Photobucket

Friday, December 7, 2012

සිංගප්පූරුව හඩවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකට 13ක් කරති

ශ්‍රී ලංකාවේදී ලකුණකින් ජයගෙන ආසියානු කුසලානය රැගෙන ගිය සිංගප්පූරුව ලකුණු 13කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මවුබිමේදී ලද පරාජයේ අවමානයෙන් ගැලවීම උදෙසා එකට එක කිරීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එදා එක ලකුණට ඊයේ ලකුණු 13ක් කිරීමට සමත් වූහ.

සිංගප්පූරු සික්ස් නේෂන් තරගාවලියේදී ලකුණු 65-52ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ දරුණු පරාජයකට ලක්වූ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ පරාජය ඉවසාගත නොහැකිව හඩා වැළපුණහ. 

ටෝයෝ පායෝ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගය මූලික වටයේ අවසන් තරගය වූ අතර ශ්‍රී ලංකාව ලකුණු සටහන අනුව තෙවැනි තැන දිනාගැනීමේ සටනට අද නැමීබියාව සමග පිටියට පිවිසේ.

මේ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින ටැන්සානියාව හා මැලේසියාව අවසන් සටනට පිවිසි අතර සිංගප්පූරුව හා අයර්ලන්තය පස්වැනි හා හයවැනි ස්ථාන දිනා ගැනීමේ තරගයට පිවිසේ. 

මූලික වටයේදී ලකුණු 6 බැගින් ශ්‍රී ලංකාව හා මැලේසියාව ලබා තිබුණද ගෝල් පරතරයේ සාමාන්‍ය අනුව මැලේසියාව ඉදිරියට පැමිණියේය. 

සත්කාරක සිංගප්පූරුව පරාජය කිරීමේ සිහින මවමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ තරගාවලියේ වඩාත්ම සැලසුම් සහගත තරගයකට මුල සිටම අවතීර්ණ වී සිටියහ. 

වෙනදා දුර්වල වූ ආරක්ෂක කළාපයේ ශක්තිමත් ක්‍රීඩා විලාශය හා ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් ගෙන් උපරිම ඵල නෙලා ගැනීමට පන්දු ව යොමු කිරීම ජයග්‍රහණයට දායක විය. 

පළමු කාර්තුවේදී ලකුණු 19-12ක් වූ අතර එම කාර්තුවේ මිනිත්තු 7ක් ගතවෙද්දී පරතරය ලකුණු 10ක්ව තිබුණි. එහෙත් විශාල නරඹන්නන් පිරිසකගේ ගෝෂාව මැද පළමු කාර්තුවේ ලකුණු පරතරය ලකුණු 7ක් දක්වා අඩුකර ගැනීමට සිංගප්පූරුව සමත්විය‍.

දෙවැනි කාර්තුවේදී 17-12ක් ලෙස පෙරමුණගත් ශ්‍රී ලංකාව තෙවැනි හා සිවුවැනි කාර්තු නිමා කළේ 14-12ක් හා 15-16ක් ලෙසය. ශ්‍රී ලංකාව උත්සහයන් 71කදී ලකුණු 65 වාර්තා කළ අතර සිංගප්පූරුව උත්සහයන් 69කදී ලකුණු 52ක ලබා ගත්තේය. 

ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම් උත්සහයන් 65කදී ලකුණු 60ක් ලබාදුන් අතර ගෝල් ඇටෑක් සෙමිණී ද අල්විස් උත්සහයන් 6කදී ලකුණු 5ක් ලබා උපරිම සේවය ඉටු කළාය. ශ්‍රී ලංකා පිළේ වින්ග් ඇටෑක් ක්‍රීඩිකා සමන්ති නිලූෂිකා විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීම හා නායිකා ගයාත්‍රී ලංකාතිලක කණ්ඩායමේ සාමාජිකාවන්ට උපදෙස් දෙමින් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. 

වෙනදාට වඩා ආරක්ෂක කළාපයේ සිටි ගෝල් ඩිෆෙන්ස් ගයනී දිසානායක හා ගෝල් කීපර් තිසාලා අල්ගම සිංගප්පූරුවට තර්ජනාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නූ අතර ගයනි හා තිසාලා සිංගප්පූරු ගෝල් ෂූටර් ගේ ඉලක්කය වැරදුණු අවස්ථා 7කදී පමණ (rebound ) පන්දුව ශ්‍රීලංකාවට වාසිදායක ලෙස ලබා ගැනීමෙන් ලකුණු පරතරය වැඩි වූහ.වි න්ග් ඩිෆෙන්ස් ක්‍රීඩිකා මරීෂා ප්‍රනාන්දු ගෙන්ද අගනා සේවයක් ඉටු වුණි.

ප්‍රින්ස් ගුණසේකර
සිංගප්පූරුවේ සිට..
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all