Photobucket

Friday, March 1, 2013

දකුණේ පාතාල නායක 'බැදිගම උක්‌කුවා' වීරකැටියේ දී වෙඩි වැදී නසී

මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධවලින් දකුණු පළාත භීතියට පත්කර ගෙන සිටි පාතාල කල්ලි නායක බැදිගම උක්‌කුවා නමැත්තා පෙරේදා (27 වැනිදා) සවස වීරකැටිය ගුරුගොඩැල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ දකුණු පළාත භීතියට පත්කරගෙන විවිධ අපරාධ වල නිරත වූ 'වම්බොට්‌ටා' නමැති පාතාල නායකයා ඝාතනයට ලක්‌වීමෙන් පසු ඔහු මෙහෙයවූ පාතාල කල්ලියට නායකත්වය දී ඇත්තේ බැදිගම උක්‌කුවා විසින් බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

බැදිගම උක්‌කුවාට එරෙහිව මිනීමැරුම් 11 ක්‌ මහා පරිමාණ කොල්ලකෑම් 3 ක්‌ ඇතුළු තවත් අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් චෝදනා තිබෙන බව පොලිසිය පවසයි.

මෙම පාතාල නායකයා ඇතුළු පිරිසක්‌ පෙරේදා සවස 5.30 ට පමණ වීරකැටිය ගල්බොඩේගෙදර ගුරුගොඩැල්ල ප්‍රදේශයේ නිවසකට ආයුධ සන්නද්ධව කඩා වැදී ඇත.

වී මෝල් හිමිකරුවකු වන රත්නායක නමැත්තා සමඟ කාලයක්‌ තිස්‌සේ ආරවුලක්‌ පැවැති අතර ඔහුට පහරදී මරාදැමීමට මෙම පාතාල පිරිස එම නිවසට කඩා වැදී සිටියහ.

එහිදී රත්නායක නමැත්තාට පහරදී ඇති පාතාල සාමාජිකයන් ඔහු ඇදගෙන නිවසින් පිටතට ගොස්‌ තිබේ. එම පාතාල පිරිස අතර සිටි පුද්ගලයකු රත්නායක නමැත්තා මරා දැමීමට යෑයි කියමින් ගිනි අවියක්‌ එල්ල කර ඇත.

ඒ අවස්‌ථාවේ බැදිගම උක්‌කුවා නමැත්තා ඉදිරියට පැන 'මූට දැන්ම වෙඩි තියන්න එපා' යෑයි කියමින් කෑගසා තිබේ. එහිදී එක්‌වරම උක්‌කුවා වෙත වෙඩි ප්‍රහාරයක්‌ එල්ල වී ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම වෙඩි තැබීම උක්‌කුවා සමඟ පැමිණි පුද්ගලයකු සිදු කළේද එසේත් නැතිනම් වෙනත් පුද්ගලයකු සිදු කළේද යන්න මෙතෙක්‌ හෙළිවී නැත.

උක්‌කුවා නමැත්තා වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියයැමෙන් පසු ඔහු සමඟ පැමිණි පාතාල සාමාජිකයන් පලා ගොස්‌ තිබේ.

මෙම පාතාල සාමාජිකයන් ජීප් රථයකින් සහ යතුරුපැදි කීපයකින් පැමිණි බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. ඊයේ දහවල් වනතුරුත් මෙම පාතාල සාමාජිකයන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ සිව් පුද්ගල මිනිස්‌ ඝාතනයක්‌, 2001 වර්ෂයේ සිදුකළ රුපියල් ලක්‍ෂ 39 ක වැටුප් මංකොල්ලයක්‌ ඇතුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බව පොලිසිය පවසයි.

එම මුදල් කොල්ලය සහ තවත් අපරාධ කීපයක්‌ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි උක්‌කුවා ඇපමත මුදාහැරීමෙන් පසු වීරකැටියට නැවත පැමිණ ඇත්තේ මීට ටික කලකට උඩදීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති මැකාති පෙරේරා, පොලිස්‌ අධිකාරි සිසිර කුමාර, සහකාර පොලිස්‌ අධිකාරි ඒ. ආර්. මිරැන්ඩෝ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත වීරකැටිය පොලිස්‌ ස්‌ථානාධිපති අනිල් ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all