජයවර්ධන වසරක කාලයක් සඳහා නායකත්වය භාර ගත්තේය.
 
මෙම වසරේදී ශ්‍රී ලංකාව, පාකිස්තානය ටෙස්ට් සහ එක්දින තරගාවලිවලින් පරාජය කළද එංගලන්තය සහ නවසීලන්තය ටෙස්ට් තරගාවලි සමකර ගැනීමට සමත්විය.
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලියෙන් යළිත් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිවිය.
ශ්‍රී ලංකාවේ පැවති 20-20 ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් කොදෙව්වන් හමුවේ පරාජයවූ අතර අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
 
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග සඳහා ඉන්දියාව අභිබවමින් සුදුසුකම් ලැබූ අතර එහිදී ඕස්ට්‍රේලියාව හමුවේ තරග 2-1 කින් පරාජයවෙමින් අනුශූරයන් බවට පත්විය.
2012 සිදුවූ අන්ත පරාජය වන්නේ ආසියානු කුසලාන තරගාවලියේදී බංගලිදේශයට පරාජයවී අවසන් සටනින් ඉවතට විසිවීමට සිදුවීමයි.
 
තිසර පෙරේරා පාකිස්තානයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම සහ කුමාර් සංගක්කාර ටෙස්ට් සහ එක්දින ලකුණු 10000 සීමාව පසු කිරීම කැපී පෙනුණි.
 
20-20 ලෝක කුසලාන අවසන් තරගය පරාජයවීමෙන් පසු මහේල 20-20 නායකත්වයෙන් ඉවත්වූ අතර ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට පත්විය.
 
2012 වසරේදී ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරින් දුලිප් මෙන්ඩිස් ඉවත් කළ අතර නව සභාපති ලෙස අසන්ත ද මෙල් පත් කරනු ලැබිය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ජෙෆ් මාර්ෂ් ඉවත් කර ග්‍රැහැම් ෆෝඩ් පත් කිරීම 2012 සිදුවූ තවත් විශේෂ සිදුවීමකි.
 
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනිසුරුවන් තිදෙනකුට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ලවීම වසරේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් විය. ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රනිල් අබේනායක මහතා දිවියෙන් සමුගැනීම තවත් කනගාටුදායක සිදුවීමක් විය.
 
ශ්‍රී ලංකාව 2012 වසරේ ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුබැසීමකට ලක්වුවද 20-20 ශ්‍රේණියෙන් අංක 1 රැක ගැනීමට සමත්විය.
 
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්
පළමු තරගාවලිය පැවති අතර එහි ශූරතාව ඌවට හිමිවිය.

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා පිල තෙවැනි ස්ථානය දිනා ගැනීම තවත් විශේෂ සිදුවීමකි.

අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේදී අන්ත පරාජයකට ලක්වූ අතර අවසානයේ 9 වැනි ස්ථානය හිමිවිය.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී ලීග්, එක්දින සහ 20-20 ශූරතා තුනම මහනුවර ත්‍රිත්ව විදුහල දිනා ගැනීම 2012 සිදුවූ තවත් විශේෂ සිදුවීමකි.
මලල ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙ‍ලේදී මී.400 ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට ශිවන්ති කුමාරි රත්නායක සහ දුලාජ් මධුසංක සමත්වීම 2012 මලල ක්‍රීඩාවේ දැක්වූ ඉහළම දස්කම විය.
එම තරගාවලියේදී නිමේෂා මධුවන්ති උස පැනීමේ රිදී පදක්කම දිනාගත් අතර කාන්තා මී. 4*400 රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. සුපුන් විරාජ් මී.110 කඩුලු පැනීමේ ඉසව්වෙන්ද චාමිකා ජයමිණි මී.3000 බාධක දිවීමෙන්ද ලෝකඩ පදක්කම හිමිවිය.

2012 ආසියානු ගේ‍රා්න්ප්‍රී මලල ක්‍රීඩා උළෙ‍ලේදී මංජුල කුමාර රන් පදක්කමක් දිනාගත් අතර ෂෙහාන් අඹේපිටියට රිදී පදක්කමක් හිමිවිය. එම තරගාවලියේදී ප්‍රසන්න අමරසේකර, ක්‍රිස්ටීන් මෙරිල්, චන්ද්‍රිකා සුභාෂිණී ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

2012 වසරේ මලල ක්‍රීඩාවට අමිහිරි මතකයක් එක් කරමින් 18 හැවිරිදි කෙටි ධාවන ශූරයාවූ හිමාෂ එෂාන් තහනම් උත්තේජක චෝදනාවට වැරදිකරුවී වසරක තරග තහනමකට ලක්විය.

ඔලිම්පික් - පැරා ඔලිම්පික්
ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකු සහභාගිවූ නමුත් කැපී පෙනෙන දස්කමක් දැක්වීමට සමත්වූයේ නිලූක කරුණාරත්න පමණි.

නිලූක ලොව අංක 8 ක්‍රීඩක ජපානයේ ටාගෝ කෙනෙචි පරාජය කළ අතර අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ පරුපල්ලි කාශ්‍යප්ට පරාජය විය.

ලන්ඩනයේ පැවති පැරා ඔලිම්පික් උළෙ‍ලේදී මී.400 (ටී.46) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සංජය සමත්වීම 2012 සිදුවූ තවත් විශේෂ සිදුවීමකි.

රග්බි
2012 වසරේ රග්බි පිටියේ පෙරළියක් ඇති කරමින් ප්‍රබල මහනුවර අභිබවමින් ලීග් ශූරතාව වසර 31 කට පසු දිනා ගැනීමට හැව්ලොක්ස් සමත්වීම විශේෂතම සිදුවීම විය. එහෙත් හැව්ලොක්ස් පරදවමින් ක්ලිෆර්ඩ් කුසලාන දිනා ගැනීමට මහනුවර සමත් විය.

ජාත්‍යන්තර රග්බි පිටියේදී ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියේ තීරණාත්මක පිලිපීනය සමග තරගය 28-18 කින් පරාජයවීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

සත් සාමාජික රග්බි පිටියේ දස්කම් දැක්වූ ෆසිල් මරිජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ෂැංහයි, මුම්බායි සහ සිංගප්පූරු තරගාවලිවලදී පළඟ ශූරතා දිනා ගැනීම 2012 වසරේ රග්බි පිටියේ කැපී පෙනුණි.
අප්කන්ට්‍රි ලයන්ස් ‘ඒ’ කොටසට එක්වීමත් එංගලන්ත ජාතික පිල් ග්‍රීනින්ග් ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස පත්වීමත් කැපී පෙනෙයි.
කැරම්
ලෝක ශූරතා කැරම් තරගාවලියෙදී ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු කේවල ලෝක ශූරයාවූ අතර කාංචනමාලා සහ ශෂිකා යුගළ රිදී පදක්කමත් චමිල් සහ නිශාන්ත යුගළ ලෝකඩ පදක්කමත් දිනා ගත්හ.

බොක්සිං
ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා බොක්සිං තරගාවලියේදී කි.ග්‍රෑ. 48 බැන්ටම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වූ අනූෂා කොඩිතුවක්කු සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීම 2012 විශේෂ සිදුවීමක් විය.

මොංගෝලියාවේ පැවති ආසියානු කාන්තා තරගාවලියේදී ශිරෝමාලි වීරරත්න කි.ග්‍රෑ. 69 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

තහනමකට ලක්වී සිටි මංජු වන්නිආරච්චි යළිත් බොක්සිං වළල්ලට පිවිසෙමින් ජාතික ශූරතා තරගාවලියේදී ජය වාර්තා කිරීම කැපී පෙනුණි.

කායවර්ධන
උස්බෙකිස්තානයේ පැවති කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ රුවන් කුමාර කි.ග්‍රෑ.65 පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

වොලිබෝල්
ශ්‍රී ලංකාවේ පැවති මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියෙදී කාන්තා දෙවැනි ස්ථානයත් පිරිමි තෙවැනි ස්ථානයත් ශ්‍රී ලංකාවට හිමිවිය.

ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේදී මලින්ද යාපා සහ අසංක ප්‍රදීප් ලෝකඩ පදක්කමක් දිනා ගැනීම වසරේ එකම ජාත්‍යන්තර ජයග්‍රහණය විය.

පාපන්දු
ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන සාග් පාපන්දු තරගාවලියේදී මාලදිවයිනට පරාජයවී බංගලිදේශය පරදවා පාකිස්තානය සමග ජය පරාජයෙන් තොරව අවසන්වීම නිසා අවසන් තරගයෙන් ඉවතට විසිවිය.

හොකී
ආසියානු සම්මේලන කුසලාන තරගාවලියේදී චීන තායිපේ පරදවමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර සෙස්ටා කුසලාන අවු.15 න් පහළ කාන්තා තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව දිනා ගත්තේය.

බර ඉසිලීම
මියන්මාරයේ පැවති ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ශෂික ඒකනායක රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2 ක් දිනා ගැනීම කැපී පෙනුණි.

දැල්පන්දු
2012 පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේදී සිංගප්පූරුව හමුවේ පරාජයවූ ශ්‍රී ලංකාව ශූරතාව අහිමිකර ගත්තේය. එම පරාජයෙන් පසු හයිසින්ත් විජේසිංහට පුහුණුකාරිනී ධුරය අහිමිවූ අතර නව පුහුණුකාරිනිය ලෙස යසා රාමචන්ද්‍ර නම් කෙරුණි. නේෂන් කප් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරාජය කළ අතර එම තරගාවලියේ සිවුවැනි තැන ශ්‍රී ලංකාවට හිමිවිය.  මෙම වසරේ ශ්‍රී ලංකාවේ දැල්පන්දු සම නායිකාවන් ලෙස තර්ජනී සිවලිංගම් සහ ගයාත්‍රි ලංකාතිලක කටයුතු කළහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all