Photobucket

Friday, March 1, 2013

ජංගම දුරකථන සමාගම් යැයි පවසමින් බොරු ප්‍රචාර දෙන වංචනිකයන් ගැන විමසිලිමත් වන්න

ඇහැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවකට රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් ජංගම දුරකථන සමාගමකින් ලැබී ඇති බව පවසමින් එම කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී රුපියල් 65,000ක මුදලක් ඉල්ලා එම මුදල තමාගේ ලංකා බැංකු ගිණුමට බැර කර එවන ලෙස දැන්වූ සිද්ධියක් පිළිබඳව ඇහැලියගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට පුද්ගලයකු ඇමතුමක් ලබාදී ඇති අතර ඇයට රුපියල් දස ලක්ෂයක මුදල් ජයග්‍රහණයක් හිමිව තිබෙන බව එම පුද්ගලයා විසින් ඇයට දැනුම් දී ඇත.

ඒ අනුව එම මුදල් ලබාගැනීම සඳහා තමා ලබා දෙන ගිණුම් අංකය මගින් ලංකා බැංකුව හරහා රුපියල් හැටපන්දහසක මුදල් එවන ලෙසත් ඇයට දැනුම් දී ඇත.

මේ අතර විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ ජංගම දුරකථනවලට ජංගම දුරකථන සමාගමකින් බව කියා ඇමතුම් ලබාදී තමන්ට රුපියල් ලක්ෂ ගණන් වටිනා මුදල් ත්‍යාග ජයග්‍රහණය කර ඇති බව පවසමින් එම ජයග්‍රාහී මුදල් ලබාගැනීමට නම් ලිපි ලේඛන සැකසීමට හෝ වෙනත් දෑ සඳහා බව දැනුම් දී එම කාන්තාවන්ගෙන් මුදල් ගරා ගන්නා ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වන බවද පොලිසිය පවසයි.

මෙවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත් මෙලෙස ජංගම දුරකථන සමාගම් බව පවසා ව්‍යාජ බොරු ප්‍රචාර ලබාදෙන්නන් පිළිබඳව දැඩි විමසිලිමත්ව සිටින ලෙසත් පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all